වචීපරම ප්‍රජාතන්ත්‍රවාදී පරපුට්ටන්ගේ පාරාදීසය!

520

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් පසුගිය දිනක කරන ලද ප්‍රකාශයක් අද බදාදා ලියැවිල්ලට නිමිති වී තිබේ. කිතුනුවන්ගේ මතු නොව, බොදුනුවන් ඇතුළු අන් ආගමික නායක හා ජනතාවගේ ද ප්‍රසාදයට ගෞරවයට පාත්‍රව සිටින කාදිනල් හිමියන් නිසැකයෙන් ම සිංහල බෞද්ධ සංස්කෘතික උරුමය පිළිගන්නා වූද එහි ගාම්භීරත්වය අගයකරන්නාවූ ද කිතුනු නියමු හිමිනමකි. මේ උන්වහන්සේගේ වචනයි.

“උතුම් බුදු දහමෙන් පෝෂණය වූ ශීලාචාර රටකට, පිට රටවල ඉගෙන ගත් හා ජීවත්වන පරංගි ඇවිත් කී පළියට නයිට් ලයිෆ්, රාත්‍රි සමාජ ශාලා, කැසිනෝ, ගංජා ආදිය මෙරට සංස්කෘතියට එක් කිරීමට ඉඩ දිය නොහැක. උතුම් බුදු දහමෙන් පෝෂණය වූ මෙරට ශීලාචාරකම හා සංස්කෘතිය විනාශ කිරීමට ඔවුන්ට ඉඩ දිය නොහැකිය. එවැනි මෝඩ දේවල් කිරීමට ඉඩ නොදෙන ලෙස සංඝයා වහන්සේ ප්‍රමුඛ ආගමික නායකයන්ගෙන් මම ඉල්ලා සිටිමි.”

කාදිනල් හිමියන් සඳහන් කරන මේ ප්‍රවණතාවන් පිළිබඳ සමාජ, දේශපාලන ක්‍ෂේත්‍රවල ද සංවාද ඇසෙයි. සිංහල බෞද්ධ සංස්කෘතියට උඩින් පැනීමට මෙන්ම එහි පදනම බිඳ දැමීමට ද මෙරටේ බහුතර ජනතාව එකඟ වනු ඇතැයි සිතිය නොහැක. එහෙත් අද රට හිරවී සිටින අන්ත දරිද්‍රතාව, අසරණබව නිසා ම ගැඹුරු දේශපාලන හෝ ආර්ථික දැක්මක් නොමැති අය මේ වර්ගයේ විසඳුම් යෝජනා කිරීම ද පුදුමයක් නොවේ. කාදිනල් හිමියන් විසින් මෙහිදී කරන ලද අවධාරණයන් අතිශය වැදගත් මෙන්ම මෙරටේ අනාගතය පිළිබඳ සාධනීය උපදේශ ලෙස ද හඳුන්වා දිය හැකිය. ඒවා මෙසේ පෙළ ගැස්විය හැකිය.

වචීපරම ප්‍රජාතන්ත්‍රවාදී පරපුට්ටන්ගේ පාරාදීසය!

● අසත්‍ය සත්‍ය ලෙසත් සත්‍ය අසත්‍ය ලෙසත් හුවා දැක්වීම.

● ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හෝ ලෝක බැංකුවෙන් හෝ කී පළියට රටට නොගැළපෙන නීති ක්‍රියාත්මක කිරීම හිඟා කන වැඩකි.

● රටේ ඉහළ ම තලයේ සිට පහළ ම තලය දක්වා දූෂිත ක්‍රමවේදවලට ඇබ්බැහි වී සිටීම.

● මත්ද්‍රව්‍ය තබා ගන්නා අයට මරණ දඬුවම දෙන බව කියමින් අනෙක් පැත්තෙන් ගංජා වැවීමට ඉඩ දෙන බව කීම.

● ලංකාව ම විකුණා හෝ කකා බිබී ඉන්නට කල්පනා කරමින් විදේශීය සමාගම්වලට රට කොටස් වසයෙන් කඩා දීම.

● බලය හා තනතුරු ආරක්‍ෂා කර ගැනීම සඳහා රට එලෙස පාවිච්චි කිරීම නොහොබින බව.

● රට ගොඩනැඟීමට සම්පූර්ණ චින්තන විප්ලවයක් අවශ්‍ය බව.

උන්වහන්සේ මේ සියල්ල ප්‍රකාශ කළේ මීගමුව කුරණ ශාන්ත පීතර විද්‍යාලයේ තෙමහල් ගොඩනැඟිල්ල විවෘත කිරීමේ උත්සවයට (10දා) සහභාගි වෙමින්ය. ඇත්ත වසයෙන්ම කාදිනල් හිමියන්ගේ මේ සියලු අනාවරණයන් සදොස් යැයි කාට හෝ කිව හැකිද? මේවා අද සමාජ දේශපාලන වේදිකාවල බොහෝවිට සඳහන් වන බවද නොරහසකි. එහෙත් 74 වසරක සමාජ ආර්ථික දේශපාලනයෙහි ශේෂ පත්‍රය එය නොවේද?

ශ්‍රී ලංකාව අවසන් වරට යටත් කර ගෙන සිටි බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් සමාජ ගත කරන ලද වටිනාකම්, සමාජ ධර්මතා මෙරටේ තිබුණත් ඒවාට එරෙහිවූ ජාතික හා සංස්කෘතික අරගල ද විය. බි්‍රතාන්‍ය පාලනයෙන් පසු මෙරට භාර වූයේ ඒ මොඩලයට ම අයත් ප්‍රභූ පිරිසකටය. එහෙත් 1928 වැනි ඈත කාලයේ සිට ම ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක වැනි ස්වදේශීය නායකයන් ඉංග්‍රීසි ආධිපත්‍ය නොඉවසූ බව ද පෙනේ. අනගාරික ධර්මපාල, පියදාස සිරිසේන වැනි දේශප්‍රේමීහු ඊටත් පෙර සිට ම බි්‍රතාන්‍ය පානයට එරෙහි වූවෝය.

1948 දී ලංකාවට නිදහස ලැබුණු බව පිළිගන්නා නමුදු එතැනින් ආරම්භ වූ ස්වදේශීය සංස්කෘතික පාලනයක් අපට නොවීය. 1933 දීත් බණ්ඩාරනායක එවක තිබුණු ඉංග්‍රීසි නිලධාරීන්ගේ පාලනය විවේචනය කළේය. ඉංග්‍රීසි නිලධාරීන් තිදෙනකු ව්‍යවස්ථාදායකය මෙහෙයවීම ඔහුගේ දෝෂ දර්ශනයට ලක්විය. එහෙත් එදා සිටි ස්වදේශීය ප්‍රභවරු පවා බණ්ඩාරනායකට සවන් නොදුන්හ. දේශපාලනය යනු මහජන සේවය සඳහා කැපවූ ව්‍යාපාරයක් නිසා මිනිසුන් ලෙස තිබෙන දුබලතා කෙබඳු වුවත අපට අවංක භාවයක් වුවමනා බව බණ්ඩාරනායක එදා ප්‍රකාශ කළ අදහස විය. මහජන වැඩවල දී මගේ පෞද්ගලික අභිලාෂයන් ගැටෙන හැම විටකම ඒවායින් එකක් දෙකක් හෝ සියල්ල ම කැප කිරීමට දේශපාලනඥයා සත්‍යවාදී විය යුතු බව ද ඔහු පෙන්වා දී ඇත.

නිදහසින් පසු ගෙවී ගිය වසර හැත්තෑ හතරක පමණ කාලය තුළ මෙරටේ පාලන භාරකාරත්වය හිමිවූ නායකයන් හා ඔවුන්ගේ පක්‍ෂ සන්ධාන ආදි සියල්ලන්ට ම අද මේ රට පත්ව තිබෙන විනාශයට චෝදනා කළ හැකි ද? මේ සම්බන්ධයෙන් බොහෝ දෙනකුගේ අදහස වන්නේ හැත්තෑව දසකයෙන් මෙපිට මෙරට පාලනය කළ පිරිස් අඩු වැඩි වසයෙන් එයට වගකිවයුතු බවය. එසේම අපේ ජාතික සංස්කෘතික වටිනාකම් නමැති මුල්ගල උදුරා දැමීම හැත්තෑහතෙන් පසු සිදු වූ බවද බොහෝ දෙනෙක් සඳහන් කරති. දේශපාලනය භාවිත කරමින් සමාජ මතුමහලට නැඟ ගත් බහුතරයක් ම අද ක්‍රියා කරන ආකාරය පිළිබඳ දැඩි චෝදනා එල්ල වන බව ද රහස්ක නොවේ.

මේ දේශපාලනය සකස් වී ඇත්තේ ජාතික සංස්කෘතික වටිනාකම් හෝ මානව හිමිකම් පිළිබඳ ගැඹුරු අවබෝධයකින් හෝ නොවේ. අද වනවිට දේශපාලනය ව්‍යාපාරයක් සාරධර්ම හෝ මානව වටිනාකම් නොතකන දුෂ්ට මෙහෙයුමක් බවට පත්ව තිබේ. දේශපාලනය හා රාජ්‍ය සේවය ක්‍රියාත්මක වී තිබෙන ආකාරය පිළිබඳව කෝප් කමිටු හා විගණන වාර්තාවලින් කෙරෙන හෙළිදරව් සුළුපටු නැත. මේ පිළිබඳ අමුතුවෙන් සාක්ෂි හා නිදසුන් සැපයීමට ද අවශ්‍ය නැත. ජ. වි. පෙ. නායක අනුර කුමාරගේ චෝදනාව අනුව සුඛෝපභෝගී ජීවිත ගත කරන මංකොල්ලකාරයෝ දියවන්නාවේ සිටිති. මේසන් බාස්ගේ සිට සිවිල් ඉංජිනේරුවා දක්වා රැකියා අහිමිවී තිබෙන අතර දුප්පත් පවුල් ජීවත්වීමට මඟක් නොමැතිව සිටින බවද ඔහු සඳහන් කරයි.

මැල්කම් රංජිත් කාදිනල්තුමාගේ චෝදනාව වී ඇත්තේ ලංකාව ම විකුණා හෝ කාබී ඉන්නටත් බලය හා තනතුරු ආරක්‍ෂා කර ගන්නටත් දේශපාලනඥයා පෙළඹී සිටින බවයි. කාදිනල්තුමා ප්‍රශ්න කරන්නේ එක් අතකින් මත්ද්‍රව්‍ය සඳහා මරණ දඬුවම් දෙමින් අනෙක් අතින් ගංජා වැවීමට ඉඩ දෙන්නේ කෙසේද යන්නයි. මෙය අපට ද ගැටලුවකි. රටක රාජ්‍ය ප්‍රතිපත්ති සැකසීම නිසැකයෙන්ම සංස්කෘතික හා සාරධර්මවලට පටහැනි නොවන්නාවූ ද සදාචාර පදනම බිඳ නොවැටෙන්නාවූ ද එකක් විය යුතුය. බෞද්ධ සූත්‍ර ධර්ම හා බුදුන්වහන්සේගේ වෙනත් දේශනාවන් හා ජාතික පොත මෙන්ම ධම්ම පදය ද උපුටා දක්වා නායකයෝ ඒවා නො දනිතියි අපට කිව නොහැක. එසේනම් අද මේ නායකකාරකාදීන්ට වුවමනා සත් පිළිවෙත් නොව, වංචනික ධර්ම බව පැහිදිලිය. වඩාත් සරලව කිවහොත් ඔවුන්ට වුවමනා ‘කන්ට සූත්‍ර’ විය යුතුය. මොන ජාත්‍යන්තර ආයතනයක් නියෝග කළත් සහාය පලකළත් අපට නොගැළපෙන දේ නොගත යුතුය යන්න කාදිනල් හිමියන් පෙන්වා දෙන්නේ බෞද්ධ උරුමයෙන් පෝෂණය වූ සංස්කෘතිය අපේ නායකයන්ට සිහිපත් කරමින්ය. කාදිනල්තුමා අපේ මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටින්නේ ද එබඳු දේවල් සඳහා ඉඩ ප්‍රස්ථා ලබා නොදිය යුතු බවය.

කාදිනල් හිමියන් තිරස්රව ප්‍රකාශ කරන්නේ අද චින්තන විප්ලවයක් රටට අවශ්‍ය බවය. එය අතිශය පුළුල් මෙන්ම බරපතළ ඇඟවුම් සහිත අර්ථසාර අදහසකි. එය වූ කලී සංස්කෘතිය, සභ්‍යත්වය මෙන්ම ජාතික උරුමයන් සමග බැඳී තිබෙන්නකි. මේ සංස්කෘතික විප්ලයේ විශිෂ්ට නිදර්ශනය ලෙස 1956 දී සිදුවූ දේශපාලන පෙරළිය දැක්විය හැකිය. දේශපාලනකි වසයෙන් මෙන්ම වෙනත් ආර්ථික දෘෂ්ටි කෝණවලින් ද බලනවිට එහි විවිධ ලිහිල් තැන් අඩු ලුහුඬුකම් දැකගත හැකිය. එහෙත් සංකල්පීය වසයෙන් එය මෙරටේ අලුත් චින්තන ධාරාවක සංස්කෘතික ප්‍රබෝධයක ඓතිහාසික පියවරකි. අපේ මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් විසින් එය හඳුන්වන ලද්දේ බමුණු කුලයේ බිඳ වැටීම යන පුළුල් අර්ථරෝපණයෙනි. බටහිර අනුකාරක දේශීය ප්‍රභූ දේශපාලනයට එරෙහිව එම ප්‍රභූ පැලැන්තියට අයිතිවූ මුළුමනින් ම බි්‍රතාන්‍ය නිෂ්පාදනයක් ද වූ බණ්ඩාරනායක එදා තම සම්ප්‍රදායට, පන්තියට එරෙහිව සංස්කෘතික කැරැල්ලක් දියත්කිරීමට ද සුවිශේෂ සිද්ධියකි. බණ්ඩාරනායක එදා අධිරජ්‍යවාදී දඩබිම පෙරළා සංස්කෘතික නැවුම් පස මතු කර ගත්තේය. එහි සරු බිජුවටක් වපුරාලීමට අපේ පසුකාලීන නායකයන් අසමත් වීම වෙනම කරුණකි. එහෙත් ඒ චින්තන විප්ලවයක සාධනීය ඵලයකි.

මේ වෙනස සිදු වූ පනහේ දසකය හඳුන්වන ලද්දේ පරපුට්ටන්ගේ පාරාදීසය ලෙස ය. බටහිර අධිරාජ්‍යවාදයත් ඒ යටත් විජිත වටිනාකම් මත පදනම් වූ අධ්‍යාපනයක් ද එකල විය. අපේ අධ්‍යාපනයෙහි කේන්ද්‍රස්ථානය වූ පේරාදෙණි විශ්වවිද්‍යාලය එදා කළු සුදදන්ගේ අණසකට යටත් වී තිබුණි. එහි උපකුලපති වූයේ සර් අයිවර් ජෙනිංස් ය. ජෙනිංස් යනු අපේ පළමු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද සම්පාදනය කළ බටහිර නියෝජිතයෙකි. ඔහු එදා ලංකාව හැඳින්වූයේ සංස්කෘතික කාන්තාරයක් ලෙස ය. ඉංග්‍රීසි පාලකයන් විසින් ජෙනිංස් මෙරටට එවන ලද්දේ අපට ඔවුන්ගේ සංස්කෘතිය භාෂාව හා වටිනාකම් මත පදනම්වූ අධ්‍යාපනයක් ලබාදීමට ය.

ජෙනිංස් මේ රට සංස්කෘතික කාන්තාරය කැයි කීවේ එකල ඇවිළෙමින් තිබුණු ස්වදේශික බුද්ධි ප්‍රබෝධය උසුලා ගත නොහැකි අප්‍රසාදය නිසා ය. අපේ සම්පත් කොල්ලකමින් සිටි බටහිරයන්ට එල්ලවූ අභියෝගය ජෙනිංස්ට වැටුහුණි. 1818 දේශප්‍රේමී කැරැල්ල පහත රට හොරුන් දෙදෙනකුගේ වැඩක් යැයි මෙරටේ බ්‍රිතාන්‍ය සමය ගැන ලියූ අනුකාරක ලාංකික ඉතිහාසඥයකු ලියා තිබුණි. පුරන් අප්පු හා ගොන්ගාලේගොඩ බණ්ඩා ඔවුන්ට සොරු වූහ. අපේ බෞද්ධ සංස්කෘතික උල්පත් වසා දමමින් බටහිරට ප්‍රශස්ති බඳු ඉතිහාසයක් මෙන්ම කලාවක් ද ස්ථාපිත කිරීමට එදා අවශ්‍ය විය. ප්‍රතිමාවන්දනාව ඇතුළු පොදු ජන සංස්කෘතිය දෙස ඔවුන් බැලුවේ දැඩි පිළිකුලකින්ය. අපව ශිෂ්ට සම්පන්න කිරීමට ජෙනිංස්ලාට වුවමනා විය.

එදා (1952) පේරාදෙණි විශ්වවිද්‍යාලයේ සිටි ගම්බදින් පැමිණි ප්‍රබුද්ධ තරුණයෝ ජෙනිංස්ලාට එරෙහි වූහ. මාගම් තෙන්නකෝන් එදා සරසවි සිසුවකු ලෙස විශ්වවිද්‍යාල සඟරාවට ලියූ ලිපියකින් ජෙනිංස්ලාගේ සංස්කෘතික ආක්‍රමණය හෙළා දුටු එක් තරුණ මානවකයෙකි. ඔහු විසින් ලියන ලද “පරපුට්ටන්ගේ පාරාදීසය” නමැති ඒ ලිපිය විශ්වවිද්‍යාල පාලකයන් නිරුත්තර කරන්නක් විය. පිරිහෙමින් තිබුණු සංස්කෘතික වටිනාකම් යළි ප්‍රතිෂ්ඨාපනය කළ යුතුය යන අභිලාෂ දේශපාලනයට කා වැදුණු පනස්හයේ වෙනස එයින් ප්‍රභවය ලද්දකි. බණ්ඩාරනායක ඝාතනය කිරීමෙන් ඒ ජාතික සංස්කෘතික උරුමයන් විනාශ කළ හැකි යැයි අධිරාජ්‍යවාදී ගැත්තෝ කල්පනා කළහ. එහෙත් ඒ ජනගත කළ සංස්කෘතික වටිනාකම් නිවැරදිව, ඍජුපටිපන්නව ඉදිරියට ගෙන යා හැකි දේශාපලන නායකත්වයක් අපට නැති විය.

කාදිනල්තුමා පවසන චින්තන විප්ලවය ගැන මෙවර අය වැය විවාදයේදීත් ඇසුණි. ඒ සංස්කෘතික ඇමැති විදුර වික්‍රමනායකගේ කතාවෙනි. අපගේ පැවැත්ම මහා සංස්කෘතිය මත පදනම්ව තිබෙන බවත් එය සුරැකිය යුතු බවත් ඔහු අවධාරණය කළේය. භාෂා, ආගම්, ජාති පවුරුවලින් කොටු නොවී අලුතින් හිතන සංස්කෘතික විප්ලවයක් වුවමනා බව ඔහුගෙන් ප්‍රකාශ විය. මේ මුළු රටේ හැම වැලිකටයක් පාසා ම ඇත්තේ අපේ ඒ සංස්කෘතික උරුමය බව පැවසීමට ද ඔහු එඩිතර විය.

මොන තර්ක විතර්ක තිබුණත් ඒ උරුමය පාවා නොදිය යුතු බව ද ඔහු පැවසීය. ඔහු සිය විශ්ලේෂණයේ දී සඳහන් කළේ අප (දේශපාලනඥයන් විය යුතුය) හැදුවේ පපුවේ තෙතමනයක් නැති මිනිසුන් බවය. සංස්කෘතිය යනු චින්තන විප්ලවයේම කොටසක් බව ද ඔහු සඳහන් කරයි.

කෙසේ හෝ වේවා අද අප මුහුණ දී සිටින සමාජ ආර්ථික දේශපාලන අර්බුදය බලකාමී දේශපාලනය විසින් එහි හිණිපෙතට නංවන ලද්දකි. මෙය ඉහත සඳහන් කළ පරපුට්ටන්ගේ පාරාදීසයක් නොව, ප්‍රජාතන්ත්‍රවාදය මතුරන වචීපරම දේශපාලන පරපුට්ටන්ගේ පාරාදීසයක් වැන්න. ඒ මුග්ධ දේශපාලනය විසින් සමාජගත කරන ලද අසංස්කෘතික මෙහෙයුම් සමස්ත සමාජය ම ගොදුරු කර ගෙන ඇත. අල්ලස දූෂණය හොරකම, නාස්තිය ඒ දූෂිත ක්‍රියාන්විතයේ කුලුනුය. තවමත් අංක එක හෙවත් ප්‍රමුඛතාව බලය යි. කෙක්කෙන් බැරිනම් කොක්කෙන් හෝ බලය ලබාගැනීම මේ දේශපාලනයේ අරමුණය. කවුරුත් බලයට ම පොරකති. බොහෝ දෙනෙක් තනතුරුවලට ලොබ බඳිති. කවුරුන් බලා සිටින්නේ දේශපාලන වාසනා චක්‍රය දෙසය. දේශපාලනයම කුණුවී තිබෙන රටක ප්‍රතිපත්ති ගැන කවර කතා ද? ඌරන්ට මොන සෞඛ්‍ය දැයි ජනවහරේ කියමනක් ද ඇත.

කාදිනල්තුමා මෙන්ම අපේ මහනාහිමිවරුන් හා වෙනත් යුක්තිගරුක පුරවැසියන් සියලු දෙනාම මේ දේශපාලන නඩයම ප්‍රතික්‍ෂේප කරති. උන්ගේ ඉඳුල් බුදින දේශපාලන හෙංචයියලාත්, නිවට කසළ නිලධාරිනුත් හැර මේ දේශපාලනය මැනවැයි කිසිවෙක් ද නැත. ගතානුගතික බලලෝභී ආතුරයන් බහුල දේශපාලනයක ගතයුතු කිසිවක් තිබේද අලුතින් හිතන, අලුත් ගමනකට මේ දේශපාලන පංචස්කන්ධ සමග යා නොහැක. ජනාධිපති රනිල්ට පොහොට්ටුවේ ගිරයට හුස නොවී රට වෙනුවෙන් ඍජුව සිටීම ට ධෛර්යක් තිබිය යුතුය. තවමත් ඇමැතිකම්, නිලබල ඉල්ලන අයගේ හැකිකම් ක්‍රියාකාරකම් ජනාධිපති රනිල් නොදන්නවා නොවේ. ලක්‍ෂ ගණනින් දුක්පත්ව අසරණව සිටින රටක් අලුතින් නඟා සිටුවිය හැක්කේ අලුතින් හිතන දේශපාලනයකට පමණි. කාදිනල්තුමා අවධාරණය කරන්නේ තවත් රට විපතට යා නොදී නව චින්තන විප්ලවයක් රටට වුමනා බවය.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment