හෙළදිවට හෙළ බසට පණ දුන් ඒ පින්බර දින සමරමු

284

හෙළදිවට, හෙළ බසට, හෙළ දැයට “සම්බුදු ලකුණ” පැළඳවූ දවස පොසොන් පෝදා ය. එමතු නොව හෙළ බොදු සංස්කෘතිය ද ශිෂ්ටාචාරය ද හෙළදිව පුරා ව්‍යාප්ත වන්නට මුලපිරූ දවස පොසොන් පෝ දාය. සැටදහසක් වූ තීර්ථකයන් සරණ ගොස් අපචාරයට වැටී සිටි දඹදිව මහ රජුන් වූ චණ්ඩාශෝක, මහමග වැඩම කළ නීග්‍රෝධ සාමණේරයන් රජ මාලිගාවට කැඳවා ආගිය තොරතුරු විමසූ විට උන්වහන්සේ බුදු හඬ කැටි කළ ධම්ම පදයක් මෙසේ පැවසූහ.

“අප්පමාදෝ අමතපදං –
පමාදෝ මච්චුනෝ පදං
අප්ප මත්තා නමීයන්තී –
යේප මත්තා යථා මතා”

“මහරජ…… පමා නොවූ අය අමෘත පදය ලබන්නේය. පමා වූ තැනැත්තා ඉක්මනින් මරු කරා යයි. නොමියන අය නම් අප්‍රමාදව පින්කම් කරන අයයි. පමා වූ අය ජීවත් වුවත් මැරුණාක් මෙනි”.

නීග්‍රෝධ සාමණේරයන්, චණ්ඩාශෝක රජුට කියා දුන් මේ බුදු වදන, ඔහුගේ චණ්ඩභාවය නැතිකොට ඔහු “ධර්මාශෝක” බවට පත් කරන්නට හේතු විය. එදා චණ්ඩාශෝකට නීග්‍රෝධ සාමණේර හිමි කියාදුන් මේ උතුම් “බුදු පදය” අද බොහෝ බෞද්ධයන්ට දවසේ දෙතුන් වරක්ම සිහිපත් කළ යුතුව තිබේ.

නීග්‍රෝධ හිමියන්ගේ බණ පදයෙන් අවදි වූ චණ්ඩාශෝක අපචාරී හැව ගලවා දමා සදාචාරී හැව පොරවා ගනිමින් ධර්මාශෝක බවට පත් විය. ඔහුගේ ප්‍රථම ආගමික මෙහෙවර වූයේ තෙවැනි ධර්ම සංගායනාව පැවැත්වීමය. දඹදිව ධර්ම සංගායනා තුනක් පවත්වා ඇත. පළමුවැන්න සම්බුදු හිමියන් පිරිනිවන් පෑමෙන් තෙමසකට පසු අජාසත් රාජ සමයෙහි අනුබුදු මහා කාශ්‍යප හිමියන් පන්සියයක් සංඝ රත්නය පිරිවරා රජගහ නුවර සප්තපණ්ණි ගුහාවේ වැඩසිට සත්මසක් පුරාවට පැවැත්වූ ධර්ම සංගායනාව විය. දෙවැනි සංගායනාව සම්බුදු හිමියන් පිරිනිවන් පා වසර සීයකට පසුව කාලාශෝක රජුගේ දායකත්වයෙන් හත්සියයක් සංඝරත්නය පිරිවරාගෙන රේවත මාහිමියන්ගේ මෙහෙයවීමෙන් විශාලා නුවර වාලුකාරාමයේදී අටමසක් පුරා පැවැත්වූ ධර්ම සංගායනාව විය. මෙම දෙවැනි සංගායනාව පවත්වා වසර 135කට පසු ධර්මාශෝක රජුගේ අනුග්‍රහයෙන් මොග්ගලීපුත්ථ තිස්ස මහරහතන් වහන්සේගේ මෙහෙයවීමෙන් දහසක් සංඝරත්නයේ දායකත්වය ඇතිව පැලලුප් නුවර අශෝකාරාමයේදී නවමසක් පුරාවට තෙවැනි ධර්ම සංගායනාව පවත්වා ඇත.

මෙම ශාසනික සේවයෙන් පිබිදුණු ධර්මාශෝක රජුගේ දෙවැනි ව්‍යායාමය වූයේ දඹදිව අවට රටවලට ධර්මදූත මෙහෙවරක් පැවැත්වීමය. මෙම වැඩපිළිවෙළට හෙළදිව ද ඇතුළත් විය. හෙළදිවට එවීමට සැලසුම් කළ ධර්මදූත මෙහෙවරේ ධර්මාශෝක රජුගේ පුත් මිහිඳු මහ රහතන් වහන්සේ පෙරමුණ ගත් අතර ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන රහතන් වහන්සේලා ද සුමන සාමණේරයන් වහන්සේ සහ භණ්ඩුක නම් වූ උපාසක රාළ ද ඊට දායක වූහ. මෙම පූජනීය දූත මණ්ඩලය හෙළදිවට වැඩම කළේ පොසොන් පෝදා උදාවත් සමඟය. එසේ වැඩම කිරීමෙන් පසු අඩසිය වසකට වැඩි කලක් උන්වහන්සේලා හෙළදිව අනුරාධපුරයේ වැඩවෙසෙමින්, ධර්මයෙන්, සදාචාරයෙන්, ශිෂ්ටාචාරයෙන්, ඉතිහාසයෙන්, භාෂාවෙන්, සාහිත්‍යයෙන්, කැටයම් ශිල්පයෙන්, සෞඛ්‍යයෙන්, ආත්මීය දමනයෙන් ආදී උසස් කාර්යශූර ජන ජීවිතයකට අත්‍යවශ්‍ය ගුණ දහම්, බණ දහම්, මානව දහම්, සාර දහම් ආදිය හෙළ ජනතාවට කියා දුන්හ. මේ සියලු හැඩගැස්වීම්වලට මුල්කර ගත්තේ සම්බුදු දහමයි. මේ නිසාම පොසොන් දවස, හෙළදිව, හෙළ බස, හෙළ දැය යන තෙවැදෑරුම් අංශවල “යළි උපන්දා” ලෙස සැලකීම නිවැරැදිය. ජාත්‍යන්තර දින පිහිටුවීම අතින් ගත් කල පොසොන් මාසය මුල්කොට ජාත්‍යන්තර දින 19 ක් පිහිටුවා ඇතත් මුළු මහත් රටක්, ජාතියක් යළි අවදි කළ පොසොන් දා ජාත්‍යන්තර දිනයක් ලෙස සම්මත කර ගැනීමට මෙතෙක් ඉඩකඩ ලැබී නැත. ජාත්‍යන්තර දිනය කෙසේ වුවත් පොසොන් දා “ජාතික දිනය” වශයෙන් වත් සම්මත කර ක්‍රියාත්මක කිරීම මිහිඳු මාහිමියන්ට හා සම්බුද්ධ ශාසනයට කෙරෙන පූජනීය උපහාරයකි.

දුරාතීතයේදී මිනිස් වාසය පැවතියේ වනයේය. එවකට කැලයේ ජීවත්වන සතුන් දුබලයන් මරාගෙන කා ජීවත් වූවාක් මෙන් මිනිසුන්ද සතුන් මරාගෙන කා ජීවත් වූහ. ඔවුන්ට ආගම දහමක් නොවීය. පසු කාලයේදී මිනිසා වනයෙන් එළියට බැස ගම්, දනව් හදාගෙන ගොවිතැන් බත් කිරීමෙන් ජීවත් වීමට පෙළගැසී තිබේ. ඉන්පසුව ඔවුන් වනය යොදා ගත්තේ දඩ කෙළියටය. “දඩ කෙළිය” යනු කැලයට ගොස් සතුන් මැරීම නොවේ. දුනුදිය පොළා සතුන් බියකර, ඔවුන්ට පැන යෑමට සලස්වා මිනිසාගේ ජව ශක්තියෙන් ඔවුන් ලූහුබැඳීම දඩ කෙළියේ ස්වභාවයයි. අදත් සමහර රටක ගොනුන් සමඟ පොරබැදීමේ ක්‍රීඩා පවතී. මෙය ද මිනිසාගේ ජවය පෙන්වන එබඳු ක්‍රීඩාවකි. අද මෙන් විළිබිය සිඳ දමා ශරීරාවයව ප්‍රදර්ශනය කරමින් නැටුම් ගැයුම් කිරීමේ විළිබිය නැති ක්‍රීඩා එදා සමාජය පිළිකුල් කරන ලදී. සතුන් මරා කා ජීවත්වීම වනචාරීන්ගේ පැවැත්මයි. දඩ කෙළිය එවැන්නක් නොවේ. මිනිසාගේ ජවය පෙන්වන ක්‍රීඩාවක් පමණි.

“දේවානම් ප්‍රිය” යන ධර්මාශෝක රජුන්ගෙන් ලත් සම්මානය මුල්කොට දෙවැනි වර පැවැත්වූ රාජාභිශේකයේදී දිය කෙළි, උයන් කෙළි, සැණකෙළි ආදී විවිධ ක්‍රියාවන්ට ජනතාව පෙලැඹී සිටියහ. එහිදී හතළිස් දහසක් රාජපුරුෂයන් පිරිවරාගත් දේවානම්පියතිස්ස රජු දඩ කෙළිය සඳහා මිහින්තලේ වනගත විය. සම්බුද්ධ ශාසනය හෙළදිවට ගලා ආ ස්වර්ණමය සංසිද්ධිය මෙහිදී සිදු විය.

මිහිඳු මාහිමියන් තමන් සතු සෘද්ධි බලය මතු කරගෙන මුවකු රජු ඉදිරියෙන් මවා පා, මුවා පසුපස රජුන්ට ලූහුබැඳීමට සලස්වා රජුන් මුණගැසීමට පරිසරය සකස් කරනු ලැබිණි. මුවා ලූහුබඳිද්දී මිස්සක පව්ව මත සිට තිස්ස… තිස්ස… යැයි ඇමතුම් හඬක් ගලා ආ පැත්තට රජු හිස ඔසවා බැලීය.

මෙහිදී ප්‍රශ්නකාරී ඉරියව්වෙන් සිටි දේවානම්පියතිස්ස රජු සන්සුන් කිරීම සඳහා “සමනාමයං මහාරාජ…. ධම්ම රාජස්ස සාවකා” යනුවෙන් තමන් කවුරුන් දැයි හඳුන්වා දී තවදුරටත් සන්සුන් කිරීම සඳහා මෙසේ පැවසූහ.

“තේ විජ්ජා ඉද්ධි පත්තාච
චේතෝ පරිඤ්ඤ කෝවිධෝ
දිබ්බ සෝතා රහත් තාච
බහු බුද්ධස්ස සාවකා”

“මහරජ දඹදිව කසාවතින් බබළයි. මහා සෘද්ධි ඇති, ත්‍රිවිද්‍යාවන්ට පැමිණි, දිවැස් ලැබූ, පරසිත් දකින රහතුන් වහන්සේලා දඹදිව බොහෝ වෙසෙති.” ආදී වශයෙන් තමන් පිළිබඳ තොරතුරු කියාදී දේවානම්පියතිස්ස රජු දමනය කර ගත්හ. ඉන්පසු රජුගේ බුද්ධි ශක්තිය මැන බැලීමට මෙන් අඹ ගසේ ප්‍රශ්නය සහ ඥාති ප්‍රශ්නය යොමු කිරීමේදී තිස්ස රජු බුද්ධිමත්ව ඒ ප්‍රශ්නයන්ට පිළිතුරු දීම නිසා තමන් පැමිණි පරමාර්ථය ඉෂ්ට සිද්ධ කර ගැනීම පිණිස දේවානම්පියතිස්ස රජු මුල්කොට සම්බුද්ධ ශාසනය හෙළදිව පුරා වපුරන්නට මිහිඳු මාහිමියෝ අධිෂ්ඨාන කරගත්හ.

මීළඟට තිස්ස රජු ප්‍රධාන පිරිස බුදු දහමට නැඹුරු කරවීම සඳහා සියලුදෙනා තිසරණ පන්සිල්හි පිහිටුවා සෘද්ධි බලයෙන් ලබාගත් හෙළ බස හරහා “චුල්ලහත්ථිපදෝපම” සූත්‍රයෙන් මිහිඳු මහ රහතන් වහන්සේ ධර්ම දේශනා කළහ. මේ ධර්ම දේශනාවෙන් පසු සියලුදෙනා බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතුව අනුරපුර අගනුවර බලා ගිය අතර තිස්ස රජු විසින් අනුරපුරට වඩින ලෙස මිහිඳු මාහිමියන් ඇතුළු පිරිසට ආරාධනා කරනු ලැබීය. එදින නොව පසුදින වඩින බව මිහිඳු මාහිමියන් දැන්වූ පසු තිස්ස රජු භණ්ඩුක උපාසකට කතාකොට මිහිඳු මාහිමි ඇතුළු පිරිසගේ රාත්‍රී දානය ගැන විමසනු ලැබීය. “ඉරු අවර වීමෙන් පසු ආර්යයෝ ආහාර නොගන්නා හු යැයි” භණ්ඩුක උපාසක විසින් පැහැදිලි කර දෙනු ලැබීය. සංඝරත්නය අද දක්වා රාත්‍රියට ආහාර නොගන්නා පිළිවෙත රැකගෙන එන්නේ මෙම මිහිඳු මාහිමි ප්‍රතිපත්තිය අනුකරණය කිරීමෙනි.

පසුදින මිහිඳු මාහිමි ඇතුළු සංඝරත්නය වැඩමවාගෙන ඒමට තිස්ස රජතුමා විසින් සිය මංගල රථය ඇතුළු නුවර සිට මිහින්තලයට යවන ලද නමුත් රථය ආපසු එවා මිහිඳු මාහිමි ඇතුළු සංඝරත්නය සෘද්ධි බලයෙන් අනුරපුර ඇතුළු නුවරට වැඩම කළහ. මිහිඳු මාහිමියන් ඇතුළු නුවර පොළොවට පය තැබූ පූජනීය ස්ථානය සිහිවන්නට තිස්ස රජු විසින් එම ස්ථානයේ “පඨමකචේතිය” සෑය ඉදිකරනු ලැබීය. එදින රජවාසලේදී දානය වැළඳූ මිහිඳු මාහිමියෝ “දේවදූත” සූත්‍රයෙන් අනුලා දේවිය ඇතුළු පන්සියයක් පිරිසට ධර්ම දේශනා කොට ඔවුන් සෝවාන් ඵලයෙහි පිහිටුවනු ලැබීය. මිහිඳු මාහිමියන් ඇතුළු පිරිසට… තවදුරටත් සම්බුද්ධ ශාසනය හෙළදිව ව්‍යාප්ත කිරීම පිණිස දේවානම්පියතිස්ස රජු විසින් මහමෙවුනා උයන පූජා කරන ලදී. අනුරපුර මහමෙවුනා උයන සිවු බුදුවරයන්ගේ පාදස්පර්ශය ලත් අති පූජනීය භූමියකි. කකුසඳ බුදුරදුන් රෝග බිය දුරුකිරීම සඳහා ද කෝණාගම බුදුරදුන් දුර්භික්‍ෂ බිය දුරුකිරීම සඳහා ද කාශ්‍යප බුදුරදුන් කෝලාහල බිය දුරුකිරීම සඳහා ද ගෞතම බුදුරදුන් අමනුස්ස බිය දුරුකිරීම සඳහා ද හෙළදිව මහමෙවුනා උයනට වැඩම කළ බව ශාසන ඉතිහාසයේ දැක්වෙයි. මේ අනුව මහමෙවුනා උයන පින්බර කෙතක් තරමට අතිශය පුණ්‍ය භූමියක් වෙයි. මෙම මහමෙවුනා උයනට සිරිමා බෝ සමිඳු එක්වීමෙන් ද ස්වර්ණමාලි චෛත්‍යරාජයා ඇතුළු මිරිසවැටිය, ලංකාරාමය, අභයගිරිය, ජේතවනය, ථූපාරාමය ආදී අටමස්ථානය එක්වීමෙන් ද මේ පින්බිම සම්බුදු රදුන් ජීවමානව වැඩසිටි කලෙක මෙන් බුදු දහමෙන් ඒකාලෝකව පවතී.

මේ පින්බිම තුළ බෞද්ධයන් ඉරියව්වෙන්, හැසිරීමෙන් කතාබහෙන්, පැවැත්මෙන් අතිශය සිල්වත් විය යුත්තේ මේ නිසාය. වසර දෙදහස් පන්සියයකට වැඩි කලක් තිස්සේ ජීවමානව පවතින සම්බුද්ධ ශාසනය හෙළදිව මිහින්තලේ මුල්කොට පැලපදියන් වූයේ අනුරපුර ඇතුළු නුවර අති පූජනීය මහමෙවුනා උයනේය. එසේ පැලපදියන් කළේ පොසොන් පෝ දිනෙක මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ සංඝරත්නය විසිනි. මේ නිසා තමන්ගේ ජාතික ආගමික දිනය වශයෙන් පොසොන් පෝදා සිංහල බෞද්ධ ජනතාවට අතිශයින්ම වැදගත් වේ. පොසොන් පෝදාට දිවයිනේ හතර දික්භාගයෙන් ලක්‍ෂ ගණන් සිංහල බෞද්ධ ජනතාව අනුරපුර මහමෙවුනා පින්බිමට සහ මිහින්තලේ පින්බිමට ඇදී එන්නේ ඒ නිසාය. පොසොන් පෝදාට මෙසේ ගලා එන ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව සාක්‍ෂ්‍ය කොට අනුරපුර මහමෙවුනා පින්බිම ඇතුළු “ඇතුළු නුවර” ශුද්ධ වස්තුවක් ලෙස සැබෑ පුණ්‍ය භූමියක් ලෙස ප්‍රතිසංවර්ධනය කිරීමටත්, පොසොන් පෝදා “ජාතික දිනය” ලෙස ප්‍රකාශයට පත් කිරීමටත් අද රටේ පවතින බෞද්ධ රාජ්‍යය සැලකිලිමත් වන්නේ නම් එය සම්බුද්ධ ශාසනයටත්, බෞද්ධ ජනතාවටත් කෙරෙන ගෞරවයක් හා සැලකිල්ලක් වේ.

අනුරපුර ඇතුළු නුවර ලංකාරාම විහාරාධිකාරි, උතුරු මධ්‍යම දිශාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක
රළපනාවේ ධම්මජෝති මාහිමි

advertistmentadvertistment
advertistmentadvertistment