සෙනසුරුගේ අපලයට පිළියම්

3309

සෙනසුරුගේ අපලය ගැන සඳහන් කරන විට පවා බොහෝ මිනිසුන් බියට පත්වන ඒරාෂ්ටක යන නමින් හඳුන්වන අපලයට මූලික වී ඇත්තේ සෙනසුරුය. මෙම අපලය යෙදුණු විට ප්‍රභූවරුන්, උසස් නිලධාරීන්, වැඩිහිටියන් අමනාපයට පත්වේ.රැකියා කටයුතුවලට නොයෙකුත් බාධා කරදර යෙදේ. විවිධ කඩා බිඳ වැටීම්, අස්ථි භග්න ඇති වේ. පියාට, සැමියාට, ස්වාමියාට තරමක් අපලයි. තමාට ඇති පිළිගැනීම අඩුවේ. සිත – කය දුර්වල වේ. හෘදයේ ශක්තිය අඩු වේ. විරුද්ධවාදිකම්වලට මුහුණ පෑමට සිදුවේ. විවිධ බලපෑම්වලට යටත් වන්නට සිදුවේ. දුරදිග නොබලා කරන කටයුතුවලින් පාඩු සිදුවේ.

රෝග වශයෙන් සමේ ආබාධ, හන්දි හා මාංස පේශි තදවීම, වාත ආබාධ, දත්වල ආබාධ, බිහිරි බව, දුක සහ කලකිරීම, අංගවිකලත්වය, මන්දපෝෂණය, ශරීරයේ ක්‍රියාකාරිත්වය මන්දගාමී වීම, ශරීර ව්‍යුහය ක්ෂය වීම වැනි රෝගාබාධයන් බලපායි. එසේම සෙනසුරුගේ බලපෑමට ලක්වන සම, අස්ථි සහ සන්ධි, හකුවල පිහිටි දත්, ඇසීමේ ශක්තිය, ඇසීම වැඩීම යන කරුණු දුර්වල වේ.

ඉහත සඳහන් සෙනසුරුගේ අපලය මර්දනය කිරීමට ජ්‍යොතිර්විද්‍යාවේ ඇතුළත් පහත සඳහන් ශාන්ති කර්ම උපයෝගී කරගන්න.

1) නීල මණ්ඩලය, නවග්‍රහ යන්ත්‍රය, නව නාථය, විෂ්ණු පංජරය, ආඝෝරය, ශනි මෘත්‍යුංජය යන යන්ත්‍රවලින් එකක් ශාස්ත්‍රානුකූලව සාදා පලඳින්න.

2) අපලකරුගේ කේන්දරය පුද්ගලිකව පරීක්ෂා කරන්න. එහි බලවත්ම ග්‍රහයා තවදුරටත් බලවත් කිරීමේ න්‍යාය අනුගමනය කිරීම වඩාත් ප්‍රතිඵලදායී බව අත්දැකීම් අනුව පසක් වී තිබේ. එබැවින් බලවත්ම ග්‍රහයාට අදාළ මැණික තෝරා එම මැණික ඇතුළත් කර රිදී, රත්තරන් හෝ ග්‍රහයාට අයත් ලෝහයෙන් මුද්දක් සාදා එම ග්‍රහයාට අයත් ඇඟිල්ලේ හෝ එම ග්‍රහයාට මිතුරු ඇඟිල්ලක පලඳින්න.

3) විෂ්ණු දෙවියන්ට පූජාවන් තබා යාතිකාවක් කර බාරයක් වන්න.

4) විෂ්ණු දේව නාමයට සෙත් කවියක් කියවන්න.

5) රාත්‍රී නින්දට යෑමට පෙර සෙනසුරුගේ ස්තෝත්‍රය හැකි තරම් වාර ගණනක් කියවන්න.

නිලාංජන සමාභාෂං
රවි පුත්‍රං යමාග්‍රජම්
ඡායා මාර්තණ්ඩ සම්භූතං
තං නමාමි ගනෛශ්වරම්

6) සෙනසුරු අපලයට අදාළ ඖෂධීය ජලය ස්නානය කරන්න. එනම් බැබිල, විෂ්ණුකාන්ති, රසකිඳ, කළුතල, විලඳ, ජටාමාංස, කලාඳුරු අල, සතකුප්ප යන ඖෂධයන් සමව ගෙන තම්බා එම ඖෂධීය ජලය සාමාන්‍ය ජලයට මිශ්‍ර කර ස්නානය කරන්න.

7) සෙනසුරු පූජාව තබන්න. උඳු, තල, තල තෙල්, කොල්ලු, රන් පැහැය ආලේප කර මී දෙනකගේ රූපයක්, ඊයම්, නිල් රෙදි රියනක් සහිත පූජා වට්ටියක් සාදන්න. නුග ගසක් මුල පිරිසුදු කර බස්නාහිර පැත්තේ මැස්සක් සාදා සෙනසුරාදා දවසේ සෙනසුරු හෝරාවේ මෙම පූජා වට්ටිය තබා සනි සුවඳ දූපයෙන් දුම් දී සෙනසුරු යාදින්න කියවන්න.

සෙනසුරු යාදින්න සිංහලෙන්

සුනිල්වන් සුනිල්මල් සුනිල්වත් සුනිල් ගඳ සුනිල් අහුලෙව සුනිල් අස් සුනිල් සත් සුනිල් දද සුනිල් කොඩි සුනිල් රිය අරාගෙන අපිරිමිත මහන්සෙන් නිතර පිරිවරාගෙන මහමෙරේ දකුණනට වටා යන ගිජුලිහිණි වාහනේ සතර අත් මනහාරා දිගු රැව්ල් ජටා ඇති සුනිල් වන් ගෙලක් ඇති සුනිල් මුව මඬල ඇති දිරු තුණු සිරුරු ඇති, විසල් ලොම් කඳක් ඇති රවිදු පුත් සෙන සුරන් දසාවේ පැමිණි රෝබිය දුඛ්කි ධන හානි සිත් තැවුල් කලි කලහා අඬ දබර අනත් දුක්කම් කටලු සියල් දුක් විඳ හෑරා අසිරි මෙත සුපතුරා නිබඳ සෙත්සිරි සරාදෙන විලස සනිඳු හිමි මහ බබා හැඬ පහන් දල්වමින් නිතර ආයාචනා කරමි.

සෙනසුරු යාදින්න සංස්කෘතික භාෂාවෙන්

ශනිං නීලවර්ණං නිල මාලකම්බරධාරං නීල ගන්ධාහුලෙපන නීලාශ්වං නිලච්ජත්‍ර ධ්වජ රථ පතාතානි ශොභිතං දිව්‍ය රථ සමාරුස්ං මෙරුං පුදක්ෂින කුර්වාණං ග්‍රහ මණ්ඩලේ ප්‍රතිෂ්ඨිතං සාංගං සායුධට ස්වාහනං, සදෙශං, සගොත්‍රං, සගක්ති – සපත්ති – සපුත්‍ර – සපෞත්‍ර පරිවාරං අධි දෙවතා ප්‍රත්‍යධි දෙවතා සභිතං සූර්ය ග්‍රහස්‍ය පශ්චිම දිග්භාගෙ කෘෂ්ණ ධනුරාකාර මණ්ඩලේ ප්‍රතිෂ්ඨිතං පශ්චිමාභිමුඛං ශනෛශ්වර ග්‍රහ මාහ්මයාමි අධි දෙවතා ආහ්වයාමි

8) සන්ධ්‍යා කාලයේදී නිල් මානෙල් මල් 07ක්, පස් තෙල් පහන් 07ක්, ඔසු පැන් දැහැන් ආදිය බෝ සමිඳුන්ට පුදා ආගමික වතාවත් කරන්න. ඉන් පසු අටවිසි පිරිත නව වරක් කියවන්න.

9) සෙනසුරාදා දවසේ දිළිඳු, මහලු, අංගවිකල අයට ආහාර දානයක් දෙන්න.

10) සෙනසුරාදා දවසක කපුටන්ට ගිතෙල් මිශ්‍ර කිරි බතක් දෙන්න.

11) කේන්දර හිමිකරුවා බෞද්ධයකු නම් ආගමික වතාවත්වලින් පසු පහත සඳහන් කවිය 09 වරක් කියන ලෙස උපදෙස් දෙන්න.

හේමමාලි – දන්ත කුමරු දළදා මෙහි වැඩ මෙව්වා
සිරි මේවන් රජ ඉදිරියෙ බුදු පෙලහර දැක් වූවා
ලෝසත වෙත කරුණාවෙන් සුබසෙත සලසා දේවා
දළදා සමිඳුගෙ බලයෙන් සනිගෙ අපලෙ දුරු වේවා

12) පහත සඳහන් ග්‍රහ බලි ශාන්තියක් කිරීමෙන් ග්‍රහ අපල දුරුවේ. එබැවින් එවැනි ග්‍රහ ශාන්ති බලියක් කිරීමට උපදෙස් දෙන්න.

I ශනි දිෂ්ටිය

II ශනි සත

III දස කෝධු රාක්ෂය

IV කුඩා නිලග රාක්ෂය

V මධ්‍ය නිලග රාක්ෂය

VI මහා නිලග රාක්ෂය

VII සාර විෂ්ණු මංගල්‍යය

VIII නීල විෂ්ණු මංගල්‍යය

IX මහා ශනි සක

සෙනසුරුගේ අපලයට පිළියම්

හේළි සරත් රාජකරුණා,
විද්‍යා ජ්‍යොතිෂ,
දලුග්ගල, රඹුක්කන.
දුරකථන 035-2262837

advertistmentadvertistment
advertistmentadvertistment