සායනික අපද්‍රව්‍ය යළි ගොඩගැසෙයි!

70

මෙරට ක්‍රියාත්මක ප්‍රධාන පෙළේ සායනික අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයක මෙහෙයුම් කටයුතු අඩාලවීම හේතුවෙන් ඉදිරියේදී දකුණ, මධ්‍යම හා බස්නාහිර පළාත් මුල්කර ගනිමින් ක්‍රියාත්මක සායනික අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රියාවලිය දැඩි අවදානමකට ලක්ව ඇත.

එම කළමනාකරණ මධ්‍යස්ථාන අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගෙවිය යුතු හිඟ මුදල් නිසි පරිදි නොගෙවීම හේතුවෙන් එවැනි තත්ත්වයක් උද්ගතව ඇති බවත් ඒ හේතුවෙන් ඉදිරියේදී රෝහල් තුළින් බැහැර කරන සායනික අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම පිළිබඳ ගැටලු රැසක් පැනනැඟීමේ අවදානමක් පවතින බවත් ය.

කෙරවලපිටිය ප්‍රදේශයේ ඉදිකර තිබෙන එම අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ සේවකයන් පෙන්වා දෙන්නේ, ඒ හේතුවෙන් තම රැකියා පවා අවදානමකට ලක්ව ඇති බවක් ය. ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ පසුගිය කාලසීමාව තුළ ද අවස්ථා කීපයකදී එම සේවාව තාවකාලිකව නතර කිරීමට පාලනාධිකාරිය විසින් කටයුතු කළ බවත්, මෙවර එහි තවත් පියවරක් ලෙස එහි කාර්ය මණ්ඩලය අවම කිරීමට ආයතන කළමනාකාරීත්වය විසින් කටයුතු කරමින් සිටින බවත් ය.

මාසිකව මෙටි්‍රක් ටොන් 15,000 ක සායනික අපද්‍රව්‍ය දහනය කළ හැකි දහන යන්ත්‍රයකින් සමන්විත එම සමාගමෙන්, මේ පිළිබඳ විමසීමේදී ඔවුන් සඳහන් කර සිටියේ තම ආයතනය වෙත රුපියල් මිලියන 600 ක මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අයවිය යුතු බවත්, එම ගෙවීම් ප්‍රමාදවීම හේතුවෙන් මධ්‍යස්ථානයේ දෛනික ක්‍රියාවලිය තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යෑමේ ගැටලු රැසක් පැනනැඟී ඇති බවත් ය.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment