මිදුණු විශ්වය

1086

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනි අභාවයට පත්වන්නේ තිතක් හෙවත් නැවතීමේ ලකුණක් සහ ප්‍රශ්නාර්ථයක් අප වෙත ඉතිරි කරමිනි. තිත වූකලී ඔහුගේ මරණයයි. මරණය යන වචනයට ඉංග්‍රීසි භාෂාවේ පර්යාය පද 66 ක් තිබේ. එහෙත් ප්‍රශ්නාර්ථය යන වචනයට ඉංග්‍රීසි භාෂාව තුළ පර්යාය වචන දෙක තුනකට වඩා නැත. මරණය යන්නට පාරභෞතික අර්ථකථනයක්ද භෞතික අර්ථකථනයක්ද යනාදී වශයෙන් අර්ථකථන දෙකක් තිබේ. මරණින් මතු ජීවිතය චුති සිත ගන්ධබ්බ කාලය යනාදිය තීරණය වන්නේ පාරභෞතික තලය තුළය. භෞතික තලයේදී හෘදය නැවතීම නිසා ශරීරයට අවශ්‍ය ඔක්සිජන් උරාගැනීමට නොහැකිව මොළයේ සහ හදවතේ සෛල මියගොස් එකී මොළය සහ හදවත අයිතිකාරයා සීතල කෙහෙල් කඳක් හා සමාන වෙයි. පාරභෞතික තලය තුළදී ජීවිතයට වඩා පුළුල් පරාසයක් මරණයට ලැබේ. ජීවිතය ගැන ලියවුණු පොත්වලට වඩා පොත් සංඛ්‍යාවක් මරණය ගැන ලියවී නැතත්, මරණය ගැන ලියවී ඇති පොත් කිහිපය තුළ තිබෙන අර්ථ නිරූපණ බෙහෙවින් බලගතුය. මරණය සහ මරණින් මතු ජීවිතය පිළිබඳ විඥ්ඥානවාදී ලෙස සාකච්ඡා කරන තිබ්බත මළපොත නමැති ඉපැරණි කෘතිය තුළ මරණය පිළිබඳ ආසියානු ආගමික මතවාදයේ පදාසයක්ම සඳහන් වේ. ජිනා සර්මිනාරා ලියූ ජීව ලෝකය සහ පුනර්ජන්මය, එඩ්ගා කේසි ලියූ Many Mansions නමැති කෘතියද මරණය පිළිබඳ බටහිර ලෝකයේ විඥ්ඥානවාදය අපට තේරුම් කරයි. බුදු දහමට අනුව මරණය යනු සමාප්තියක් හෝ නැවතීමේ ලකුණක් නොවේ. එතැන් සිට සංසාරය පුරා ගමන් කරන මිනිස් සිතුවිලි ධාරාව නැවත වතාවක් මිනිස් මව් කුසක හෝ තිරිසන් කුසක තැන්පත් වෙයි. ඒ අනුව ජැක්සන් ඇන්තනි අද පිවිස සිටින්නේ ඔහු ජීවත්වූ ලෝකයට වඩා ලක්ෂ සංඛ්‍යාත විවිධත්වයක් ඇති වෙනත් තලයකටය. ජැක්සන්ගේ අභාවයෙන් ප්‍රශ්නාර්ථයක් හටගත් බවද අප මෙහි සඳහන් කර ඇත්තෙමු. ඒ ප්‍රශ්නාර්ථය දෙවැදෑරුම්ය. කට්ටියක් කල්පනා කරන්නේ මියගිය කීර්තිමත් නළුවා ගැන නොව ඔහුගේ රියේ හැපුණු අලියා ගැනය. මේ අලියා අදටත් ආගිය අතක් නැත. රිය අනතුරින් පසු වන ජීවීසංරක්ෂණ දෙපාර්තමේන්තුව අනතුර සිදුවූ තැන සිට කිලෝමීටර් 4 ක වනාන්තර වපසරියක් පුරා මේ අලියා සොයන්නට විය. රිය අනතුර ඉතා දරුණු බැවින් එයට මුහුණදුන් අලියාට කිලෝමීටරයකට වඩා යෑමට නොහැකි බව පශු වෛද්‍යවරුන්ගේ මතය වේ. හැපුනේ අලියකුගේ ඇඟේ නම්, එම අලියා අතුරුදන්වී ඇත්නම් ඒ අලියකු නොව පිල්ලියක් හෝ අවතාරයක් වියහැකි බව කට්ටියක් කල්පනා කරනවා ඇත. මෙතැන් සිට තව අවුරුදු කිහිපයක් ගතවන තුරු අනතුර සිදුවූ එප්පාවල මෙම ප්‍රදේශය හරහා රාත්‍රී කාලයේ ගමන් කිරීමට වැඩිදෙනා නිර්භීත නොවනවා ඇත. මේ අතර තවත් පිරිසක් කල්පනා කරනු ඇත්තේ ජැක්සන්ගේ මරණයෙන් හටගත් හිස්තැන කෙසේ පිරවිය හැකිද යන්නය. සෑම මනුෂ්‍යයෙක්ම එකිනෙකාට වෙනස්ය. මෙළොව එක හා සමාන දෙදෙනකු නැත යන සාම්ප්‍රදායික මතය මානව විද්‍යාඥ Desmond Morris විසින් කියනු ලැබ තිබේ. මේ නිසා කව්රු මළත් එම හිස්තැන පිරවීමට 100% ඒ ජාතියේම කෙනකු හොයාගැනීමට බැරිය. විශේෂයෙන් ජැක්සන් වැනි කෙනකු මියගිය විට මේ ප්‍රශ්නය තදේටම හටගනී. ජැක්සන් ඇන්තනි වූකලී මේ රටේ ප්‍රාසාංගික හෝ නිර්මාණාත්මක කලාවේ පරිච්ඡේදයක් නොවේ. ඔහු මාතෘකාවකි. එම මාතෘකාව යටතේ පරිච්ඡේද සිය ගණනක් අඩංගු පොත් සිය ගණනක් ලිවිය හැකිය.

මේ රටේ මෑතකාලීන කලාවේ ප්‍රබෝධමත් අවස්ථා දෙකක් ඇතිවිය. ඉන් පළමුවැන්න 1970 – 1977 යුගයයි. ලංකාවේ හොඳම සරල ගීත සහ චිත්‍රපටද, නාට්‍යයද මේ යුගයේදී බිහිවිය. 1977 දී පටන් ගත් ඊළඟ යුගය සමාජමය වශයෙන් ප්‍රශ්නකාරී විය. එහෙත් 88 – 89 භීෂණයට සමගාමීව නැවතත් කලා පුනරුදයක් මෙරට ඇතිවිය. ජැක්සන් ඇන්තනි යනු මේ කියන නව පුනරුදයේ දරුවෙකි. ඔහු ජීවිතය පටන් ගන්නේ නාට්‍යකාරයකු ලෙසය. දයානන්ද ගුණවර්ධනගේ හොඳම නළුවා ඔහු විය. ජැක්සන් දක්ෂ ගායකයෙකි. ඔහු ගායනා කළ ගීතයක් අඩංගු ඔහු රඟපෑ පළමුවන ටෙලි නාට්‍ය එම ගීතය නිසාම ජනප්‍රිය විය. ඊළඟට ඔහු රූපවාහිනී කර්මාන්තයට පිවිස හපන් පැදුර නමැති පැදුරු පාටියක් පටන් ගත්තේය. මෙයට අවුරුදු 20 ට හෝ 25 ට පෙර මේ කියන හපන් පැදුරට ගීත ගායනයෙන් සහභාගී වූ ළමෝ අද ප්‍රවීණ ගායකයෝ වෙති. ජැක්සන්ගේ ඊළඟ භූමිකාව පටන් ගන්නේ ලංකා ඉතිහාසයෙනි. මේ රටේ ඉතිහාසය පිළිබඳ පුළුල් දැනුමක් ඇතිව සිටි ඔහු සිංහලයේ මහා වංශ කතාව යනුවෙන් කරන ලද රූපවාහිනී වැඩසටහන් මාලාව අතිශයින් ජනප්‍රිය විය. එය මේ රටේ ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමක් පමණක් නොව අතීතයට ගොස් අනාගතය දෙස බලා සිටීමක්ද විය. ජැක්සන්ගේ පළමු ටෙලි නාට්‍ය වූ ඇසළ කළුවර මේ රටේ ටෙලි නාට්‍ය ඉතිහාසයේ ප්‍රදීපස්ථම්භයකි. එය බෞද්ධ ජාතක කතාවක adaptation එකකි. ඔහු හැදූ සහ ඔහු රඟපෑ චිත්‍රපට විසල් ප්‍රමාණයක් තිබේ. උපතින් කතෝලිකයකු වුවද බුදු දහම ගැන මනා පරිචයක් තිබූ ජැක්සන් ඇන්තනි බෞද්ධ ශිෂ්ටාචාරය විෂයක් වශයෙන් උගත් අතර ඇතැම් චීවරධාරීන්ට වඩා බුදු දහම ගැන දැන සිටියේය.

ජැක්සන් ඇන්තනිගේ මුල්ම පත්තර ප්‍රේමය දිවයින ය. ඔහු විසින් දිවයිනට ලියන ලද පනාපුත්‍ර කුහුඹු පැණියා නමැති තීරු ලිපිය. දුහුනන් හද බැඳගත් ලියවිල්ලකි. එසේම විද්වතුන්ගේ මනස්කාන්තයට තුඩු දුන් ලේඛනයකි. තම තීරුව තුළින් ඔහු කතා කලේ සාමාන්‍ය ජීවිතයයි. ජීවිතය කොතරම් සාමාන්‍ය වුවද ඒ ගැන ලස්සනට ලියන විට එය අසාමාන්‍ය බවට පත්වේ. ජැක්සන්ගේ හැම වැඩක්ම මේ අසාමාන්‍ය බව විය. ඔහුගේ හැකියා පරාසය කිසි කලෙකත් තක්සේරු කළ නොහැක. මියයෑමට වසර කිහිපයකට පෙර ජැක්සන් ඉරිදා දිවයිනට නවකතාවක් ලිවීමට පටන් ගත්තේය. එහෙත් ඒ සමගම පැමිණි කොරෝනා වසංගතය හේතුවෙන් මේ රටේ පුවත්පත් කර්මාන්තය අලියකු ගැහුවාක් මෙන් බිඳ වැටුණු නිසා ඒ නව කතාව පොතක් වශයෙන් පළ කිරීමට ජැක්සන් තීරණය කළේය. පසුව එය “කන්ද උඩ ගින්දර” යනුවෙන් මුද්‍රණද්වාරයෙන් නිකුත් විය. ජැක්සන්ගේ අභාවයත් සමග මේ රටේ කලා ලෝකය මිදුණු විශ්වයක් බවට පත්ව තිබේ. එසේ මිදුණු විශ්වය යළි උණුසුම්වී ක්‍රියාකාරීවීමට තවත් සෑහෙන කාලයක් ගතවනවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment