යෞවනය සහ විවාහය ගැන කියන ජ්‍යොතිෂය

626

සමහරු කියන්නෙ විවාහයකදී දෙදෙනෙක් එක්කෙනෙක් වෙනවා කියලා. නමුත් එය කවදාවත් සිදුවන්නේ නැහැ ගැහැනිය සහ පිරිමියා ජීව විද්‍යාත්මකව වෙනස් පුද්ගලයන් දෙදෙනෙක්. පිරිමියකුට ගැහැනියක් වගෙත් ගැහැනියකට පිරිමියකු වගේත් සිතන්න බැහැ. ඔවුන්ගේ සිරුරුවල ක්‍රියාත්මක වන්නේ හෝමෝන වර්ග දෙකක්. මොළයේ වර්ධනය ද සිදුවී තිබෙන්නෙත් වෙනස් ලෙස. එසේ නම් කොහොමද එක ලෙස සිතන්නේ පතන්නේ? ගැහැනිය ඉතා සංවේදීයි. සුළු දෙයකින් පවා සිත රිදෙනවා. නමුත් පිරිමින් එසේ නොවෙයි. මොවුන් එකිනෙකා තේරුම්ගෙන අනුවර්තනය විය යුතු වෙනවා.

මේ වන විට මෙම උතුම් ශාස්ත්‍රය අපේ තරුණ පරපුරෙන් ඈත්වෙමින් පවතී. මහා ජ්‍යොතිෂඥයන් ලෙස හඳුන්වාගත් පිරිසක් දේශපාලන වාසි තකා නොදන්නා අනාවැකි පවසන්නට ගොස් මුළු ජ්‍යොතිෂයම අගෞරවයට ලක්කර ඇත.

බෞද්ධ සහ හින්දු සමාජයන්හි විවාහය පිළිබඳ කතා කිරීමේදී මුල් තැනක් ගන්නේ ජ්‍යොතිෂයයි. එනම් පොරොන්දම් බැලීමයි. යෝජිත විවාහයකදී මෙය මූලික වන අතර ප්‍රේම සම්බන්ධතාවයකදී වුවද දෙමව්පියන් මේ පිළිබඳව අවධානය යොමු කරන්නට පෙළඹී තිබෙනවා. අද අපේ රටේ විවාහ අපේක්ෂිත තරුණ තරුණියන් රැසකට ප්‍රධාන බාධකය වී ඇත්තේද මෙම පොරොන්දම් නොගැලපීමයි. මෙයට අපේ ජ්‍යොතිෂඥයන්ද වගකිවයුතු වනවා. එක් තැනකින් බලා ගැලපෙන බව කිය කේන්ද්‍ර තව තැනකින් බැලූවිට නොගැලපෙන බව කියනවා. ඉතා සුළු නොගැලපීම් පවා ලොකු කොට දක්වනවා. එකම ශාස්ත්‍රයක් වුවද එක් එක් ජ්‍යොතිෂඥයන් අනුව ප්‍රතිඵල වෙනස්වීම පුදුමයක් නොවේද?

විවාහය යනු සංසාරගත බැඳීමක් විවාහයකදී පොරොන්දම්වලට වඩා වැදගත් වන්නේ විවාහයේ පැවැත්මයි. මෙය කේන්ද්‍රය විවාහය නියෝජනය කරන රාශිය එනම් 7 වන රාශිය සහ එහි අධිපතීත්වය පිළිබඳවත් එයට ලැබෙන සුභ අසුභ දෘෂ්ටි මෙන්ම 22 වන දෙර්කාණාධිපති 64 වන නවාංශාධිපති සහ බාධක ග්‍රහයා 7 වන රාශියට සම්බන්ධවීම පිළිබඳවත් කරන පිරික්සීමකදි දැනගන්න පුළුවන් බව ජ්‍යොතිෂය පවසනවා. නමුත් පරිගණකවලින් සැසැඳීමෙහිදී බොහෝ විට මේවා පිළිබඳ සැලකිලිමත් වන්නෙ නැහැ. පොරොන්දම් පිරික්සීමේදී වැදගත් යයි සැලකෙන්නේ භෞමික දෝෂ පිළිබඳ අවධානය යොමුකිරීමයි. කුජ දෝෂය, ශනිමංගල යෝගය ආදී යෝගයන් පිළිබඳව ගැලපීම් පිරික්සා බැලීමයි. නමුත් මෙම දෝෂ අනිකුත් ග්‍රහ යෝගවලින් භංගවී යන නමුත් ජ්‍යොතිෂඥයන් ඒවා ගැන අවධානය යොමු කරන්නේ නැහැ. අනිකුත් බොහෝ දෑ බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් විසඳා ගත හැකි දේවල් වනවා. නිදසුනක් වශයෙන් නාඩි යනු රුධිරයේ ගැලපීමයි. මෙය රුධිර පරීක්ෂණයකින් විසඳා ගත හැකියි. අනෙක රාක්ෂ ගණ යනු රාක්ෂකයෙක් නොවන අතර දේවගණ යනු දෙවියෙක් නම් නොවේ. අනෙක ලිංග පොරොන්දම ද එතරම් වැදගත් පොරොන්දමක් නොවේ.

සතර කේන්ද්‍රයේ ග්‍රහයන් නොමැතිවීම, කාලසර්පයෝගය, ශනිමංගල යෝගය, කුජ සිකුරු යෝගය මේවා තිබෙන අයට විවාහ වීමට අපහසු වන්නේ ඒ පිළිබඳ නිසි දැනුමක් නැති ජ්‍යොතිෂඥයන් නිසාමයි. මේ රටේ ජ්‍යොතිෂඥයන් ගේ යුතුකමක් තමයි කේන්ද්‍රයක් පරීක්ෂා කිරීමේදී මෙම යෝග කැපෙන නැත්නම් භංග වෙන ග්‍රහ දෘෂ්ටි සොයා බලා එම විවාහ සාර්ථක කර ගැනීමට අවස්ථාව සැලසීම. නමුත් අද කෙරෙන්නේ කේන්ද්‍රය ගත්ත ගමන් මේකේ සතර කේන්ද්‍රය පාලුයි, කාල සර්ප යෝගය, විෂ කන්‍යා යෝගය තිබෙනවා කියල අපේ තරුණ තරුණියන් මානසිකව දුර්වල තත්ත්වයට ඇද දැමීමයි. අද අපේ රටේ ප්‍රසිද්ධ උගතුන් ධනවතුන් අතර සතර කේන්ද්‍රයේ කිසිම ග්‍රහයෙක් නැති අය

රැසක් සිටිනවා. අනෙක තමයි එක්තරා කාල වකවානුවක උපදින සෑම කෙනෙකුගේම වගේ කාල සර්ප යෝගය තිබෙනවා. මෙම යෝගය වගේම කුජ ශනි නොහොත් ශනිමංගල යෝගයද තිබෙන පුද්ගලයන් රැසක් අද සමාජයේ ඉතා උසස් තැන්වල සිටිනවා. අනෙක මෙම යෝගවල බල බිඳින ශාන්ති කර්ම රැසක්ද තිබෙනවා. බිය වීමට කිසිම හේතුවක් නැහැ.

අද අපේ රටේ විවාහ අපේක්ෂිත දරුවන් සිටින දෙමව්පියන් ඉතා අසරණ වී තිබෙනවා. පුවත්පතක දැන්වීමක් පළ කළොත් එයට ප්‍රතිචාර වශයෙන් සෑහෙන ලිපි ප්‍රමාණයක් ලැබෙනවා. එයින් තෝරාබේරා ගත් ලිපි පොරොන්දම් බැලීම සඳහා යොමු කළ යුතු වනවා. පොරොන්දම් 100ක් බැලුවහොත් අඩුම ගණනේ රු. 10,000ක්වත් වැය වනවා. පොරොන්දම් බලා අවසන් කර බලන්නට ගිය විට දෙදෙනා අකමැති නම් එම වියදමත් අපතේ යනවා.

මගේ අදහස නම් ඔය කොයි දෝෂයත් සිහි බුද්ධියෙන් විසඳා ගත හැකි බවයි. නිදසුනක් වශයෙන් ඔබ විවාහ වන කෙනා ඉක්මන් කේන්තිකාරයෙක් නම් ඔබ කළ යුතුවන්නේ ඒ අවස්ථාවේ නිහඬව සිටීමයි. බොහොමයක් විවාහවල සිදුවෙලා තියෙන්නේ තමා විවාහ වී තිබෙන්නේ පිරිමියෙක් නැත්නම් ගැහැනියක් සමග කියන ප්‍රශ්නය තේරුම් නොගැනීමයි. සමහරු කියන්නෙ විවාහයකදී දෙදෙනෙක් එක්කෙනෙක් වෙනවා කියලා. නමුත් එය කවදාවත් සිදුවන්නේ නැහැ ගැහැනිය සහ පිරිමියා ජීව විද්‍යාත්මකව වෙනස් පුද්ගලයන් දෙදෙනෙක්. පිරිමියකුට ගැහැනියක් වගෙත් ගැහැනියකට පිරිමියකු වගේත් සිතන්න බැහැ. ඔවුන්ගේ සිරුරුවල ක්‍රියාත්මක වන්නේ හෝමෝන වර්ග දෙකක්. මොළයේ වර්ධනය ද සිදුවී තිබෙන්නෙත් වෙනස් ලෙස. එසේ නම් කොහොමද එක ලෙස සිතන්නේ පතන්නේ? ගැහැනිය ඉතා සංවේදීයි. සුළු දෙයකින් පවා සිත රිදෙනවා. නමුත් පිරිමින් එසේ නොවෙයි. මොවුන් එකිනෙකා තේරුම්ගෙන අනුවර්තනය විය යුතු වෙනවා.

විවාහය ජීවිතයක් දෙවැනි උත්පත්තියක් ලෙස හඳුන්වනවා. එය ජීවිතයට ආලෝකයක් එක් කරනවා. සමාජයේ පිළිගැනීමක් ලබා දෙනවා. දරුවන් බිහි කිරීමෙන් සමාජයේ ව්‍යාප්තියට සහාය ලබා දෙනවා. තමන් වියපත් වූ විට බලා කියා ගැනීමට කෙනෙක් සිටිනවා. අද සමහර තරුණ තරුණියන් කියන්නේ බඳින්නම ඕනෑද? මොකටද දුක් විඳින්නෙ ඇයි අපට නිදහසේ ඉන්න බැරිද? මේ උඩඟු කථා කියන අයට වයසට ගියහම තමයි තේරෙන්නේ තනිකම ගැන. නමුත් එය අවබෝධ වන විට ප්‍රමාද වැඩියි. දැන් සමාජයේ අලුතෙන්ම බෝවෙන විවාහ නොවී එකට ජීවත්වී පසුව දෙදෙනා ගැලපේ නම් හෝ ගැබ් ගැනීමක් සිදුවී නම් විවාහ වීමයි මෙහිදී මොන පොරොන්දමක් වත් නොබලති.

අද ජාතියක් වශයෙන් සලකන විට අපේ ජාතියේ වර්ධන වේගය ශීඝ්‍රයෙන් පහළ බසිමින් තිබෙනවා. දරුවන් එක්කෙනෙකුට සීමා වෙලා තිබෙනවා. මෙයට ප්‍රධාන හේතුව ලෙස මා දකින්නේ මෙම විවාහ ප්‍රමාදයයි. යුවතියකට විවාහවීමේදී වයස් සීමාව බලපානවා. අපේ දෙමව්පියන්ගේ හණමිටි ආකල්පත් මෙම විවාහ අපේක්ෂිත යෞවනයන් ගේ අනාගතය අඳුරු කරනවා. සමහර දෙමව්පියන් විවාහ යෝජනාවලදී වංසේ කබල්ගගා ඉන්නවා. මෙය විවාහ ප්‍රමාදයට සෑහෙන දායකත්වයක් සපයනවා. පුද්ගලයාගේ ගතිගුණ, උගත්කම, හැදියාව, රැකියාව මිස කුලය සලකන්න එපා. අද ඔය උසස් යයි කියන සමාජය තුළ කුලභේදයක් ඇත්තේම නැහැ. තවද සමහරු වයස ලොකු ගැටලුවක් කර ගන්නවා. කාන්තාවකගේ වයස මාස ගණනක් අවුරුද්දක් වැඩිමහල්ද කියන එක ගැටලුවක් නොවේ. මේවායින් වෙන්නේ දරුවන්ට කාල වේලාවට විවාහයක් කරගැනීමේ අවස්ථාව අහිමිවීමයි.

සමහර ජ්‍යොතිෂඥයන් කේන්ද්‍රයක් අතට ගත් වෙලේ පටන් පවසන්නේ අපල ගැන පමණයි. සපලයක් කියන්නේම නැහැ. කේන්ද්‍රය බලන්න ආපු කෙනා අපල රොත්තක් කර ගහගෙන මානසික වශයෙන් ද වැටිලා තමයි නිවසට යන්නෙ. මේ තමයි ලොකුම අපලය වන්නේ.

ජ්‍යොතිෂයට කිසි විටෙක ඔබේ ජීවිතය පාලනය කරන්නට දෙන්න එපා. එය මග පෙන්වන්නෙක් පමණක් කර ගන්න. නිදසුනක් වශයෙන් ඔබට මේ කාලය තුළ හදිසි අනතුරු වෙන්න තියෙනවා නම් මාර්ගවල ගමන් කිරීමේදී ඉතා ප්‍රවේසම් වීමය. සර්පයන්ගෙන් ජලයෙන් ජීවිත හානි වන්න තියෙනවා කියලා. ඔබ කළ යුත්තේ රාත්‍රි කාලයේ ගමන් බිමන් යනවිට විදුලි පන්දමක් රැගෙන යෑමයි. ගංගා ඇළ දොළවල දිය නෑමෙන් වැළකීමයි.

නිවැරදි කේන්ද්‍රය කැඩපතක් වැනියි. තමන් ගැන සියලු දෑ ඉතා නිවැරදි ලෙස දැනගන්න පුළුවන් ඒවගේ ම තමන්ට ඉදිරියේදී සිදුවීමට ඇති යහපත් මෙන්ම අයහපත් දෑ, වකවානු ඇතුව දැනගන්න පුළුවන්. මෙය තමයි වැදගත්ම දේ. ඒ අනුව තමන්ට ඒවායින් වැළකීමට ක්‍රිය මාර්ග ගත හැකි වනවා. නමුත් ගැටලුව නම් දක්ෂ ජ්‍යොතිෂඥයන් සොයාගැනීමයි.

මා අද මේ විවාහ අපේක්ෂිත තරුණ තරුණියන්ට කියන්නෙ කේන්ද්‍රයම කේන්ද්‍ර කර නොගෙන බුද්ධිමත්ව සිතා බලා කල් නොයවා විවාහ වන්න. එකිනෙකාගේ අදහස් උදහස් අනුව අනුවර්තනය වන්න. දුක හෝ සැප එකසේ පිළි ගැනීමට ශක්තිමත් වන්න කියලයි.

ප්‍රවීණ අධ්‍යාත්මික
ලිපි ග්‍රන්ථ ලේඛිකා
ශ්‍රියානි ද සේරම් – දු.ක 0778465025

advertistmentadvertistment
advertistmentadvertistment