බිළිඳියගේ ගෙළ සිරකර ළිඳට දමා පසුව සිරුර වැසිකිළි වළේ සගවලා

557

තරුණ යුවළගේ ආරවුල දුරදිග යයි

මාස හයක බිළිඳියක් මරා වැසිකිළි වළක සඟවන ලද බව කියන තරුණ දෙමවුපියන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසත්, බිළිඳියගේ සිරුර පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකර අධිකරණයට කරුණු වාර්තා කිරීම සඳහා මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලෙසත් මීගමුව වැඩබලන මහෙස්ත්‍රාත් ඉන්දික දිල්වා මහතා පෙරේදා (04 දා) රාත්‍රී සීදූව පොලිසියේ ස්ථානාධිපතිවරයාට නියෝග කළේය.

සිද්ධිය වූ බව කියන ස්ථානයට පැමිණ සිදුකළ ස්ථානීය පරීක්ෂාවකින් අනතුරුව වැඩබලන මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය.

සීදූව, තුම්මුල්ල වත්ත ප්‍රදේශයේ නිවසේ වැසිකිළි වළක තිබූ බිළිඳියගේ මළසිරුර ගොඩගැනීම වැඩබලන මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ සිදුවිය.

පොලිසිය විසින් මෙතෙක් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇති කරුණු අනුව මෙම තරුණ යුවළ අතර ඇතිවූ හදිසි ආරවුලකදී දරුවාගේ ගෙල සිරකර මව විසින් ළිඳට දමා ඇති අතර පසුව සිද්ධියෙන් බියට පත්වී ඇති දෙමවුපියන් දෙදෙනාම එකතු වී දරුවා ළිඳෙන් ගොඩගෙන වැසිකිළි වළේ සඟවා ඇති බව පොලිසිය පවසයි.

සීදූව පොලිසියේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. ධනුෂ්ක බණ්ඩාර මහතාගේ මෙහෙය වීමෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

මීගමුව – විමල් කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment