කළු ජූලියට අවුරුදු 40යි…ඇසින් දුටු ඇත්ත කතාවක්

342

ඒ 1983 වසරේ ජූලි මස 23 වෙනි සෙනසුරාදා පූර්ව භාගයයිග හිරු මුදුන් වීමට ඇත්තේ තව පැය භාගයක පමණ සුලු වෙලාවකි. යාපනයට ආසන්න තිරුනෙල්වේලි නගරය ඇතුලු මුලු උතුරුකරයම වෙනදා මෙන් එදත් උණුසුම් හිරු එලියෙන් සහ ගිනියම් වූ වැල්ලෙන් පීඩා විඳිමින් සිටියේය.

ඒ අතර යාපනයේ සිට තිරුනෙල්වේලි හරහා බටහිර දෙසට වියලි සුළං කපාගෙන දූවිලි අවුස්සාගෙන වේගයෙන් ඇදී යන හමුදා ජංගම සේවා ජීප් රියකි ඒ පිටුපසින් ඇදී එන්නේ එයට ආරක්‍ෂාව සපයන තවත් අවි ආයුධ සහ නිර්භීත සෙබලුන්ගෙන් පිරි හමුදා ට්‍රක් රථයකි හදිසියේම ඉදිරියෙන් ගිය ජීප් රථය මහත් හඬක් නගමින් පුපුරා යන්නේ එහි සිටි යුධහමුදා සෙබලුන් කීප දෙනෙකු දරුනු ලෙස තුවාල කරමිනි- මෙය සැඟවී සිටින එල් ටී ටී ඊ ත්‍රස්තවාදීන් විසින් පාර අයිනේ අටවන ලද බිම් බොම්්බයක් නිසා වු අනතුරක් බව වහා වටහා ගත් පිටුපසින් පැමිණි භටයන් පුරවාගත් හමුදා ට්‍රක් රය මදක් ඉදිරියට ගොස් අයිනකට කර නවත්වනු ලැබුවේ ප්‍රහාරයට පත් ජීප් රියට සහ තුවාල ලද සොයුරු සෙබළුන්ට සහය වනු පිණිසයි.

ගතවන්නේ නිමේශයකි මග දෙපස සැඟවී සිටි ම්ලේච්ඡ ත්‍රස්තවාදීන් තම උගුලට හසුවූ හමුදා සෙබලුන් වෙත අත් බෝම්බ ගසා දමමින් සහ නවීනතම ස්වයංක්‍රීය ගිනි අවි වලින් ප්‍රහාර එල්ල කරන්නට වන්නේ ඔවුන්ගේ කෲර ම්ලේච්ඡ බව තව දුරටත් තීව්‍ර කරමිනි වහා ක්‍රියාත්මක වන යුද හමුදා සෙබලුන් තම උපරිමයෙන් ප්‍රති ප්‍රහාර එල්ලකොට තත්වය සමනය කලද එම සේනාංකයේ සිටි ලුතිතන් වාස් ගුණවර්ධන ඇතුලු තවත් සෙබලුන් දොළොස් දෙනෙකුත් ත්‍රස්තයන්ගේ කීප දෙනෙකුත් එතැනම ජීවිතක්‍ෂයට පත් වන්නේ තවත් කීප සෙබලුන් දෙනෙකුට දරුණු තුවාලද ඇති කරමිනි.

(එවකට එල්ටීටීඊයේ ඉහල පෙලේ කාඩරයෙකු වූ කිට්ටු විසින් පසුකලෙක මෙම ප්‍රහාරයේ වගකීම තම සංවිධානය වෙත බාර ගත් අතර ඔවුන් කියා සිටියේ මෙය තම සංවිධානයේ ආරම්භක සාමාජික චාල්ස් ඇන්තනි නැමැත්තාව රජයේ හමුදා විසින් ඝාතනය කිරීම නිසා එයට එකට එක කිරීමක් වශයෙන් කල බවයි).

කෙසේ වෙතත් ඉතාම ඉක්මණින් මෙම සිදුවීම කොළඹට වාර්තා වන අතර මියගිය සෙබලුන්ගේ මෘත දේහයන් තම පවුල් වලට භාර දී අවසන් කටයුතු කරනවා වෙනුවට උපරිම රාජ්‍ය ගෞරව සහ හමුදා උත්තමාචාර සහිතව මිහිදන් කිරීමට රජය සහ එවකට හමුදාපතිව සිටි තිස්ස වීරතුංග මහතා තිරණය කරන ලදී එයට හේතුව වශයෙන් පෙන්වා දෙන්නේ මියගිය සෙබලුන් විවිධ පලාත් වල වෙසෙන පවුල් වලට අයත් වන නිසා ඇතිවන අපහසුතා සහ මෙම සිදුවීමට එරෙහිව දැඩි අප්‍රසාදයක් ජනතාව අතුරින් මතුව රට පුරා කැරළි කොල්ාහල ඇති විය හැකි බවට හමුදා බුද්ධි අංශ පෙන්වා දුන් නිසාය.

දැඩි විරෝධතා මතුවී රට නොසන්සුන් විය හැකි බවට දුරදක්නා නුවණින් දුටු එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි ප්‍රේමදාස මහතා මෘත දේහයන් කොළඹට ගෙන එනවාට සිය අකමැත්ත පල කලද සර්ව බලධාරිව සිටි විධායක ජනපති ජෙ ආර් ජයවර්ධන දැඩිව කියා සිටියේ තමා අගමැති ඇතුලු සියලු කැබිනට් ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් අවසන් කටයුතු උපරිම රාජ්‍ය ගෞරවයන් සහිතව කොළඹ බොරැල්ල කනත්තේදී සිදු කල යුතු බවයි මෙය එතෙක් පැවති සම්ප්‍රදායට පටහැනි වුවද 24 වන ඉරුදින සවස 5 ට කොළඹ කනත්තේදී අවමංග්‍ය උත්සවය පැවැත්වීමට කටයුතු සූදානම් කෙරුනි.

මගේ මතකයට අනුව 83 ජූලි 24 ඉරුදින හවස තුනට පමණ එවකට නව යොවුන් පාසැල් සිසුවකුව සිටි මා සහ මගේ පාසල් මිතුරන් කීප දෙනෙකු සිටියේ මරදානේ පිහිටා ඇති ආසියාවේ විශාලම බෞද්ධ පාසලෙහි ක්‍රීඩා පිටියේ “ගල්වලට් ලෙස කොල්ලන් හඳුන්වන කලාපයේ ලකුණු පුවරුව පිටුපස පොඩි ආතල් එකක් ගනිමිනි. එදා සුලෝහිතයන් අතර දෙවෙනි පෙල ක්‍රීඩා තරඟයක් පැවතුන අතර නිවාඩු දවසක් වන නිසා අප එහි ගොස් සිටියේ එම තරඟය නැරඹීමටයි- මා මිතුරු එක ගමේම වෙසෙන සජිත් අපේ පාසලිනුත් රටම දන්නා ගම්පහ පැත්තේ ක්‍රීඩා පවුලක සහෝදර කැලකගෙන් එක් සාමාජිකයෙකු (වත්මන් ප්‍රබල දේශපාලනඥයෙකු) ප්‍රති විරුද්ධ පිලෙනුත් ක්‍රීඩා කල බව මතකය.

කළු ජූලියට අවුරුදු 40යි…ඇසින් දුටු ඇත්ත කතාවක්

හදිසියේම ක්‍රීඩා පිටිය මැදට ආ ඉහත කී සහෝදරයන්ගෙන් එක් අයෙකු අත් පුඩියක් ගසා කූල් අන්දමට කියා සිටියේ.

“ කමෝන් බෝයිස්— දැන් මැච් එක නවත්වනවා බොරෑල්ල පැත්තේ පොඩි කරදරයක්— බස් අඩුවෙයි ඉක්මණට ගෙවල් වලට යන්නට් කියායි.

ඔහුට එකල අපි ගරුකල නිසාත් රට පිලිගත් අයියා චරිතයක් නිසාත් ක්‍රීඩකයනුත් අපත් ඉක්මණින් ක්‍රීඩා පිටියෙන් ඉවතට ගියෙමු.

අයියාගේ අවවාදය මත සියලු දෙනා එතැනින් විසිර ගියද අප කීපදෙනෙකු පයින්ම ඇද්දේ බොරෑල්ල පැත්තටයි- ඒ ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය හමුදා නිලධාරීන් පිරිසකගේ මෘත දේහයන් බොරැල්ල කනත්තට ගේන බවත් ඒ දේහයන් අතර අපේ හොඳම මිතුරෙකු වන සුමේදගේ අයියා වන වාස් ගුණවර්ධන නම් නිලධාරියාගේ නිසල දේහයත් ඇති බවත් එයට අවසන් ගෞරවය දැක්වීම අපගේ පරම යුතුකමක් බව සිතූ නිසාත් මිස අපගේ දඩබ්බර අවටියල් ගති නිසා නොවන බව කියන්නට කැමැත්තෙමි.

එදා 24 වැනි ඉරුදින සවස 4 ට පමණ බොරැල්ල කනත්ත එකම යුද පිටියක (යුද්ධයකට සූදානම් වන) සිරියක් ඉසිලීය. කුලු පොලු රැගත් පොලීසියේ කැරලි මර්දන හමුදාව සීරුවට කනත්ත වටේ තබා තිබුණි. ඊට අමතරව ආයුධ සහිත හමුදා සහ පොලිස් නිලධාරීන් ඕනෑම අවස්ථාවකට සූදානම්ව කල් බලමින් සිටිනු අපට දකින්නට ලැබුණි.

මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් මෙන්ම වනාතමුල්ල මැගසින් පාර, නාරාහේන්පිට රාජගිරිය වැනි පෙදෙසවලින් ආ දහස් ගාණක අසල්වාසී මහජනතාව හමුදාවෙන් සහ පොලීසියෙන් මහ හඬෙන් ඉල්ලා සිටියේ මෘත දේහයන් මෙහි මිහිදන් නොකර සිය පවුල්වලට බාර දෙන ලෙසයි. කෙසේ වෙතත් පස්වරු පහ වන තුරුත් මළ සිරුරු රැගත් ගුවන් යානය යාපනයේ පලාලි තොටුපළින් ගුවනට ඔසවා නොතිබුණි. දේහයන් කොළඹට ඒමට පමා වෙන්නට වෙන්නට කනත්තට රැස්ව සිටි සමූහයාගේ කෑගැසීම් සහ කෝපාග්නිය ක්‍රමයෙන් වර්ධනය වන තත්ත්වයක් පෙන්නුම් කළ අතර පෙර දින උතුරේ වූ සිද්ධිය ඉතා දරුණු ලෙස විකෘති කරමින් කරුණු එකතු කරමින් මහජනයා ප්‍රචණ්ඩකාරීව හැසිරෙන්නට පටන් ගති.

පස්වරු 7.00 ට පමණ ගුවන් හමුදාවට අයත් ඇව්රෝ වර්ගයේ කුඩා යානයක් මෘත දේහයන්ද රැගෙන රත්මලාන ගුවන් තොටුපළට ගොඩ බෑ බවට කට කතා පැතිරුණු අතර ඒ සමගම රජය විසින් ප්‍රකාශ කළේ මේ දැන් ගත් හදිසි තීරණයක් මත රණවිරුවන්ගේ මෘත දේහයන් බොරැල්ල කනත්තේ මිහිදන් නොකර සිය පවුල්වලට භාර දෙන බවයි. මේ වන විට බොරැල්ල කනත්ත තුළ සහ එය වටා හත් අට දහසකට අට පිරිසක් වටලා කඳවුරු බැඳගෙන සිටි අතර ඔවුන් තුළ කෝපයේ වෛරයේ සහ ජාතිවාදයේ ගිනි දැල් බුර බුරා නැගෙමින් තිබුණි.

පසුදා එනම් 25 වැනි සඳුදා පාසල් දවසක් නිසා පාසල් සිසුවකුව සිටි මාත් මගේ මිතුරනුත් අකැමැත්තෙන් වුවද කනත්තට සමුදී පා ගමනින්ම නිවෙස් බලා ඇදුනු අතර රාත්‍රී ප්‍රවෘත්තිවලින් දැන ගන්නට ලැබුණේ රත්මලාන සිට බොරැල්ල කනත්ත කරා ගුවනින් ඇදෙමින් තිබූ දේහයන් සහිත ඇව්රෝ යානය රාත්‍රී 9 ට පමණ ජනාධිපතාගේ නියෝගයක් මත යළි හරවා ගාලු මුවදොර යුද හමුදා මූලස්ථානයට ගොඩ බැස්සවූ බවත් එතැනින් පවුලේ අයට මෘත දේහයන් බාර දෙන ලද බවත්ය.

සන්නිවේදන සේවාවන් එතරම් දියුණු මට්ටමක නොතිබුණු නිසා මෙම සිදුවීම් දාමය රටේ බහුතරයකට එදින එතරම් නොදැනුන අතර සුපුරුදු පරිදි මුළු රටම සුවබර නින්දකට ඇතුල් වුණි. නමුත් උද්වේගයෙන් සහ ප්‍රකෝපකාරීව කනත්තෙන් පිටවූ සෙනඟ බොරැල්ල හන්දිය හරහා මරදාන පිටකොටුව පැත්තටත් තවත් අය නාරාහේන්පිට කිරුලපන පැත්තටත් ගමන් කරන්න වූයේ ජාති මාමක සටන් පාඨ සහ දමිළ විරෝධී සටන් පාඨ කියමිනි. ඒ සමගම ද්‍රවිඩයන්ට හිමි කඩ සාප්පු නිවාසවලට පහර දීම ද ඒවා ගිනි තැබීම ද අතට අසුවන දමිල ජාතිකයන්ට පහර දීමද ඇරඹිණි.

ඒ අනුව එදින රාත්‍රියේ බොරැල්ල, මරදාන, දෙමටගොඩ, ග්‍රෑන්ඩ්පාස්, පිටකොටුව වැනි නගර පොලිස් වෙඩි ශබ්දයෙන් කඳුළු ගෑස් ප්‍රහාරයෙන් සහ කළු දුමාරයෙන් වැසී ගියේය.

පසුදාට එනම් 25 වන සඳුදාට හිරු පායද්දී මුළු කොළඹ නගරයෙන්ම අඩක් මෙම සිදුවීම දැනගෙන සෙබළුන් මැරූ පලිය ගනු පිණිස දමිළ සංහාරයක් ආරම්භ කිරීමට බොහෝ දෙනෙක් පාරට බසින්නට වූහ. වෙනදාටත් කලින් අලුයම අවදිවූ මම කිරුලපන සිට පාසල වෙත යන ගමනේදී දැක්කේ තැනින් තැන සිදුවන කුඩා කඩාකප්පල්කාරී සිදුවීම්ය. නමුත් බොරැල්ල, පුංචි බොරැල්ල, මරදාන ආදි නගරවල සම්පූර්ණයෙන්ම සහ කඩ සාප්පු ගිනි තැබීම් ආරම්භව තිබුණි. මර බියෙන් තැතිගත් දමිළයෝ ඇඳිවතින් පමණක් සිය ජීවිතය බේරා ගනු පිණිස ආරක්‍ෂක ස්ථාන කරා දුවනු එදා සුලබ දසුනක් විය.

අපි කොල්ලන් කීපදෙනෙකු පාසලට යෑම පසෙක තබා දුමාරය සහ ගිනිදැල් මැදින් වීදී සංචාරය ඇරඹුවෙමු.

දිලිසෙන කඩු, මලකඩ කෑ මන්නා පිහි, උල් කිනිසි, යකඩ පොලු, කැති මුගුරු, ගල් ඉණි වැනි අවි ආයුධ අතට ගත් දරුණු පෙනුමැති පිරිමින් පාරට බැස කෑ ගසමින් සතුරන් සොය සොයා පොලු ගාද්දී තවත් සමහරු දෙමළ කඩ සාප්පු සොය සොයා ඒවායේ දොරගුලු කඩමින් ඇතුලේ තිබූ බඩුභාණ්ඩ කොල්ල කන්නට පටන් ගත්තේ ජාත්‍යාලයෙන් ඔදවැදී මිස තම පටු අරමුණු ඉටු කර ගැනීමේ අභිලාසයෙන් නම් නොවේ.

මංකොල්ලයට වැටී සිටි වැඩිහිටියන් කොල්ල කන ලද හාල්, පිටි, සීනි වැනි දේ ගෝනි පිටින්ද කැසට් රූපවාහිනි ඩෙක් ගෘහ භාණ්ඩ කරත්ත පිටින් ද කාන්තාවෝ රෙදිපිළි සහ රත්තරන් බඩුද දරුවෝ ඇපල් මිදි චීස් බටර් වැනි දෑද සිතුසේ තම නිවෙස්වලට අදිනු ඒ දින කීපය තුළ නිතර දකින්නට ලැබුණි. දාමරිකයන් වැනි මිනිසුන් පිරිසක් විසින් පුංචි බොරැල්ල සිරිල් පාමසිය කඩන අවස්ථාවේ අපගේ පාසල් මිතුරන් වන පයිලට් සහ තිස්ස සෙනඟ අස්සෙන් රිංගා ඉතා විශාල දත් බෙහෙත් ටියුබයක් උස්සාගෙන ආවේ කොල්ලකන අරමුණෙන් නොව එච්චර ලොකු ටියුබයක් අප මීට කලින් දැක නැති නිසාය.

කොලු රැලෙන් කීපදෙනෙකු කෝච්චියේ නැග නිවෙස්වලට යනු පිණිස මරදාන පැත්තට වෙන්වී ගිය අතර මා ඇතුළු කීපදෙනෙක් බොරැල්ල ටොරිංටන් හරහා බෞද්ධාලෝක මාවත ඔස්සේ බම්බලපිටිය පැත්තට ඇදුනෙමු.

කළු ජූලියට අවුරුදු 40යි…ඇසින් දුටු ඇත්ත කතාවක්

බම්බලපිටියේ ටොප් ටෙක්ස් කඩනු දැක මුතාලිෆ් ඇතුළට රිංගා කැඩි පොඩිවී ගිය කැසියෝ වර්ගයේ ප්ලාසිටික් අත් ඔරලෝසුවක් අරගෙන ආවේත් මුදලිගේ ගාල්ලගේ පීරිස් වැනි අප කීපදෙනා ටොපි චොකලට් සිගරට් වැනි සිල්ලර දේ සාක්කුවල පුරව ගත්තේත් මංකොල්ල කන අරමුණෙන් නොව කිසිම හරයක් හෝ තේරුමක් නොදැන හුදෙක් විනෝදයට බව සිහි කළ යුතුය.

24 ඉරිදා මැදියමෙන් සහ 25 සඳුදා උදෑසනින් ඇරඹුණ දමිළයන්ට පහරදීමේ සහ මංකොල්ල කෑමේ ව්‍යාපාරය ඉතා ඉක්මනින් රට පුරාම ව්‍යාප්ත වන්නට විය. මෙය පිටපුස සංවිධානය වූ දේශපාලන කණ්ඩායම් සිටින බවට රජය වරින් වර ප්‍රකාශ නිකුත් කරන්නටද විය. ඒ අනුව මට මතක හැටියට වාසු බාහු සහ විජේවීර වැනි වමේ නායකයන් අත්අඩංගුවට ගැනීමට හෝ දුටු තැන ඇල්ලීමට නියෝග පැනවුණි.

නමුත් තවත් සමහරු හොර රහසේ මුමුණන්නට වූයේ මෙම ම්ලේච්ඡ දමිළ ජන සංහාරය පිටුපස තනිකරම සිටින්නේ එවකට රට පාලනය කළ ජේ. ආර්. සහ ඔහුගේ ආණ්ඩුවේ මිනිසුන් සහ ජාතිවාදයෙන් ඔද වැඩුණු හමුදා නිලධාරීන් පිරිසක් බවයි- නිල ඇඳුම් ලාගත් තරුණ හමුදා නිලධාරියෙක් තම ස්වයංක්‍රීය ගිනි අවියෙන් බම්බලපිටියේ කඩ සාප්පුවල ඉබි යතුරුවලට වෙඩි තබා ඒවා කොල්ලකනු පිණිස දොරවල් ඇරදෙන අයුරුත් තවත් නිලධාරීන් බූලි බැරල් පිටින් පෙට්‍රල් ලාම්පුතෙල් සපයන අයුරුත් මම සියැසින් දිටිම.

දාඩිය පෙරා ගත් ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ සුවිසල් කාරයකින් පැමිණ බම්බලපිටිය හන්දියෙන් බැස්සේ සිංහ ලීලාවෙනි.

රජය විසින් 25 වැනිදා සවස් වන විට ඇඳිරි නීතිය පනවා තිබුණි. රාජකාරී සහ වෙනත් අවශ්‍යතා සඳහා ඈත පළාත්වලින් උදෑසනම නගරයට පැමිණ සිටි බාල මහලු ගැහැනු පිරිමි ජන කොටස් යළි නිවසට යෑමට ප්‍රවාහන පහසුකම් නොමැතිව බස් නැවතුම්පළවල දුම්රියපළවල පීඩා විඳිනු සුලබ දසුනක් විය.

නාලිනී නම් සුරූපී තරුණ ගැබිනි කාන්තාවක් පිටරට සිටින තම සැමියා එවා තිබූ මුදල් මාරුකර ගැනීමට පේරාදෙණියේ සිට කොළඹට පැමිණ මුදල් ලබා ගන්නට නොහැකිව සහ බස් නැතිව ගමේ යන්නට ද නොහැකිව බම්බලපිටියේ අතරමංව හඬමින් සිටිද්දී ඇයට උපකාර කිරීමට මටත් සජිත්ටත් හැකි විය- අපි ඇයව අපේ මිතුරෙකු වන මල්ලිකා පාරේ කපිලගේ නිවසට කැඳවාගෙන ගොස් නාන්නට කන්නට බොන්නට දී නවාතැන්ද සපයා දුනිමු. නාලිනී අක්කා අදටත් අපට පිං දෙයි- එදා ඇගේ කුසේ සිටි බිලිඳා අද අවුරුදු හතළිහක පරිගණක ඉංජිනේරුවෙකි.

සෑම නගරයකම වාගේ මිනී මැරුම් ගිනි බත් කිරීම් ගැන අසන්නට දකින්නට ලැබුණි. තැන් තැන්වල ගිනි ගන්නා මළසිරුරු යාන වාහන කඩ සාප්පු නිවාසවල අඩුවක් නොවීය. හතර වටෙන්ම ඇසෙන්නේ මර ළතෝනි සහ මොර ගැසීම්ය. මංකොල්ලකරුවන් විසින් සුපිරි නිවාස, සාමාන්‍ය නිවාස මහල් නිවාස, කඩ සාප්පු, කර්මාන්ත ශාලා සිනමා ශාලා, කාර්යාල බෝතල් පත්තර කඩ සිල්ලර කඩ තොග කඩ ආදිය ගිනි තබමින් විනාශ කරමින් හැකි උපරිමයෙන් මංකොල්ල කෑමද සිදු කරන ලදි.

ඊරෝස්, කල්පනා සහ ගාමිණි යන සුප්‍රසිද්ධ සිනමා ශාලා ‘අමු අමුවේ’ ගිනි ගන්නා අයුරුත් ගාමිණි හෝල් එකේ මැණික් මාලිගා චිත්‍රපටය නරඹමින් සිටි අයෙකුගේ ඇඳුමට ගිනි ඇවිලී ඔහු මොර ගසමින් ඩාලි පාර දිගේ දිව ගිය අයුරුත් මට තාම මතකය.

සිරිපතුල, උතුම් ස්ත්‍රිය, අද මෙහෙමයි, මහ රෑ හමුවූ ස්ත්‍රිය, ගොපළුහඬ, මගෙ අම්මා නිලුකා දමයන්ති වැනි ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂණය කළ කේ- වෙන්කට් මහතාව තමා ගමන් කළ මෝටර් රථය තුළටම දමා පෙට්‍රල් වත්කර ගිනි තැබූ අන්දම මට කීවේ එය සියැසින් දුටු දෙහිවල කුලේන්ද්‍රන්ය. බාල්දිය කියපන් කියමින් ජාතිමාමක සිංහලයන් වෙන්කට්ට අමානුෂීකව පහර දෙද්දී ඔහු මොර ගසමින් කියා ඇත්තේ

“මල්ලී අර ඕගොල්ලො නිතරම අහන හැම දන්සලකම දාන සකල සතම බොදු බැතියෙන් කියන සිංදුව තියෙන සිරිපතුල ෆිල්ම් එක හැදුවෙත් මායි. මාව මරන්න එපා” කියාය.

කොණ්ඩෙ පිච්චමල් ගසා නහයේ කරාබු දමා දිලිසෙන සාරියක් ඇඳ දමිල නිළියක් සේ රූපා ඇන්ටි (ගායිකා රූපා ඉන්දුමතී) බොරැල්ල වයි ඇම් බී එකේ රූපා ගී සරණිය නිමකොට ත්‍රීරෝද රියකින් ගෙදර එද්දී ඇය දමිළ යයි සිතා එළියට ඇද දූෂණය කර මරන්නට යද්දී

“යකෝ මං සිංහල— මං තමයි විදුලි දුම්රියේ සිංදුව කියන රූපා” කියා මොර දුන්නේ නැත්නම් අද අපට රූපා ඉන්දුමතියක් නැත- වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි ත්‍රස්තවාදයට සම්බන්ධ දමිළ සිරකරුවන් 38 දෙනකු පොලුවලින් ගසා තියුණු අවිවලින් කපා කොටා මරා දාන්නේ ද මෙම කාලය තුළයි. එදා එම සිදුවීම සියැසින් දුටු දෙමටගොඩ නිමල් පසුකාලෙක එය මට විස්තර කළේ මෙසේය.

අපේ අයට ඕනි වුණේ කුට්ටිමනීයව ඉවරයක් කරල දාන්නයි… මොකද එයා ඇතුලෙ හිටියෙත් මහ ජාතියෙන්… කට්ටිය කීප දෙනෙක් එයාලව මරන්න සෙල් එක ගාවට යද්දී එයත් එක්ක හිටපු අනික් කොටි කට්ටිය ලෑස්තිවෙලා ඉඳල තියෙන්නෙ ළඟට එන ඕනි අයෙක්වම මරන්නයි. උන් ගාව උල් කටුල කරන්ට් වයර් වගේම උණුවට කැකෑරෙන තෙල් හට්ටිත් තියල තියෙනව අපේ මහින්දයියට (වලංකඩේ මහින්ද) මළ පාත් වෙලා, ඒකයි ඔක්කොටම වැඩේ දෙමු කියල හිතුවෙ.

එවකට ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකු වූ වි. ජ. මු. ලොකුබණ්ඩාරගේ විශාල මෝටර් රථය අලුත්වැඩියාව සඳහා ගාල් කර තිබුණේ නුගේගොඩ කට්ටිය හන්දියේ සුභද්‍රාරාම පන්සලට යාබද නිර්මාල් නම් අප මිතුරාගේ පියාගේ ගරාජයේයි- වී අයි පී ස්ටිකරයක් අලවා ඇඳිරි නීති පාස් පවා තිබූ එම රථය නිර්මාල් විසින් තාත්තාට හොරෙන් උස්සාගෙන ආ අතර අපි කීපදෙනෙකු එහි නැගී නගර වටා සංචාරය කළේ හිස් අහසේ පියාඹන කුරුලු රජෙකුසේ ය- නගර එතරම්ම ජනශූන්‍යව පැවතුනි- වීදුරු කළු කළ ප්‍රභූ වාහනයක් නිසා පොලීසියෙන් පවා අපව නැවැත්වූයේ නැත.

නගරපුරා වෙන නොයෙකුත් අවැඩ අමානුෂික කටයුතු අනීතික ජාවාරම් අනන්තවත් අපේ ඇස් දෙකටම දකින්නට ලැබුණි.

දින කීපයක් පුරාම රටපුරා ඇඳිරි නීතිය පැවතුනද සිදු වූ අනතුරු මිනිමැරීම් මංකොල්ලවල අඩුවක් දක්නට නොලැබුණි. රජය විසින් රටපුරා ආරක්‍ෂක ස්ථානවල අනාථ කඳවුරු ආරම්භ කළ අතර මර බියෙන් තැතිගෙන සිය දහස් ගණන් දමිළ ජනතාව රැකවරණය පතා එහි ඇදෙන්නට විය. එමෙන්ම කෝලාහල අස්සේ කෙසේ හෝ අමාරුවෙන් යාපනයට මන්නාරමට පැන ගත් සමහරු බෝට්ටු මගින් තමිල්නාඩු ප්‍රාන්තයේ රාමේෂ්වරම් කන්‍යාකුමාරි තූත්තුකුඩි වැනි වෙරළ හරහා ඉන්දියාවට පැන ගති. එසේම තවත් බොහෝ දමිළයන් ඇමෙරිකාව, කැනඩාව සහ යුරෝපයේ රටවලට පැනගොස් දේශපාලන රැකවරණය පතා නේවාසික වීසා ඉල්ලුම් කළහ. එසේ 83 සමයේ රටින් පැන ගිය දමිළයන් ඔවුන්ට උප සංස්කෘතියක් විප්‍රවාස ජන කොට්ඨාසයක් හදාගත් අතර දැනටත් කැනඩාව, අමෙරිකාව සහ යුරෝපයේ ව්‍යාප්ත දමිළ ඩයස්පෝරාවේ මුල බීජය වැටෙන්නේ එදා කළු ජූලියෙනි.

ගිනි තබා විනාශ කළ තිඹිරිගස්යායේ සැලුන් එකේ ඩේවිඩ් අංකල් අද කැනඩාවේ සුවයෙන් ජීවත්වන අතර වැල්ලවත්තේ සුකුමාරන් කොල්ලුපිටියේ බාලචන්ද්‍රන් දෙමටගොඩ රගූ වැනි අය එදා මර බියෙන් බෝට්ටුවල ඉන්දියාට පැනගොස් පසුව යුරෝපයට සංක්‍රමණය වූ අයයි- අද ඔවුන් දරුමල්ලන් ලැබ ඒ රටේ සමාජයේ ඉහළින් වැඩඹෙන්නෝ වෙති.

සතියක් පමණ ගතවෙද්දී රට පුරා පැවති ප්‍රචණ්ඩත්ව ගතිය නැතිවී නිශ්චල බවක් උදාවුණ ද ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට හැරෙන බවක් පෙනෙන්නට නොතිබුණි. මුදල් හදල් ඇති අය සහ සාමාන්‍ය පන්තියේ අය හැකි පමණ පැරණි ජීවිතයට යළි හැඩ ගැහෙන්නට වූ අතර අඩු ආදායම් ලබන මුඩුක්කු වාසී පිරිස් තම වතුවලට හිරවී කාඩ් සෙල්ලං කරමින් කැරම් ගසමින් ගංජා උරමින් කාලය ගත කරනු දකින්නට ලැබුණි. විටින් විට ප්‍රකාශයට පත් කළ ඇඳිරි නීතිය මොවුන්ට මේ සඳහා මහත් පිටිවහලක් විය.

පොලිස් වාර්තාවලට සහ ජන ප්‍රවාදයන්ට අනුව කොළඹ නගරය පුරා හෙරොයින් නමැති මත්ද්‍රව්‍ය බහුල ලෙස ව්‍යාප්ත වන්නේත් වතු ආශ්‍රීත ජනතාව අතරට යන්නේත් මෙම කාල වකවානුව තුළයි. මුඩුක්කු සහ ජනාකීර්ණ වතු තුළ සමහර තරුණයෝ ප්‍රසිද්ධියේ කුඩු උරණු එදා සුලබ දසුනකි- මෙම සියලු කඩාප්පල්කාරී ක්‍රියා පිටුපස සංවිධානාත්මක පිරිසක් සිටි බවත් ඔවුන් ඉතා සුක්‍ෂම ලෙස මෙම කෝලාහලය සහ සංහාරය මෙහෙයවූ බවත් රජය සහ වෙනත් බලයලත් පිරිස් පුන පුනා ප්‍රකාශ නිකුත් කරන්නට වූ අතර සමහරු එවකට පැවති රජයේ ප්‍රබලයන් දෙසට ද ඇඟිලි දික්කරන්නට විය. සිංහල ජනතාව දෙමළ ජනතාව පෙලමින් මංකොල්ල කද්දී බෙලි කපා මරා දමද්දි වස්තුව ගිනි බත් කරද්දී එවකට හිටි දමිළ ජාතීන්ගේ නායකයා රටේ නායකයා සහ එක්ව සමගියෙන් සුරුට්ටු උරමින් කෝපි බොමින් රූපවාහිනිය තුළින් නැරඹු බවට ද එකල රාවයක් පැවතුනි. මෙයින් අදහස් කළේ පොඩි එවුන් කා කොටා ගනිද්දී මහ එවුන් කරේ අත දාගෙන බාල් නටන බවයි.

කළු ජූලියට හෙටට වසර හතලිහක් පිරේ. අද පිරබාහරන්ලා කුට්ටිමනීලා ජේ.ආර්.ලා අමිර්තලිංගම්ලා හෝ වලංකඩේ මහින්දලා නැත. ඒත් බහුතරයක් මනුෂ්‍ය සිත් තුළ තාමත් ජාතිවාදය, වර්ගවාදය, කෝපය තණ්හාව, වෛරය නොඅඩුව පවතී. මේවා නැත්තට නැති කිරීම කෙසේ වෙතත් අඩු කිරීමටවත් කවුරුන් හෝ කුමන හෝ විසඳුමක් සෙවිය යුතුය.

මිත්‍ර ශ්‍රී කරුණානායක
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment