සිංහල නවකතාවේ යතිවර සලකුණ – වීරපොකුණේ උපරතන හිමි

616

උපරතන හිමියන්ගේ නවකතාවල කැපී පෙනෙන ලක්ෂණ අතර අන්තර්ගතයට උචිත අන්දමින් යොදා ගන්නා භාෂා ශෛලිය, අතුරු කතා යෝජනය, පුනරුක්ති උපක්‍රම, ප්‍රකාශකයා පැහැදිලිව නොදක්වා යොදන දෙබස් හා සංවාද කථන ඉතා සුවිශේෂී වේ.

 වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුගම්පල හත්පත්තුවේ මානලේම්බුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වීර පොකුණ ග්‍රාමයේ උපත ලද උපරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ එච්. සොපිහාමි සහ එම්. කිරිහාමි යන දෙමව්පියන්ට දාව උපන් සිවුවැනි පුත්‍රයා වේ. 1947 නොවැම්බර් මස 05 වන දින උපත සිදුවිය. උන්වහන්සේගේ කුඩා කළ ගිහි නාමය “ඩේවිඩ්” වූ අතර වීර පොකුණ මධ්‍ය මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ගත් අතර පසුව 1959 දෙසැම්බර් 21 දින කුරුණෑගල දිස්ත්‍රික්කයේ බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කළුගම වැල්ලරාව  ශ්‍රී රත්නාලෝක පිරිවෙන් විහාරස්ථානයේදී “වීරපොකුණේ උපරතන” නමින් පැවිදි ජීවිතයට ඇතුළත් විය. පසුව උන්වහන්සේ පේරාදෙණිය ශ්‍රී සාරානන්ද විශ්වවිද්‍යාලයීය පිරිවෙනින් ද්වීතික සහ උසස් අධ්‍යාපනය ලබා ප්‍රාචීන මධ්‍යම විභාගය අවසන් කර ඇත. එමෙන්ම උන්වහන්සේගේ වයස් සීමාව සම්පූර්ණ වීමෙන් 1972දී උපසම්පදා ශීලයට පත් විය. එපමණක් නොව 1973දී ශාස්ත්‍රවේදී උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන්ද, පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව කොළඹ විශ්වවිද්‍යාලයෙන්ද, 1993 ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධියද හිමි කරගත් උන්වහන්සේගේ දැනුමෙන් ආඪ්‍ය විය. මෙම ජීව දත්ත තොරතුරු බටුවන්ගල රාහුල හිමියන්ගේ ලිපියකින් ලබාගත් තොරතුරු මත පදනම්ය.

 උපරතන හිමියන් සාහිත්‍යකරණයට මිණි පහණක් වැනිය. එහිදී මනුෂ්‍ය ජීවිතය විවරණය කිරීමෙහිලා ‘නවකතාව’ යන සාහිත්‍යාංගය උපයෝගි කරගත් උන්වහන්සේගෙන් මහඟු සේවයක් සාහිත්‍ය ක්ෂේත්‍රයට සිදුවිය. 2021 ඔක්තෝබර් 09 වෙනිදා හදිසි රිය අනතුරකට ලක් වී වසර හැත්තෑපහක පමණ ජීවිත ගමන අවසන් විය. උන්වහන්සේගේ අමිල සේවය නිසා මෙලොව හැර ගියත් පාඨක සිත් තුළ සදා නොමැකෙන සටහන් මාලාවක් එක් කර හමාරය. ඒ අනුව උන්වහන්සේ සාහිත්‍ය ක්ෂේත්‍රය දියුණු කිරීමට නවකතා රාශියක් රචනා කළ යතිවරයාණන් කෙනෙකි. එහිදී පැලෑනෙන් වෙන් කළ ඉඩම්, මං, ජීවක කුලකයක්, තුඹරුප් යන නවකතා මෙන්ම වපුළ බිජු මිට ආදි කෙටිකතා සංග්‍රහය විමසීම වටී.

 1990දී රචිත “පැලෑනෙන් වෙන් කළ ඉඩම්” නවකතාවෙහි ප්‍රාණවත් භාෂා විලාසය නිසාත් විශ්වාසනීය තාත්වික චරිත නිරූපණය නිසාත් ඉතා ඉක්මනින් පාඨක හා විචාරක සැලකිල්ලට යොමු වූ අතර රාජ්‍ය සම්මානයක්ද හිමිවිය. කතුවරු භික්ෂුවක් වුවත් ගිහි ජීවිතයේ ගැටලු පිළිබඳව මනා අවබෝධයක් දක්වමින් මුදලිහාමි හා බිසෝමැණිකා යන දෙදෙනාගේ පවුල කේන්ද්‍ර කරගෙන එක්තරා කොළණියක ගොවි ජනයා පිළිබඳව විසිතුරු සිතුවමක් මවයි. මෙහිදී ජනපද ජීවිත වස්තු විෂය කර ගනිමින් ලියැවුණු අන් සියලුම නවකතා අභිබවා ජනපදිකයන්ගේ ජීවිතයන්හි සමීප රූපයක් ප්‍රාණවත්, කටවහරට හුරු භාෂා රීතියක් මඟින් ගෙන එන්නේ පැලෑනෙන් වෙන් කළ ඉඩම් නවකතාව මඟින් යැය කිව හැකිය. ස්වභාවික ආපදා, වගවලස් උවදුරු, මැලේරියා උවදුරු මෙන්ම ලිංගික ගැටලු ආදී විවිධ මානසික ගැටලු කතුවරයා පාඨකයා හමුවට ගෙන එන්නේ මෙලෙසය.

 “නව ජනපදවල වැසියන්ට බල පෑ ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කිරීමට පැමිණී සේනාරත්න මහතා අහිංසක ගොවීන්ගේ දුක වේදනාව හඳුනන කාරුණික අයෙක් විය. ඔහු හමුවේ ජානපදිකයන් ඉදිරිපත් කළ ප්‍රශ්න නව ජනපද වාසීන්ගේ දිවි පෙවතෙහි සමාජ, ආර්ථික පැතිකඩවල් දෙස හෙළන ලද සියුම් දෘෂ්ටියකි. ‘ප්‍රශ්න…? කෝකත් ප්‍රශ්න තමයි. වතුර බොන්න නැහැ කිවුල. මදුරුවෝ මැලේරියා. හැම එකක්ම ප්‍රශ්න තමයි. බල්ලෙක්, බළලෙක් බේතකටවත් හොයා ගන්න බැහැ. ඒවා ප්‍රශ්න තමයි.”

 1992දී “ජීවක කුලයක්” නම් කෘතියෙහිදී කතුවරු වන උපරතන හිමියන්ගේ පුළුල් අත්දැකීම් සම්භාරය හා තියුණු ප්‍රතිභා ශක්තිය පිළිබඳව අදහසක් ඇතිකරගත හැකි වනු ඇත. මෑතක් වන තුරු සාම්ප්‍රදායික සිංහල ගමෙහි ප්‍රධාන ආයතන ද්විත්වය වූයේ පන්සල සහ වෙද ගෙදරයි. එම ආයතන දෙක අතර පැවතියා වූ අවියෝජනීය බැඳීමත්, ඒවා

 ගැමියන්ගේ ජීවිතය මෙහෙය වූ ප්‍රධාන හෙජමනියක් වූ අන්දමත් මෙන්ම වාණිජත්වය හා වෙනස් නවීකරණ අංග ගමට එකතු වීමත් සමඟ පාරම්පරික වෙදගෙදර වැදගත්කමින් පිරිහී ගිය අන්දමත් මේ නවකතාවේ තේමාව බවට පත් වේ. අවසානයේදී වෙදහාමිනේ, වෙද මහතා කෙතරම් කාරුණික වුවත් ලොකු හාමුදුරුවන්ගේ අපවත්වීමත් සමඟ ඔවුනගේ ආධිපත්‍යය මෙන්ම බලයද හීන වෙයි. කෙතරම් අවංක සමාජ සේවයක් කරමින් ආගමික ජීවිතයක් ගෙවූ නමුත් ජීවක කුලයේ කිසිවකුට මෙලොවදී කිසිදා සතුටක් හෝ සහනයක් නොලැබේ. ඒ අනුව සාමාන්‍ය කතා ව්‍යවහාරය, ලේඛනයේදී පරිහරණය කරන්නට කතුවරයා රුචි කරයි. ජීවක කුලයක් නවකතාවේ නිදසුනකින් එය ප්‍රකට වේ. “පොඩි මැණිකෙ දොර ඇරියා. සඳ පහන එක එල්ලේ ළිඳට වැටිලා. ජලය ගන්නා දොඹකරය දිහා පොඩි මැණිකෙ හොඳට බැලුවා. දොඹ ගහ යට අඳුරට හැරිලා,,”

 උපරතන හිමියන් 1995දී “මං” යනුවෙන් තවත් නවකතාවක් රචනා කර ඇත. මේ පිළිබඳව උන්වහන්සේ මෙසේ දක්වයි. “මව්පිය සම්බන්ධයෙන් ලොවට ජනිත වන දරුවා විපර්යාසයනට හසු කොට මිනිසකු බවට පරිවර්තනය කරන්නේ මාර්ගය විසිනි. ඒ අනුව ‘මිනිසා’ යනු මවුපියන් බිහි කළ දරුවා නොව මාර්ගය බිහි කළ දරුවාය. එමෙන්ම තවදුරටත් උන්වහන්සේ ප්‍රකාශ කරනුයේ මෙම කථාවේ ප්‍රධාන චරිතය මාගයම බවයි. ඊට අමතරව වෛද්‍යවරුන්, භික්ෂූන් වහන්සේ, හේවිසිකරුවන්, පාරුකරුවන්, නාටාමින්, කසළ ශෝධකයන් සහ ග්‍රාම නිලධාරීන් වෙති. එමෙන්ම 1994 රාජ්‍ය සාහිත්‍ය උත්සවය නිමිත්තෙන් සංස්කෘතික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පැවැත්වූ නවකතා අත්පිටපත් තරගයෙන් ජයග්‍රහණය අත් කරගත්තේ මේ කෘතියයි. ඒ අනුව ප්‍රකාශකයා නොදක්වා යොදන දෙබස් හා සංවාද කථනවලින්ද කතා විකාශනය සලසා ගන්නා ප්‍රයෝගය උපරතන හිමියන්ද විටෙක ප්‍රයෝජනයට ගන්නා බව පෙනේ.

 “පිටරටට හාල් පැටව්වේ අපි… තොපිලා මොකටද අපේ වැව් මතින් තොපේ පාර දැම්මේ…? වන්නියෝ කන්දට අද්දවන්න නේද?

 “තොපිලා උක් වැව්වේ ඒරොප්පේද…? අපේ කඳුවලද? ඒවට යට කළ ඉඩම්වල තිබුණෙ මොනවද?”

 “ඇයි තොපිලා අපේ කුඹුරු ගිනි ලෑවේ?”

 පරසතුරු උවදුරෙන් රට ජාතිය ආරක්ෂා කර ගැනීමට උරදුන් දුටුගැමුණු මහරජුන්ට මහත් සේ උපකාරී වූ ථෙරපුත්තාභය යෝධ තෙමේ පසුව එනමින්ම පැවිදි බිමට ඇතුළත් වූ අතර ‘කිසි කලෙකත් කෙලෙස් නමැති සතුරා ජයගත නොහැක. එසේ හෙයින් ඒ සතුරා හා යුදයට යමියි’ යන අධිෂ්ඨානයෙනි. ඒ අනුව කෙලෙස් නැමති සතුරා ජයගැනීමට උත්සාහ කරන පැවිදි උතුමෙකුගේ භාවනායෝගී චිත්ත චෛතසිකය විවිරණය කිරීම “තුඹරුප් නවකතාවේ” ප්‍රධාන අපේක්ෂාව වූ බව පැහැදිලිය. මෙයට නිදසුනක් ලෙස ගතහොත්,

 “පුත්තාභයෙනි, භූ ගර්භයෙන් බිහි වන්නා වූ එක්තරා ස්වරයක් විශ්වව්‍යාපීව පැතිර අනතුරුව භවාග්‍රයේදී නිශ්චත්වයට පත් වන්නේය. තොප විසින් දර්ශනය කරනු ලබන්නා වූ සියලු ජීවී අජීවී වස්තූහු උක්ත ස්වරය ධ්වනි කොට ඇත්තෝය. තොප විසින් එම ස්වරය ශ්‍රවණය කළ යුතුය. ස්වරය ශ්‍රවණය කරන්නෝ පමණක් සත්‍යය දකින්නාහුය. ශ්මසාන නම් වූ පළමු පරිච්ඡේදය ආරම්භ වන්නේ එලෙසිනි.” යන්න පෙන්වාදිය හැකිය.

 මීට අමතරව 1992දී “වපුල බිජුවට” නමින් කෙටිකතා සංග්‍රහයක්ද රචනා කොට ඇත. මේ අනුව උපරතන හිමියන්ගේ නවකතාවල කැපී පෙනෙන ලක්ෂණ අතර අන්තර්ගතයට උචිත අන්දමින් යොදා ගන්නා භාෂා ශෛලිය, අතුරු කතා යෝජනය, පුනරුක්ති උපක්‍රම, ප්‍රකාශකයා පැහැදිලිව නොදක්වා යොදන දෙබස් හා සංවාද කථන ඉතා සුවිශේෂී වේ. මෙවන් ලක්ෂණ

 අනුගමනය කරන වීරපොකුණේ උපරතන හිමියන්ගේ කෘති සිංහල නවකතා ක්ෂේත්‍රය පෝෂණය කෙරෙහි සුවිශේෂ දායකත්වයක් සපයන අතර උන්වහන්සේ මෙලොව හැරගියත් සාහිත්‍ය ක්ෂේත්‍රයට උන්වහන්සේගෙන් සිදු වුණු මෙහෙය අමරණීයය.

 සහකාර කථිකාචාර්ය
 මනෝජා නවෝදනී ඒකනායක
 සිංහල අධ්‍යයන අංශය,
 පේරාදෙණි විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment