2048දී සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට අඩිතාලම දමා අවසන්

83

සටන් පාඨ හා තර්කවලට රටේ අනාගතය නැති කරගන්න එපා
ජනාධිපති රනිල් වික්‍රමසිංහ “මගෙන් පටන් ගමු”‍ අනුරාධපුර තරුණ සමුළුවට එක්වෙමින් කියයි


නවීන කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය සහ බලශක්ති ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් සමඟ 2048 වන විට සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ ගමනට රජය මේ වන විට අවතීරණ වී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එම ගමන සමඟ ඉදිරියට ගොස් රට ජයග්‍රහණය කිරීමේ වගකීම තරුණ පරපුරට පැවරෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා සටන් පාඨ හා තර්කවලට යටවී රටේ අනාගතය වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ අමතක නොකළ යුතු බවද අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ “මගෙන් පටන් ගමු”‍ අනුරාධපුර දිස්ත්‍රික් තරුණ සමුළුවට ඉකුත් 06 වැනිදා පස්වරුවේ එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

අප අපනයනයට වඩා ආනයනය කරන රටක් බවට පත්ව තිබෙනවා. අපේ අපනයන ආදායම ආනයන වියදම සඳහා ප්‍රමාණවත් වී නැහැ. එහිදී අප අතීතයේදී සිදු කළේ ණය ලබා ගැනීමයි. එම ණය ප්‍රමාණය වැඩි වී ණය ගෙවීමට සිදුවන විට තවත් ණය ලබාගෙන පැරණි ණය ගෙවා දැමුවා. නමුත් කොවිඩ් අර්බුදය සමග අපට ණය ගෙවා ගැනීමට නොහැකි වුණා. ඒ හේතුවෙන් ඩොලර් බිලියන 7000ක් වූ මෙරට විදේශ සංචිතය මුළුමණින්ම පහත වැටුණා. මේ අයුරින්ම අප තවදුරටත් ඉදිරියට ගියහොත් තවත් වසර 05ක් 06ක් යන විට ණය ගෙවා ගත නොහැකිව නැවත රටේ ආර්ථිකය කඩා වැටෙනවා. එවිට නැවත පෝලිම් යුගයක් නිර්මාණය වෙනවා.

මේ පිළිබඳ පවතින සැක සංකාව නිසා බොහෝ දෙනෙක් අද රටින් පිටවී යනවා. රටේ ආර්ථිකයේ ස්ථාවරත්වයක් නොමැති බව ඔවුන්ගේ මතයයි. නමුත් අප සියලු‍ දෙනාට රට හැර යන්න බැහැ. අප මේ රට ගොඩනැගිය යුතුයි. රටට හොඳ අනාගතයක් ලබාදීමට නම් පළමුව මෙවැනි අර්බුදයක් නැවත පැමිණීම වළක්වාගත යුතුයි. ඒ සඳහා අපේ අපනයන ඉහළ නංවාගත යුතුව තිබෙනවා. අපනයන ආදායම ඉහළ නංවාගත යුතුයි. ඒ වගේම සංචාරක ව්‍යාපාරය තෙගුණයකින් ඉහළ නංවා ගැනීමට අප සැලසුම් සකස් කර තිබෙනවා. එසේම නව ආයෝජන රටට ගෙන ඒමට කටයුතු කරනවා. කර්මාන්ත දියුණු කිරීමට වගේම තොරතුරු තාක්ෂණ දැනුම රටට ගෙන ආ යුතුයි. ඒ සඳහා අවශ්‍ය අධ්‍යාපන ආයතන ඇති කිරීමට අප පියවර ගෙන තිබෙනවා.

නවීන කෘෂිකර්මාන්තය තුළින් අපනයන කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීම රජයේ ප්‍රමුඛ වැඩපිළිවෙළක් වී තිබෙනවා. මෙම කෘෂි නවීකරණ වැඩපිළිවෙළට පෙර අඩු ආදායම්ලාභී ජනතාව සඳහා සහනයක් ලබාදීමට අප කටයුතු කළා. ඒ සඳහා අස්වැසුම වැඩසටහන මගින් සමෘද්ධි දීමනාව මෙන් තුන් ගුණයක් ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කර තිබෙනවා. දෙවනුව මෙම ප්‍රදේශවල ඉඩම්වල නීත්‍යානුකුල අයිතිය ජනතාවට ලබාදීම වෙනුවෙන් උරුමය වැඩසටහන ක්‍රියාත්මක කළා. ඒ යටතේ ඉඩම් බලපත්‍ර ඇති සියලු‍ දෙනාට සින්නක්කර ඔප්පු ලබාදීමට කටයුතු කරනවා. ඉඩම් බලපත්‍ර ඇති ලක්ෂ 20ක පිරිසක් ඉන්නවා. ඔවුන්ගෙන් ලක්ෂ 10කට එම නීත්‍යානුකූල ඉඩම් අයිතිය පවරාදීමේ සැලසුම් දැන් සකස් කර තිබෙනවා. කොටසකට දැනටමත් ඉඩම් ඔප්පු ලබාදී තිබෙන බව කිව යුතුයි. අනෙක් ඉඩම් ඔප්පු ලබාදීම මෙම මැයි මාසයේදී සිදු කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ඔබගේ දෙමව්පියන්ටත් තවමත් එම නීත්‍යානුකූල ඉඩම් අයිතිය හිමි වී නොමැති නම් ඔවුන්ව දැනුවත් කර මෙම වැඩසටහනට ඔබේ සහාය ලබාදෙන්න කියලා මම ආරාධනා කරනවා.

නවීන කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය සහ බලශක්තිය ක්ෂේත්‍රයේ පරිවර්තනයක් සමඟ අලු‍ත් ආර්ථිකයක් මෙම පළාත්වලට ගෙන ඒම අපේ අරමුණයි. රජයේ මෙම වැඩපිළිවෙළ සමග ඉදිරියට යනවාද නැද්ද කියා තරුණ පුරපුර තීරණය කළ යුතුයි. මේ ප්‍රශ්නය ඔබ සෑම දේශපාලන පක්ෂයකින්ම විමසිය යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වූ ගිවිසුම නීතිගත කිරීමට අප සූදානම් වී සිටිනවා. අපට ඉදිරියට යා හැක්කේ එම කොන්දේසි නීතිගත කිරීම සමඟයි. ඒ වගේම මෙම මැයි මාසය වන විට ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමේ නීතිය ගෙන ඒමට අප කටයුතු කරනවා. එම නීති සම්මත කරගත් විට පමණයි අපට ඉදිරියට යාමට හැකියාව ලැබෙන්නේ.

ඒ වගේම විදේශ ණය ගෙවීම සඳහා 2042 වන තෙක් කාලය ලබාගැනීමට මම දැන් සාකච්ඡා කරමින් සිටිනවා. ඒ වගේම ණය ගෙවන ප්‍රමාණයෙන් කොටසක් ඉවත් කරගැනීමට අපේක්ෂා කරනවා. එම වැඩකටයුතු කරන විට අපනයන ආර්ථිකයක් සමඟ අප ඉදිරියට යා යුතුයි. මෙම වැඩපිළිවෙළ සමඟ ඉදිරියට ගියහොත් ඔබගේ ප්‍රශ්නවලට විසදුම් ලැබෙනවා. එසේ නොමැතිව සටන් පාඨවලට හා විවිධ තර්කවලට යට වී රටේ අනාගතය පිළිබඳ වගකීම අමතක නොකළ යුතුයි.

අමාත්‍යවරුන් වන මනූෂ නානායක්කාර, හරීන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක, හිටපු අමාත්‍ය පී. හැරිසන්, එක්සත් ජාතික පක්ෂ මහලේකම් හිටපු අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු පිළිබඳ) රජිත කීර්ති තෙන්නකෝන්, ජනාධිපති වෘත්තිය සමිති පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය, උතුරු මැද පළාත් හිටපු විපක්ෂ නායක නීතිඥ කස්තුරි අනුරාධනායක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
අනුරාධපුර-පර්සි කුරුනේරු සහ මිහින්තලේ රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment