ඇතුලේ විකුණන්න සුරුට්ටු 80ක් ගිල බන්ධනාගාරගතවූ රැඳවියාට වැඩ වරදී

114

මළපහ කරවා සුරුට්ටු එළියට ගනී

බන්ධනාගාරය තුළ දුම්කොළ ජාවාරම කිරීම සඳහා දුම්කොළ සුරුට්ටු 80ක් ගිල දමා බන්ධනාගාර ගතවූ රැඳවියකු මළපහ කරවීමෙන් පසු එම දුම්කොළ සුරුට්ටු 80 ලබාගත් බැව් අගුණුකොළපැලැස්ස බන්ධනාගාර කාර්යාලය පවසයි.

බන්ධනාගාර තුළ දුම්කොළ සුරුට්ටුවක් රුපියල් තුන්දහසක මුදලකට අලෙවි වන බවද බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. මෙකී රැඳවියා දුම්කොළ දඬු අඩුවකට දමා කුඩා කොටස්වලට තලවාගෙන ඉන් කැබලි 80ක් ගිල දමා තිබුණි. මොහු බන්ධනාගාරගතවීමේ අරමුණින්ම මෙම ක්‍රියාව සිදුකොට තිබූ බවද පැවසේ. මොහු ගංජා සුරුට්ටුවක් පානය කරමින් සිටියදී පොලිසිය මගින් වීරවිල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කොට තිබුණි. ඇප ලබාදීම සඳහා කිසිවෙකු ඉදිරිපත් නොවූ නිසා මොහු බන්ධනාගාර ගතකොට තිබුණි.

මෙම රැඳවියා පිළිබඳ අගුණුකොළපැලැස්ස බන්ධනාගාර අධිකාරි නිමල් ශාන්ත මහතාට ලද තොරතුරකට අනුව ඔහු බන්ධනාගාරයෙන් පිටත ප්‍රධාන දොරටුව අසල සිරමැදිරියක රඳවා තැබීමට කටයුතු කරනු ලැබීය. පසුව බන්ධනාගාර නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ රැඳවියාට මළපහ කිරීමට සලස්වා දුම්කොළ සුරුට්ටු 80 ලබා ගැනීමට කටයුතු කරනු ලැබීය.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment