කැපූ පඩු කඳට පොලිස් මුර….

1239

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු පියවර ඉදිකිරීම් කටයුතු කරන වේයන්ගොඩ, දාරලුව ප්‍රදේශයේ තිබූ ‘පඬු කරඳ’ ගස කපා වළදමා ඇතැයි කියන ස්ථානය ඇතුළු අවට ප්‍රදේශයට වාහනයක් සහිතව පොලිස් නිලධාරීන් තිදෙනකු ආරක්ෂාව සඳහා යොදවා ඇතැයි බෙම්මුල්ල පොලිසිය ඊයේ (23දා) පැවසීය.

‘පඬු කරඳ’ (කෲඩියා සෙලනිකා) ගස වළ දමා ඇති ස්ථානය ඇතුළු අවට ප්‍රදේශයට වහාම පොලිස් ආරක්ෂාව සපයන ලෙසට ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් පාතිමා සහානා මහ්පි මහත්මිය පසුගිය 21 වන දින බෙම්මුල්ල පොලිසියට නියම කළාය.

අධිකරණය මගින් කළ එම නියෝග මත මෙසේ පොලිස් ආරක්ෂාව යොදවා තිබේ.

එම ‘පඬු කරඳ’ ගස වළ දමා ඇති ස්ථානය ස්ථිරවම හඳුනාගෙන වහාම එය ගොඩ ගැනීමට පියවර ගන්නා ලෙස දිසා වන නිලධාරි වරයාට මහෙස්ත්‍රාත්වරිය 21 වෙනිදා වැඩිදුරටත් නියම කළාය.

‘පඬු කරඳ’ ගස කපා දැමූ ස්ථානය පිළිබඳව මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු පියවරේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා දැනුවත්ව සිටින හෙයින් එම ගස වළ දැමූ ස්ථානය නිශ්චිතව හඳුනා ගැනීම සඳහා කටයුතු කරන ලෙසට ගම්පහ දිසා වන නිලධාරී ඉසුරු අලවත්ත මහතාට නියම කළ අධිකරණය උදාසීනත්වයකින් තොරව වහාම මේ සඳහා ක්‍රියාත්මක වීමටද වැඩිදුරටත් නියම කළාය.

එම ගස ගොඩගැනීම සඳහා ගස වළදැමූ නිශ්චිත ස්ථානය හඳුනාගෙන අද (24දා) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දිසා වන නිලධාරීවරයාට මහෙස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියම කළාය.

පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමියන් නීතිඥ ලක්දිනු ධීරසේකර මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් මගින් අධිකරණය හමුවට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය. නඩුව අද (24දා) දින නැවත කැඳවීමට නියමිතය.
මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක, වේයන්ගොඩ – ඉන්දික තුෂාර

advertistmentadvertistment
advertistmentadvertistment