අඳුර දුරලන ජයග්‍රාහී කුරුස පූජාව

112

මුළු මහත් කිතුනු ලෝකය මහ සිකුරාදා දිනය ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ ඓතිහාසික මරණය සිහිපත් කරනු ලබයි. ක්‍රිස්තුස් වහන්සේගේ මරණයෙන් අඳුර දුරලා ජීවනයේ ආලෝකය ලෝකයට ප්‍රවිෂ්ට වීමේ ආසිරිමත් ජීවිතය ගැන අපි සලකා බලමු.

කිතුනුවන් විශ්වාස කරන දෙවියන්වහන්සේ නිරුපණය කෙරෙන සංකේතයක් වන්නේ ආලෝකයයි. ශුද්ධවූ බයිබලයේ, ලෝකය නිර්මාණයේදීම ආලෝකයේ වටිනාකම සඳහන් කර ඇත. විශ්වය පැවැත්ම ගැන දැක්වෙන උප්පත්ති පොතේ, විශ්වයේ නිර්මාණය ආරම්භයේදීම ආලෝකය ගැන මෙසේ දැක්වේ. මහ සයුර මත අන්ධකාරයක් විය. දේවාත්මානුභාවය ජලය මතුපිට හැසිරුණේය. එවිට දෙවියන්වහන්සේ ආලෝකය වේවායි වදාළ සේක. ආලෝකය මනහර බව උන්වහන්සේ දුටු සේක යැයි (උප්පත්ති 1-2-3) හි දැක්වේ. එනම් මෙහිදී මැවිල්ලේ ආලෝකය මනහර බව හා ආලෝකය නැතිවූ විට ඇතිවන ව්‍යාකූළත්වය අඳුර බව කියැවේ. මැවුම්කාර දෙවියන්වහන්සේ සම්පූර්ණ ආලෝකය හා ආලෝකයේ උල්පත වන සේක. උන්වහන්සේ ශුද්ධ ය. ඒ නිසා මිනිසාට ළඟාවිය නොහැකි ආලෝකයක් බව (1 තිමොති 1 16) සඳහන් වේ. යේසුස් වහන්සේගේ ශ්‍රාවකයෙක් වූ යාකොබ් තුමා උන්වහන්සේ හඳුන්වා ඇත්තේ අඳුර නිසා ආලෝකය පතුරන ආලෝකයේ පියාණන් වශයෙනි.

ශුද්ධවූ බයිබලයේ ආලෝකය පිළිබිඹු කරන්නේ පාරිශුද්ධත්වය වන අතර අඳුර පිළිබිඹු කරන්නේ නපුර හෙවත් පාපය වේ. එබැවින් යමකුට දෙවියන්වහන්සේ සමග සහභාගිත්වය ඇතිකර ගැනීමට නම් පාරිශුද්ධත්වය අවශ්‍ය බවත්, අඳුරේ ගමන් කරමින් අප දෙවියන්වහන්සේ සමග සහභාගිත්වය ලැබුවෝ යැයි කියතොත් එය මුසාවක් බවත් දේව වචනයේ අවධාරණය කර ඇත. අඳුර යනු පාපය වේ. පාපය නිසා මුල්ම මිනිසා සහ ස්ත්‍රිය වූ ආදම් හා ඒව, දෙවියන්වහන්සේ කෙරෙන් වෙන් කළ සැණෙකින් ලෝකය ආත්මික අන්ධකාරයේ ගිළුණි. එතැන් සිට මිනිසා උන්වහ්නසේ නොමැතිව අඳුරේ මංමුළාව, යන්නේ කොහෙදැයි නොදැන අතපත ගාමින් අඳුරේ ජීවත් විය. එමෙන්ම අඳුරේ ජීවත් වන්නා අපවිත්‍රකම්, සල්ලාලකම්, සතුරුකම්, විවාද, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය පක්ෂවාදීකම්, භේද, වෛරය, බල තණ්හාව, ප්‍රචණ්ඩත්වය, ලිංගික තෘෂ්ණාව නිසා සිදුකරන අපචාරයන් යානාදීන් පාපික ක්‍රියා, අඳුරේ ජීවත්වන්නාගේ ක්‍රියාකලාපයන් වේ. දෙවියන්වහන්සේ කීකරු වී සිටි ඊශ්‍රායෙල් ජනයා හට එදා විසූ යෙසායා දිවැසිවරයා විසින් මෙසේ පැවසූ සේක. ධර්මිෂ්ඨකම අපට ළංනොවන්නේය. අප එළිය ගැන බලා සිටින නමුත් තිබෙන්නේ අඳුරය. දීප්තීමත්කම ගැන බලා සිටින නමුත් යන්නේ කළුවරයේය. අන්ධයන් මෙන් අප බිත්ති අතගගා යමුව. අඳුරේදී මෙන් අප ඉර මුදුන් වෙලාවේ පැකිළ මළවුන් මෙන් ඝනාන්ධකාරයෙහි සිටිමුව යන්නෙන් (යෙසායා 59ඃ9-10) හි දක්වන්නේ අඳුරේ හෙවත් නපුර ජීවත්වන්නාගේ ස්වභාවය පෙන්වා දීමටය. මෙනිසා දෙවියන්වහන්සේගේ ආලෝකයේ විශේෂ ආනාවරණයක් ලැබෙන තුරු මනුෂ්‍යයෝ ආත්මික අන්ධකාරයේ පසුවුණෝය.

අඳුරෙන් මනුෂ්‍යයාව මුදා ගැනීම සඳහා අඳුර හෙවත් පාපය දුරුලනු පිණිස ආලෝකය වූ දෙවියන්වහන්සේම මනුකයක් රැගෙන මෙලොවට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නමින් වැඩිය සේක. උන්වහ්නසේ මේ ලෝකයට වැඩියේ, පාපය නමැති අඳුර කුරුසිය මතදී දුරුලෑමට යැයි (මතෙව් 5ඃ1-14) හි දැක්වේ. එමනිසා ජීවිනය ගෙනදෙන්නාවූ ආලෝකය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වන සේක. ලෝකයේ ආලෝකය මම වෙමි. මා අනුගාමි වන්නා අඳුරේ නොහැසිර ජීවනය, ආලෝකය ලබන්නේ යැයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වදාළේ උන්වහන්සේ කල්වාරි කුරුසිය මතදී සියලුම ජාතීන්ගේ පාපය වූ අඳුර දුරැලූ නිසාය. උන්වහන්සේ කෙරෙහි අදහා ගන්නා අය අඳුර තුළ තවදුරටත් රඳා සිටින්නේ නැත. සැබෑ ජීවිතයක් සඳහා අවශ්‍ය ගුණාංග ආලෝකය තුළ පවතී. යේසුස් වහන්සේගෙන් ආලෝකය ලැබූ තැනැත්තා ආලෝකයෙන් අදහස් කරන සදාචාරී ජීවිතයට එක්වී ඇත. උන්හන්සේගේ ආලෝකය පාපය, දෝෂාරෝපණය සහ භය පළවා හැර ආධ්‍යාත්මයට බලාපොරොන්තුව, සහතිකය, සැනසිීම සහ ශක්තිය ලබා දෙයි. එනම් ආලෝකයේ ජීවත්වන්නා අඳුරේ නොහැසිර ජීවනයේ ආලෝකයේ හැසිරෙන්නේය යන්නෙන් යේසුස් වහන්සේ පැවසුවේ එබැවිනි. ආලෝකයේ සිටින්නාට තමන්ගේ සහෝදරයාට හෝ අසල්වැසියාට වෛරය කළ නොහැකිය. ආලෝකය පවතිමියි කියමින් තමන්ගේ සහෝදරයාට වෛර වන්නා මේතාක් අඳුරේ සිටියි යැයි දේව වචනයේ දක්වා ඇත. තම සොහොයුරා සමග මිත්‍රත්වයේ සිටින්නා ආලෝකයේ සිටින්නෙකි. ලෝකයට ආලෝකය පැමිණ තිබේ. එහෙත් තමන්ගේ ක්‍රියා නපුරු බැවින් මනු්‍යෂයෝ ආලෝකයට වඩා අන්ධකාරයට ප්‍රිය කළහ. නපුරු ක්‍රියා කරන හැම දෙනාම ආලෝකයට ද්වේශ කරති. ඔවුන්ගේ ක්‍රියා එළිවෙන බැවින් ඔවූහු ආලෝකයට නොපැමිණෙති. එහෙත් සත්‍ය දේ කරන තැනැත්තා තමන්ගේ ක්‍රියා දෙවියන්වහන්සේට කීකරුව කරන ලද බව පෙනෙන පිණිස ආලෝකයට පැමිණියේ යැයි යේසුස් වහන්සේ වදාළ සේක (යොහන් 3ඃ-19). මෙලෙස උන්වහන්සේගේ දීප්තීමත් අභිමුඛයට සියලු අන්ධකාරය පළවා හරින්නට ඉඩහරිමු. අඳුර කල්වාරි කුරුසිය මත යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ජීවිතය පූජාව තුළින් ඉවත් කිරීම නිසා අපට අපගේ අඳුරෙන් මිදීම ලබා ආලෝකයෙහි ජීවනය ලද හැකිය.

දේශමාන්‍ය දේවගැති ගුනායින් පෝල් ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment