සොබාදහමේ මිනිසා

40

පරිසර ක්ෂේත්‍රය සැලකූ විට අපේ රටේ තිබෙන එක් ජනප්‍රියම මිථ්‍යාවක් තමයි පරිසර සංරක්ෂණය, වන ජීවීන්, වනජීවී සංරක්ෂණය, වනාන්තර සංරක්ෂණය වගේ විෂයන් සාමාන්‍ය පොදු ජනතාවට ගෝචර නෑ, නැත්නම් කැප නෑ කියන එක. මේ විෂයයන් පරතෙරට දන්නවා යැයි හිතන අයත්, ආයතනත් අඩු වැඩි වශයෙන් මේ මිථ්‍යාව වපුරමින් සිටිනවා. බහුතරයක් පොදු ජනතාවත් ඒක ඔවුන්ටම පවරලා දීලා පැත්තකට වෙලා ඇස්-කන් පියාගෙන ඉන්න ස්වරූපෙකුත් දකින්න තිබෙනවා.

“ගැලවුම්කාරයෙක් ඇවිත් අපි ආරක්ෂා කර ගනී” කියන අන්ධ සහ පරාදීන විශ්වාසයක් මත නිද්‍රාශීලී වීමක් තමයි වැඩි පිරිසකගෙන් පේන්න තියෙන්නේ.

පරිසර සංරක්ෂණය ගැන කතා කරන්න හෝ වැඩ කරන්න උපාධි තියෙන්න ඕන, ඉංග්‍රීසි භාෂාව පුළුවන් වෙන්න ඕන, පර්යේෂණ පත්‍රිකා ගොන්නක් පළ කරලා තියෙන්න ඕන කියන ආකල්පය පරිසරය සංරක්ෂණය ගැන කතා කරන හැම තැනකදිම ඉස්මතු වෙනවා. ඇයි ඒක එහෙම වෙලා තියෙන්නේ හෝ කරලා තියෙන්නේ කියන එක වෙනම සොයා බැලිය යුතු දෙයක්.

අප මුලින් කියපු එකක් වත් නරක දේවල් හෝ බැහැර කළ යුතු දේවල් හෝ නොවේ. ඔවුන්ගේ දායකත්වය අවතක්සේරු කිරීම හෝ ගැරහීම හෝ අපගේ අරමුණත් නොවෙයි. ඔවුන්ගේ දායකත්වයන් සහ සම්ප්‍රදානයන් ද සංරක්ෂණය සඳහා අත්‍යවශ්‍යයයි. නමුත් මේ සමහර පුද්ගලයන් සහ ආයතන තමන්ගේ දැනුම, කුසලතාව, රැකියාව හෝ සිවිල් නාමයන් අප කලින් කියපු පරිසර සංරක්ෂණ මිත්‍යාව ප්‍රචාරය කරන්න භාවිත කරනවා. මිනිස්සු දැනුවත් කිරීම, සවිබලගැන්වීම සහ සංරක්ෂණයට දායක කරගැනීම වෙනුවට මිනිස්සු අවතක්සේරු කරලා “උඹල දන්න පරිසරයක්වත් හෝ සංරක්ෂණයක්වත් නෑ” කියලා පැත්තකට තල්ලු කරලා දාන එක දැන් ශ්‍රී ලංකාවේ ලාභ මෝස්තරයක් වෙලා. අපි හිතන්නේ ඔවුන්ට ඒ දේ කරන්න තරම් වටින්නේ නැහැ කියලයි. විශේෂයෙන්ම පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් වන පුරවැසි භූමිකාව ශක්තිමත් කරලා ව්‍යාප්ත කරන්න ඕන කාලෙක. ඒක ගෝලීය මට්ටමෙනුත් පිළිගෙන තිබෙන දෙයක්. ශ්‍රී ලංකාවේ මූලික නීතිය, ඒ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙනුත් ඒ සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන හිමිකර දී තිබෙනවා.

මා ඔබට අවධාරණය කරන්නේ මේ කිසිවක් නොමැතිව වුවත් ඔබට ගෞරවනීය සහ අභිමානවත් සංරක්ෂණවේදියකු විය හැකි බවයි. නැතිනම් සොබාදහමේ රැකවලෙකු විය හැකි බවයි.

අද මේ කියන්නෙ අපේ අසල්වැසි ඉන්දියාවේ පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් වන පුරවැසි භූමිකාවේ වැදගත්කම ඉස්මතු වුණු අවස්ථාවක් ගැන. එවැනි ආකර්ශනීය වාර්තා ගණනාවක් තිබෙන නමුත් මෙතනදි මම කියන්න හදන්නේ එයින් එක කතාවක්.

මේ කතා නායකයා හඳුන්වන්නේ ඉන්දියාවේ වනාන්තර මිනිසා (Forest man of India) ලෙසයි. ඔහුගේ නම ජාදේව් මොලායි පෙන්ග් (Jadav Molai Payeng) වයස අවුරුදු 64ක් වෙනවා. ඔහු ඉපදිලා තිබෙන්නේ ඇසෑමයේ මිසින්ග් (Mising tribe) කියන ප්‍රාදේශීය ගෝත්‍රයේ. ජීවත්වෙන්නේ ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ජොහාට් (Jorhat) කියන බ්‍රහ්ම පුත්‍ර ගංගාව ආශ්‍රිත ප්‍රදේශයේ. ජාදේව් මොලායි කියන්නේ නිකම්ම නිකම් මිනිහෙක් නෙමෙයි. ඔහු බ්‍රහ්ම පුත්‍ර ගංගාවේ වැලි පරයක් (Sandbar) මහා වනාන්තරයක් බවට පරිවර්තනය කරලා වන සතුන් ඇතුළු ගස්-කොලන් රාශියකට ජීවත් වෙන්නෙ ඉඩ සලස්වපු ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙක්! අද වන විට ඉන්දියානු ව්‍යාග්‍රයින්, රයිනෝසිරස්, කොටි, අලි වගේ විශාල සතුන් පවා ගැවසෙන මේ වනාන්තරය අක්කර 1360 ක් විතර වෙන බව කියවෙනවා. දැන් මේ වනාන්තරය නම්කර තිබෙන්නේ “මොලායි වනාන්තරය” (Molai Forest) නමින්. මොලායි කියන්නේ ඔහුගේ නමේ මැද කොටස බව ඔබ දැනටමත් දන්නවා.

“මොලායි වනාන්තරය” ගොඩනැගීමේ ගමන වසර 42 ක් ඈතට දිව යනවා. 1979, දී මොලායිගේ වයස අවුරුදු 16ක් විතරයි. ග්‍රීෂ්ම ඍතුවේ එක් සවස් භාගයක ඔහු ජීවත් වූ බ්‍රහ්මපුත්‍ර ගංගාවේ දූපතේ ඇති වූ ගංවතුරකින් පසු, මෝලායිට නිසරු වැලි තලයට ගසාගෙන ආපු මියගිය සර්පයන් රාශියක් දකින්න ලැබුණා. මේ දර්ශනයෙන් කුඩා මොලායි දැඩි සංවේගයටත් කලබලයටත් පත් වුණා. ඔහුට ඕන වුණා මේ සත්තු බේරා ගන්න. ඔහු වැඩිහිටියන්ගෙන් ඇහුවා කොහොම ද ඒක කරන්නේ කියලා. වැඩිහිටියන් කීවේ “මොලායි උබට මේ සතුන් ආරක්ෂා කරගන්න ඕන නම්, වැලි තලයේ උණ ගස් හිටුවලා උඹට ඒක පටන්ගන්න පුළුවන්” කියලා. මොලායි වැඩේ පටන් ගත්තා. වසර ගණනාවක් තිස්සේ කාගේවත් ආකර්ෂණයක්, අවදානයක් නැතුවම ඔහු තනිවම පැළ, අතු සිටුවමින්, බීජ විසුරුවමින් මේ කාර්යය කරා. ප්‍රදේශයේ වැඩිහිටි අයගෙන් උරුම වුණු සම්ප්‍රදායික දැනුමත්, සොබාදහම කෙරෙහි වූ ඔවුන්ගේ දැක්මත් මේ කාර්යේ දී ඔහුට උපකාර වෙලා තිබෙනවා.

ඔහු කරපු සේවය වෙනුවෙන් 2015 වසරේදී ඉන්දියානු සිවිල් පුරවැසියකුට ලැබිය හැකි ඉහළම සම්මානයක් වන පද්ම ශ්‍රී සම්මානයෙන් ඔහුව පුද ලබනවා. ඊට අමතරව තවත් රාජ්‍ය ආයතන, විශ්වවිද්‍යාල සහ සංවිධාන රාශියකිනුත් ඔහුට ගෞරව සම්මාන ලබා දී තිබෙනවා.

අද ජාදේව් කියන්නෙ ලොවම පිළිගත් සංරක්ෂණවේදියෙක්, පරිසර ක්‍රියාකාරිකයෙක්. ඒ හැම දේටම වඩා පරිසරයට සොබාදහමට ආදරය කරන මනුෂ්‍යයෙක්. කවුරුත් ඔහුගේ විද්‍යාත්මක දැනුම පරීක්ෂා කරන්න යන්නේ නැහැ. උපාධි කීයක් තියෙනවද කියලා අහන්නේ නෑ. තේරුම් ගන්න, වඩා වැදගත් ඔබ හිතන දේ සහ ඔබ කරන දේ. ජාදේව් යහපත වෙනුවෙන් තමන්ට හැඟෙන දේ අවංකවම කරලා තියෙනවා. නිහඬවම සංරක්ෂණය වෙනුවෙන් වැඩ කරන ඔබටත් ගතහැකි පාඩම ඒකයි.

අප දකින ආකාරයට ශ්‍රී ලංකාවේ අපට තිබෙන්නේ විද්‍යාවේ හෝ තාක්ෂණයේ අඩුවක් නොවේ. උපාධි තියෙන මානව සම්පතේ හෝ නාමධාරී ආයතනවල හිඟයකුත් නෙමෙයි. අපට නැත්තේ ජාදේව් වගේ හැඟීමක්, කැපවීමක් තියෙන අවංක මිනිසුන්ගේ උග්‍ර හිඟයක්. එවැනි මිනිසුන් නිර්මාණය කරන සහ එවැනි මිනිසුන් අගයන යාන්ත්‍රණයක් නොමැති කමක්.

දරුවන් තිදෙනකුගේ පියෙක් වන ජාදේව් කියනවා “සොබාදහමට ආදරය කරන්න අපේ දරුවන්ට උගන්වන්න. ඉතිරිය ඉබේම සිදු වේවි”. දැන් ඔහු තම අත්දැකීම් ලොව පුරා ව්‍යාප්ත කරමින් සිටිනවා. ඔහු සංරක්ෂණය උදෙසා මිනිසුන් උත්තේජනය කරන්නෙක් ලෙස නමක් දරනවා. විශේෂයෙන්ම දරුවන් සමග සහ ඔවුන් අතර වාර්තා චිත්‍රපට, කතා පොත්වලට, පෙළ පොත්වලට මේ අපූරු “මිනිසා” තේමාවක් වෙලා ඉවරයි.

අදටත් මොලායි ගත කරන්නේ සරල ජීවිතයක්. ඔහුගේ එකම ආදායම් මාර්ගය වන්නේ තම ගොවිපළේ සිටින එළ ගවයන්ගෙන් හා මී ගවයන්ගෙන් ලබා ගන්නා කිරි විකිණීමයි. ඔහු තම බිරිඳ සහ දරුවන් තිදෙනා සමඟ ඔහුගේ වනාන්තරය අසල කුඩා පැල්පතක ජීවත් වෙනවා. තවත් වැලි පර සහ ගංගා දූපත් වනාන්තර බවට පරිවර්තනය කරන්න ඔහු වෑයම් කරමින් ඉන්නවා. ඔහු සංරක්ෂණය අරුත්ගැන්වූ සැබෑ සංරක්ෂණවේදියෙක්. මිහිතලයේ රැකවලෙක්. මේක කියවන ඔබට පුළුවන් මේ කතාව ඔබේ කරගන්න. මේ දැන් ඉඳලාම ඔබට ඒක පටන් ගන්න පුළුවන්.

“මගේ අවසන් හුස්ම තෙක් මම ගස් හිටවනවා” ඔහු කියනවා.

මංජුල කරුණාරත්න
භූගෝල විද්‍යා අධ්‍යයනාංශය
රුහුණ විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment