මනිපූර් ගිනි ගනිද්දී “රෝ” මුල් පුටුව වෙනස් වෙයි

589

ඉන්දියාවේ ‘රෝ’ ඔත්තු සේවය (Research and Analysis Wing) ශ්‍රී ලංකා ජනපති මෛත්‍රිපාල සිරිසේන ඝාතනය කිරීමට සැලසුම් කරමින් සිටින්නේ යැයි 2018 ඔක්තෝම්බර් මාසයේදී හින්දු පුවත්පත පල කර තිබූ පුවත මහත් ආන්දෝලනයට තුඩු දී තිබිණි. තමා ඝාතනය කිරීමට ඉන්දීය ‘රෝ’ ඔත්තු සේවය සැලසුම් කරන්නේ යැයි එම වසරේ ඔක්තෝම්බර් 16 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පතේ මෙරට වාර්තාකාරිනිය වන මීරා සිරිනිවාසන් කොළඹ සිට යැවූ වාර්තාවේ සඳහන් විය. සීඅයිඒ සංවිධානයේ කටයුතු පිළිබඳව ඇමෙරිකානු ජනපති ට්‍රම්ප් නොදන්නා සේම, මෙම ඝාතන සැලසුම පිළිබඳව ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි නොදන්නවා විය හැකි බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එහිදී පවසා ඇතැයි පුවත්පත් වාර්තාවේ සඳහන් වී තිබිණි. ‘ද හින්දු’ පුවත්පත වැඩිදුරටත් සඳහන් කර තිබුණේ ජනාධිපතිවරයා කළ බව කියන මෙම ප්‍රකාශය පිළිබඳව

රැස්වීමට සහභාගි වූ දේශපාලන පක්ෂ, රජයේ විවිධ පාර්ශ්ව ඇතුළු මූලාශ්‍ර ගණනාවකින් තහවුරු කර ගත් බවය. එහෙත් මේ පුවත පළවූ වහාම රජය නිවේදනය කර සිටියේ ඉන්දියාවේ ‘රෝ’ ඔත්තු සේවය මෙරට ජනපතිවරයා ඝාතනයට උත්සාහ කරන බවට ප්‍රකාශයක් මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සිදු නොකළ බවයි. එවක රජයේ අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පවසා තිබුණේ ජනපති ඝාතන කුමන්ත්‍රණයකට ඉන්දීය රෝ ඔත්තු සේවය සම්බන්ධ කර ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඝට්ඨනයක් ඇති කිරීමේ වැඩපිළිවෙළක් ඇතැයි ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කළ බවය. ‘ද හින්දු’ පුවත්පතේ වාර්තාව සම්පූර්ණයෙන්ම වැරදියි. ජනපති එවැනි ප්‍රකාශයක් කළේ නැහැ යනුවෙන් සේනාරත්න මහතා අවධාරණය කර තිබිණි. කවරක් නමුත් රෝ ඔත්තු සේවයේ ක්‍රියාකාරකම් මෙරට බෙහෙවින් ව්‍යාප්තව ඇති බව නම් රහසක් නොවේ. ඊනියා අරගලයේ රෝ බළල් අත් ක්‍රියාත්මක විය. එසේම මේ මොහොතේත් විවිධ කුමන්ත්‍රණ සිදුවේ. එය සිදුවන්නේ චක්‍රයක් ආකාරයෙනි.

ඊශ්‍රායලයේ ඔත්තු සේවය අසූව දශකය මුල් භාගයේ ක්‍රියාත්මක වූයේ කොළඹ ඔබරෝයි හෝටලයේ 9 වැනි මහලේය. මොසාඩ් ඔත්තු සේවයේ නියෝජිතයකු වූ මටානි එම කාර්යාලයේදී ඝාතනය කිරීමට දෙමළ බෙදුම්වාදී කොටි සංවිධානය මගින් 1984 ජනවාරි 21 ඔබරෝයි හෝටලයේ බෝම්බයක් පිපිරුවද එය අසාර්ථක විය. එහිදී හෝටල් සේවිකාවක් මරුමුවට පත්වූවාය. පසුව ඊශ්‍රායල් ඔත්තු සේවා කාර්යාලය කොල්ලුපිටියේ ලිබර්ටි ප්ලාසා වෙත ගෙන ගිය අතර එහි සම්බන්ධීකාරකවරිය ලෙස සේවය කළේ මොනිකාය. වික්ටර් ඕස්ට්‍රොව්ස්කි විසින් ලියන ලද වේ ඔප් ඩිසෙප්ෂන් ග්‍රන්ථයේදී ඊශ්‍රායල් රජය මොසාඩ් ඔත්තු සේවාව ශ්‍රී ලංකා හමුදා භටයන්ට මෙන්ම දෙමළ බෙදුම්වාදී සංවිධාන වන ඊ.පී.ආර්.එල්.එෆ්. සහ කොටි සංවිධානයේ සාමාජිකයන්ට ද ඊශ්‍රාලයේදී අවි පුහුණුව ලබාදුන් බවට චෝදනා එල්ල කර තිබිණි. කවරක් නමුත් රෝ

ශ්‍රී ලංකාවට ඍජුව අතපෙවීම ඇරඹුණේ ජේ. ආර්. ජයවර්ධනගේ එජාප ආණ්ඩුව 1977 බලයට පත්වීමෙන් පසුවය. රෝ සංවිධානය දෙමළ කොටි සාමාජිකයන්ට ආයුධ පුහුණුව ආරම්භ කළේ ලංකාවට පාඩමක් ඉගැන්වීමටය. ශ්‍රී ලංකාව 1971 වසරේ ඉන්දු පාකිස්ථාන යුද සමයේ පාකිස්ථාන යාත්‍රාවලට තෙල් ලබාදීමට ක්‍රියාකිරීම සම්බන්ධයෙන් ඇතිවූ නොහොඳ නෝක්කාඩුවද මේ සඳහා බලපා තිබිණි. අසල්වැසි රාජ්‍යයක භෞමික අඛණ්ඩතාවය, නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ව්‍යුහය වෙත ඍජුව බලපෑම් කරමින් ලෝකයම භීෂණයෙන් තැතිගැන්වීමට සමත් වූ ම්ලේච්ඡ ත්‍රස්ත හමුදාවක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් රෝ වෙත නැඟී ඇති චෝදනාව කිසි ලෙසකින් බැහැර කළ නොහැකිය. නමුත් එහි විපාකය ඔවුන් විසින්ම අත්දකිනු ලැබූ බව රහසක් නොවේ, ඒ කතා නැවත නැවත ලිවීමෙන් පලක් නැත.

අසූව දශකය අවසාන භාගයේදී ඉන්දීය තානාපති කාර්යාලය යටතේ රෝ සංවිධානය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සමග ගනුදෙනු කළ නිලධාරීන් වූයේ ගුරුජිත් සිං සහ හර්දීප් ජූරිය. හර්දීප් සින් පුරි වත්මන් ඉන්දීය රජයේ ඇමැතිවරයෙකි. ජනතා විමුක්ති පෙරමුණ ඉන්දීය භාණ්ඩ වර්ජනය කිරීම සඳහා ප්‍රබල ව්‍යාපාරයක් ගෙන ගියද මේ පක්ෂය සමග ඇයි හොඳැයියක් පවත්වාගෙන යෑමට ඉන්දීය රෝ සංවිධානය 1989 මුල් භාගයේදී සමත් විය. එහෙත් ඉන්දු – ලංකා ගිවිසුමට පක්ෂ සියලු දෙනා ජවිපෙ මගින් දේශද්‍රෝහීන් ලෙස හඳුන්වනු ලැබීය. ශ්‍රී ලංකාවට පැමිණි අන්තිම ඉන්දියන් සෙබළා එල්ලා මරාදමන බවට ජවිපෙ කැරලිකරුවෝ සපථ කර තිබිණි. නමුත් ජවිපෙ දේශපාලන මණ්ඩල සභික ඩී. එම්. ආනන්ද, සෝමවංශ අමරසිංහ හරහා රෝ කොක්ක ගසා තිබිණි. එසේම ඉන්දු – ලංකා ගිවිසුමට පක්ෂව පළාත් සභාවට 1988 දී තරග කිරීමට රෝ ඔත්තු සේවය හරහා මගින් රුපියල් ලක්ෂ 400 ක් ශ්‍රී ලංකා මහජන පක්ෂයට ලබා දී තිබිණි. එම ආධාර අදත් විවිධ පක්ෂ හා දේශපාලන කණ්ඩායම්වලට ලැබෙන බව රහසක් නොවේ.

ඉන්දියාවේ අනුදැනුමකින් තොරව 2014 දී චීන සබ්මැරීන 2ක් ලංකාවට සේන්දු වූ අතර ඉන්දියාව එය දුටුවේ තම බලප්‍රදේශය ආක්‍රමණයක් ලෙසටය. ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකාව තුළ බල පෙරළියක් සිදුවීමට පාරකැපීමයි. චීන ආගමනය නවදිල්ලියේ පාලනය මෙහෙයවන බ්‍රාහ්මණයන් කෝප කරන්නට විය. රෝ ඔත්තු සේවයද ක්‍රියාත්මක වන්නේ බ්‍රාහ්මණ උපදෙස් අනුවමය. එනිසාම රාජපක්ෂ පාලනය වෙනස් කළ යුතු බව ඉන්දීය ඔත්තු සේවය වෙත උපදෙස් ලැබී තිබිණි. 2015 රාජපක්ෂ පරාජය වෙනුවෙන් රෝ සංවිධානය සුවිශේෂ කාර්යභාරයක් ඉටුකර තිබිණි. පොදු අපේක්ෂක වෙනුවෙන් දිල්ලිය වඩා වැදගත් කාර්යයක් ඉටුකළ අතර එයට ඉන්දීය රුපියල් කෝටි ගණනින් පොම්ප විය. 2014 වසරේ මැද භාගයේ සිට කොළඹ සිටින රෝ නියෝජිතයා ආණ්ඩු විරෝධී මෙහෙයුමක් ගෙන යන බව එවක රාජපක්ෂ රජයට දැනී තිබිණි. එනිසාම ශ්‍රී ලංකාවේ නේවාසික රෝ ඔත්තු සේවා ප්‍රධානියා වූ කේ. ඉලගෝ ශ්‍රී ලංකාවෙන් ඉවත් කරන ලෙසට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 2014 අවසාන භාගයේ කළ ඉල්ලීමට ද අවසානයේ ඉන්දීය තානාපති කාර්යාලයට එකඟ වීමට සිදුවිය. එහෙත් රෝ මෙහෙයුම සාර්ථකවූ බව පැහැදිලි වූයේ ජනවාරි 09 වැනිදා රාජපක්ෂ ජනපතිගේ බලය අහිමිවීමත් සමගය.

ඉන්දියාව පසුගිය ජූලි 14 දා ඔවුන්ගේ තෙවැනි චන්ද්‍ර මෙහෙයුම ආරම්භ කරන ලදී. ඔවුන් ඉලක්ක කරන්නේ, එතරම් ගවේෂණයට ලක්ව නැති චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයට ගොඩබසින පළමුවැන්නන් වීම ය. ලෑන්ඩරයක් හා රෝවරයකින් සමන්විත චන්ද්‍රයාන් -3, ශ්‍රීහරිකෝටා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට දියත් කරනු ලැබිණි. ලෑන්ඩරය අගෝස්තු 23 – 24 පමණ වන විට චන්ද්‍රයා වෙත ළඟාවීමට නියමිත බව අභ්‍යවකාශ බලධාරීන් ප්‍රකාශ කර ඇත. මේ මෙහෙයුම් සාර්ථක වුවහොත්, එක්සත් ජනපදයට, පැරණි සෝවියට් සංගමයට සහ චීනයට පසු සඳ මත මෘදු ගොඩබෑමක් සිදුකළ සිව්වන රට බවට ඉන්දියාව පත්වනු ඇත. එහෙත් අප අවධානය යොමු කරන්නේ ඉන්දියාවේ චන්ද්‍රයාන්-3 සඳ ගමන ගැන නොව පසුගිය ජුනි 30 වැනිදා වැඩ භාරගත් රෝ ප්‍රධානියා පිළිබඳවය.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු වන 59 හැවිරිදි රවී සිංහා මේ ඔත්තු සේවයේ නව ප්‍රධානියා වේ. හිටපු රෝ ප්‍රධානි සමන්ත් ගොයෙල්ගෙන් පසු ඉදිරි වසර දෙකක ධුර කාලයක් සඳහා මේ නව පත්කිරීම සිදුව ඇති බව ඉන්දීය රජය නිවේදනය කර තිබේ. සමන්ට් ගොයෙල් පුරා වසර හතරක් රෝ ඔත්තු සේවාවේ ප්‍රධානියා ලෙස කටයුතු කර තිබිණි. පසුගිය වසරේ අගභාගයේ ලංකාවට පැමිණි ඔහු මෙරට ජනපතිවරයා මෙන්ම පොදු ජන පෙරමුණේ බලය හොබවන බැසිල් රාජපක්ෂ මහතාද හමුවී තිබිණි. පුල්වාමා ප්‍රහාරයට එකට එක කිරීම සඳහා ඉන්දීය ආරක්ෂක අංශ 2019 වසරේ පකිස්ථානයේ බලකොට්හි සිදුකළ සාර්ථක ගුවන් ප්‍රහාරයක් සැලසුම් කිරීමේ ගෞරවය හිටපු ප්‍රධානි ගොයෙල්ට හිමි වේ.

ඉන්දීය පොලිස් සේවයේ 1988 කණ්ඩායමේ නිලධාරියකු වන සිංහා මේ පත්වීම ලැබෙන විට කැබිනට් ලේකම් කාර්යාලයේ විශේෂ ලේකම් ලෙස සේවය කරමින් සිටියේය. සිංහාගේ වෘත්තීය නිපුණතාවය මෙන්ම ඉන්දියාවේ අසල්වැසි රටවල් පිළිබඳ විශේෂඥ දැනුම ඉන්දීය බුද්ධි ප්‍රජාව තුළ පුළුල්ව ගෞරවයට පාත්‍ර වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි. ඔහු දශක දෙකකට වැඩි කාලයක් රෝ ඔත්තු සේවයේ කටයුතු කරයි. පසුගිය වසර හතක කාලය තුළ සිංහා රෝ ඔත්තු සේවයේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර ඔහු ධුරාවලිය අනුව එම සංවිධානයේ දෙවනියා විය. ඔත්තු බැලීම සඳහා නවීන තාක්ෂණය යොදා ගැනීම කෙරෙහි නව ප්‍රධානියා විශේෂ අවධානයක් යොමු කරනු ඇත. සීක් බෙදුම්වාදී බලවේග නැවත වේගයෙන් හිස ඔසවමින් පවතින අතරම මනිපුර් ප්‍රාන්තය ගිනිගෙන දැවෙමින් තිබෙන අතරතුර නව රෝ ප්‍රධානියා පත්වීම ගැන ඉන්දීයාව පමණක් නොව අනෙක් අසල්වැසි රටවලද විශේෂ අවධානය යොමුව ඇති බව අමුතුවෙන් කිවයුතු නැත. ලංකාවේ අපි සිංහා මොනවා කරන්නේ දැයි විමසිලිමත්වීම වැදගත්ය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment