ලස්සනට පිපුණ මල පරවී යයි….

531

දශක හතකට ආසන්න කාලයක් රසිකයන් අමන්දානන්දයට පත්කරමින් ගී ලොව ජයකෙහෙළි නැංවූ ආදරණීය ගායක නිහාල් නෙල්සන් ඊයේ උදෑසන (දෙසැම්බර් 13 වැනිදා) සිය නිවසේ දීම ජීවන ගීතය නිමා කළේය.

මොරටුවේ වෙළෙඳ ව්‍යාපාරිකයෙක් වූ ජී. ඩී. හෙන්ද්‍රික් මහතාට සහ ඉංග්‍රීසි ගුරුවරියක් වූ හේමා වීරවර්ධන යුවළට දාව, එම පවුලේ එකම දරුවා ලෙස නිහාල් නෙල්සන් උපත ලබන්නේ 1946 වර්ෂයේ ජනවාරි 09 වැනි දිනයි. පාසල් පෙර අධ්‍යාපන අවධියට එළැඹීමත් සමගම රාවතාවත්තේ රෝමානු කතෝලික පාසලට මූලික අධ්‍යාපනය සඳහා පිවිසෙන ඔහු, පසුව මොරටු විද්‍යාලයට ඇතුළත්ව අධ්‍යාපන කටයුතුවල නිරත වේ. ඉන් අනතුරුව වැල්ලවත්තේ පොලි ටෙක්නික් විද්‍යාලයට පිවිස එහි දී, පාලි හා සංස්කෘත භාෂාවන් පිළිබඳව හැදෑරීමක නිරත වේ.

ලස්සනට පිපුණ මල පරවී යයි….

පාසලේ පන්ති කාමරයෙන් සංගීතයේ මුලකුරු පටන් ගන්නා ඔහු, 1962 වර්ෂයේ දී ( 16 වැනි වියේදී) තමා ම ලියා තනුවක් යොදාගත් ගීතයක් , මොරටුව ලක්ෂපතියේ යුවළකගේ විවාහ මංගල්‍යයේ දෙවන ගමන වෙනුවෙන් පැවැති උත්සවයක දී ගායනා කරමින් තම සිහිනයේ ඉදිරි පියවරකට ආරම්භය ලබාගනී. එම උත්සවයේ සංගීතය මෙහෙය වූ, ඒ.ජේ. කරීම් සංගීතවේදියාණන් මේ ගැටවරයාගේ හැකියාව ගැන පැහැදී, ප්‍රවීණ සංගීතවේදී ආර්.ඒ.චන්ද්‍රසේන සූරීන් වෙත ඔහුව යොමු කරයි.

ලස්සනට පිපුණ මල පරවී යයි….

ඒ යොමු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, නිහාල් මුලින් ලියූ ගීතය, ඔහුගේ මිත්‍ර සරත් මුණසිංහ යන් ලවා සංස්කරණයකොට , ආර් .ඒ. චන්ද්‍රසේන සූරීන් ගේ සංගීතයෙන් හැඩ ගැන්වී , 1963 වර්ෂයේ පෙබරවාරි මස එක් දිනයකදී කොල්ලුපිටිය සරසවි චිත්‍රාගාරයේ දී , මර්වින් රුද්‍රිගු ශබ්දපරිපාලකවරයාගේ අධීක්ෂණය යටතේ පටිගත විය. එම ගීතය ‘ලස්සනට පිපුණු වනමල් ’ නම් විය. ඒ ඔහු පටිගත කළ ප්‍රථම ගීතයයි. ඉන් අනතුරුව ගී ගැයූ , ගීත තැටිවලට අමතරව, කැසට් පට ප්‍රමාණය 113ක් පමණ විය. ඒ අනුව ඔහු ගැයූ ගීත දහස් ගණනකි.

ලස්සනට පිපුණ මල පරවී යයි….

පිළියන්දල, සුවාරපොළ ප්‍රදේශයේ පදිංචි ව සිටි, අලුත්ගේ ශ්‍රියාලතා මාලිනි පෙරේරා සමග 1974 මැයි මස 16 වැනි දින විවාහ දිවියට ඇතුළත් වන, ඔවුනට තරංග නෙල්සන් නමින් එක් පුතණුවකු විය. 2020 වසරේ ජූලි 01 වැනි දින ඉතාමත් අනපේක්ෂිත අයුරින්, නිහාල්ගේ ආදරණීය බිරිඳ මාලි (ඔරු පදින්න පහළ ගඟට එන්න යන්න මාලි නමින් සිය බිරිඳට ඔහු ගීතයක් නිර්මාණය කළේය.) දිවියෙන් සමුගැනීම සිදුවිය. එයින් පසුව ඔහුගේ ලෝකය වූයේ, එකම පුතු තරංග සහ පුතුගේ බිරිඳ
ගයනිත්, ඔවුනගේ සිඟිති දියණිය කයිලි අමේලියාත් පමණි.

ලස්සනට පිපුණ මල පරවී යයි….

අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතාගේ දේහය නිහාල් නෙල්සන් මාවත, රාවතාවත්ත, මොරටුව නිවසේ තැන්පත් කරන අතර අද බදාදා දින (2022/12/14 ) උදේ 9.00 සිට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා පරිශ්‍රයේ දහවල් 1.00 දක්වා තැන්පත් කරනු ලැබේ.

ලස්සනට පිපුණ මල පරවී යයි….

නැවත එදින සවස 2.00 සිට ඉහත ලිපිනය සදහන් එතුමාගේ නිවසේ දේහය තැන්පත් කරන අතර 16 වන සිකුරාදා දින රාවතාවත්ත, ලු‍නාව කලපු ක්‍රීඩාංගනයේ දී සවස 6.00ට සිදුකෙරේ.

ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment