ගම්‍යා ටෙලි තිරයට

180

කිසිම දෙයක් සදාකාලික නැහැ
ළඟදි තමයි ලංකාවට ආවෙ

වසරේ මිස් ශ්‍රී ලංකා කිරුළ දිනාගැනීමෙන් පසු මෙරට පමණක් නොව ජාත්‍යන්තරයේ පවා කතාබහට ලක්වන නිර්මාණ තුළින් ඔබ හමුවට පැමිණි ඇය නමින් ගම්‍යා විජේදාස. මේ දිනවල ගම්‍යා අපිට හමුවන්නේ ඇයගේ පළමු ටෙලි රංගනය තුළිනි. පසුගිය දිනවල විදෙස්ගත වී සිට නැවත ලංකාවට පැමිණි ඇය ‘චණ්ඩි කුමාරිහාමි’ හි හීන් මැණිකා ගැන කතාකරන්න අමතක කළේ නැහැ.

ගම්‍යා කොහොමද ඉතිං?

ම්ම්…. මම හොඳින් ඉන්නවා.

පසුගිය දවස්වල ලංකාවේ හිටියෙ නැහැ?

ඔව්, මම ළඟදි තමයි ලංකාවට ආවෙ.

කොහේද ඔබ හිටියෙ?

මම හිටියෙ ඔස්ටේ්‍රලියාවේ මෙල්බර්න් නුවර. මගේ ගෙදර තියෙන්නෙ එහේ. මම හැදුනේ වැඩුණේ එහේ. කොහොමත් අවුරුද්දකට එක වතාවක් හෝ දෙවතාවක් මම ඕස්ටේ්‍රලියාවට යනවා. නමුත් භාරගත්ත වැඩ නිසා මේ අවුරුදු කිහිපයේම ලංකාවේ ඉන්න වුණා. ඊට අමතරව කොවිඩ් ප්‍රශ්න නිසාත් යන එන එක මගහැරුණා. ටික කාලයක් ඉන්න ඕනෑ කියල හිතාගෙන ගියාට නැවත එන්න සිදු වුණා.

ගම්‍යා ටෙලි තිරයට

ඇයි නැවත එන්න සිදු වුණේ?

‘චණ්ඩි කුමාරිහාමි’ ටෙලි නාට්‍යයේ රූගතකිරීම් නිසා මට නැවතත් ඉක්මණින් එන්න සිදු වුණා. මම ඕස්ටේ්‍රලියාවේත් රූපවාහිනී සහ චිත්‍රපට කර්මාන්තයට සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරනවා.

පසුගිය දවස්වල ඔබ රඟපෑ ජාත්‍යන්තර නිර්මාණයක් තිරගත වුණා?

ඔව්, ඒක මම ඉන්දියාවේදී හින්දි භාෂාවෙන් කරපු චිත්‍රපටයක්. නමුත් එක ෆෝ පාර්ට් ලිම්ටඩ් සීරියස් එකක් හැටියට Wrong way යන නමින් ඩිස්නි හොට්ස්ටාර් එකේ තිරගත වුණා. මම කාලෙකට කලින් ඒක කළේ. කොහොම වුණත් ඒක මට සතුටට කාරණයක්.

ගම්‍යා ටෙලි තිරයට

දැන් පුංචි තිරයේ දකින්න ලැබෙනවා?

මේක මගේ පළමු ටෙලි නාට්‍යය. මීට කලින් චරිත් අබේසිංහගේ ‘ඉම’ කියන ලිමිටඩ් සීරිස් එකකට රංගනයෙක් දායක වුණා. නමුත් ඒක තවම විකාශය වුණේ නැහැ. මම රංගනයෙන් දායක වී තිරගත වන පළමු ටෙලි නාට්‍ය තමයි ‘චණ්ඩි කුමාරිහාමි’.

ගම්‍යාව තෝරාගනිද්දි නිර්මාණකරුවන් පරිස්සම් වෙනවද?

ඇත්තටම මාව නිර්මාණයකට තෝරා ගනිද්දි මෙයා මොන වගේ කෙනෙක්ද කියල ඔවුන් හිතනව ඇති. ඒ අනුව මට ලැබෙන අවස්ථා සීමා වෙනවා. මෙයාට මේක කරන්න පුළුවනිද කියන සිතුවිල්ල අධ්‍යක්‍ෂවරුන්ට, නිර්මාණකරුවන්ට තියෙනවා. එතැනින් එහාට ඔවුන් ඒ අවධානම ගන්නේ නැහැ. නමුත් මම රංගනය වගේම නර්තනයත් හදාරපු කෙනෙක්.

මේ ලැබුණ අවස්ථාව ගැන කිව්වොත්?

මට මේ ලබා දුන් අවස්ථාව ගැන චරිත්ට ස්තූතිවන්ත වෙන්න ඕන. කවුරුත් මගෙන් බලාපොරොත්තු නොවුණ දෙයක් මට කරන්න හැකිවෙයි කියල හිතපු එක සහ මට කරන්න පුළුවන් දේට අවස්ථාව ලබා දුන් එක ගැන ගොඩක් සතුටුයි.

හීන් මැණිකා ගැන මොනවද අහන්න ලැබෙන්නෙ?

මම බලාපොරොත්තු නොවුණ විදිහේ ප්‍රතිචාර මේ වන විට ලැබෙමින් පවතිනවා. කලක් තිස්සේ මට යමක් කරන්න හැකියාව තිබුණත් අවස්ථාවක් නොලැබුණ දෙයක් තියෙනවා. දැන් මට ඒකට අවස්ථාව ලැබිල තියෙනවා. ඒක හිතට හරිම සංවේදී තැනක්.

ඇය නපුරු චරිතයක්?

හීන් මැණිකා නපුරුයිද කියන එක මම හිතන්නෙ කතාවත් එක්ක ඉදිරියේදී දිගහැරෙයි. පැතිකඩ ගොඩක් තියෙන මිශ්‍ර චරිතයක්. මම රඟපාන්න කැමතිත් ඒ විදිහට තමයි. එක කලර් එකකින් මේ චරිතය ප්ලේ කරන්න උත්සාහ කරනවා වෙනුවට එහි තිබෙන සියුම් තැන් ප්‍රේක්‍ෂකයා හමුවට ගෙන එන්න තමයි මම උත්සාහ කරන්නෙ.

සැබෑ ජීවිතයට මේ චරිතයේ සමානකම් තියෙනවද?

සැබෑ ජීවිතයේදී මම හීන්මැණිකාට සමාන නැහැ. නමුත් මනුෂ්‍යයෙක් හැටියට එක එක අවස්ථාවලදි සමාන වෙන තැන් තියෙනව. ප්‍රධාන වශයෙන් ගත්තම ඒ චරිත ලක්‍ෂණ නැහැ.

ඔබ චරිත තෝරනවා?

ඔව්, මම බොහෝ විට චරිත තෝරනවා. නමුත් එහෙම තෝරාගන්න තරමට චරිතවලට ආරාධනා ලැබිලත් නැහැ. එහෙම වුණත් මට ලැබෙන ආරාධනා වලදි මම හොයන දේවල් ටිකක් තියෙනවා. ඒ තුළ තමයි මම චරිත තෝරා ගන්නෙ.

1970 ලව් ස්ටෝරි ළඟදීම තිරගත වෙනවා?

ඔව්, ළඟදීම තිරගත වෙනව කියල දැනුම් දීලා තියෙනවා. ඒකත් මම ඉතාම ආසාවෙන් සම්බන්ධ වුණ නිර්මාණයක්. අනික ඒ චිත්‍රපටය මගේ ජීවිතයට විශේෂයි. මොකද මේක ලංකාවේ මම දායක වුණ පළමු සිනමා නිර්මාණය. අරුණ ජයවර්ධනගේ අධ්‍යක්‍ෂණයක් වුණ මේ නිර්මාණය ඉතාම සුන්දර එකක්. ප්‍රේක්‍ෂකයන් එක්ක මේ අත්දැකීම බෙදාගන්න හරිම ආසාවෙන් ඉන්නෙ.

ඔබ වැඩිපුර කැමති ජාත්‍යන්තර නිර්මාණවලට දායක වෙන්නද?

මම ජාත්‍යන්තර නිර්මාණවලට කැමතියි. මම හැදුන වැඩුණ පසුබිමත් එක්ක ඒ විවෘත වීම පුංචි කාලේ ඉඳන්ම මට තිබුණා. මම කතාකරන භාෂාවත් විවිධයි. ඒත් එක්ක මට හින්දි, ඉංග්‍රීසි යන භාෂාවලින් වැඩ කරන්න ලැබෙනවා. සිනමාවේ වුණත් මම කැමති විවිධ පැතිකඩ සොයාගෙන යන්න.

රූ රැජනක් ලෙස ඔබට තිබෙන පිළිගැනීම තවමත් එලෙසමයි. මොකක්ද රහස?

ඇත්තටම කාලයක් තිස්සේ ජනප්‍රියත්වය එක විදිහට පවත්වාගෙන යන එක පහසු දෙයක් නෙමෙයි. නමුත් මේ හිතා මතා කරන දෙයක් නෙමෙයි. ගෞරවය කියන දේ ඉබේ ලැබෙන්න ඕනෑ දෙයක්. ඒක තීරණය වෙන්නෙ තමන්ගේ ජීවන රටාව අනුවයි.

විලාසිතා ගැන අදහස?

විලාසිතා කියන්නෙ අපේ වෘත්තියත් එක්ක බැඳිල තියෙන දෙයක්. තමන්ට ගැළපෙන සුවපහසු දෙයක් කළාට කමක් නැහැ කියලයි මම නම් හිතන්නෙ. මම කරන්නෙ මට ගැළපෙන සහ මට සුදුසු දේ. ඒ සියල්ල කාලයත් එක්ක වෙනස් වෙන දේවල්. කිසිම දෙයක් සදාකාලික නැහැ.

ගෙවී ගිය කාලය ගැන කතාකළොත්?

ගෙවී ගිය කාලයත් එක්ක ජීවිත දෙස ආපසු හැරී බැලුවොත් පසුතැවීම් කියන දේවල් නැහැ. හැම අතින්ම ඉතාම හොඳ අත්දැකීම් තිබෙනවා. එහෙම නැතිව ෆේල් වුණා, පරාජය වුණා කියන දේවල් මම විශ්වාස කරන්නෙ නැහැ. එක්කෝ හරි ගිහින් තිබෙනවා, නැතිනම් ඉගෙනගන්න අවස්ථාවක් ලැබිල තියෙනවා. ඔය කියන අවස්ථා දෙක අතර තමයි දෝලනය වෙන්නෙ. ඒ නිසා අතීතය දහා උපේක්‍ෂාවෙන් බලනවා.

මහේෂ් එදිරිසිංහ
ඡායාරූප – විරාජ් ෆර්නෑන්ඩු

advertistmentadvertistment
advertistmentadvertistment