ඉඹුල්පේ නාදුනන කාන්තා මළ සිරුරක් මිනී පෙට්ටියක් නොමැතිව භූමදානය කරයි

527

සුසාන භූමියේ වළ දැමිමට මරණාධාර සමිතියේ නිලධාරීහු දෙදෙනෙක් විරෝධය පාති

මිනිසුනේ ඔබ කොහිද..?


බළන්ගොඩ වෑගපිටිය ප‍්‍රදේශයේ  රෝගීව මහමග වැටී සිටි කාන්තාවක් බළන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ප‍්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත් විය. වයස අවුරුදු 70ක් පමණ වූ මෙම කාන්තාවගේ මළ සිරුර මාසයක් පමණ රෝහල් මෘත ශරීරාගාරයේ තිබී කිසිඳු හිමිකරුවෙකු ඉදිරිපත් නොවූ හෙයින් මරණ පරීක්ෂණය පවත්වා රයිවත්ත පොදු සුසාන භූමියේදී මිහිදන් කිරීමට මරණ පරීක්ෂකවරයා අවසර ලබා දී තිබිණි. ඒ අනුව මිනී වල කැපීම ඉඹුල්පේ ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරයෙකු වූ සමන්ත ජයසිංහ මහතා මැදිහත් වී සභාපතිවරයාගේ අවසරය මත ප‍්‍රාදේශීය සභාව සතු ජේ.සී.බී. යන්ත‍්‍රය ලබා ගෙන භූමදාන කටයුතු සූදානම් කරන ලදී. ඒ අතරේදී මෙම ප‍්‍රදේශයේ මරණාධාර සමිතියක නිලධාරීන් දෙදෙනෙක් මළ සිරුර සුසාන භූමියේ භූමිදානයට විරෝධය පළ කරන්නට වූ අතර ඔවුන් රජයේ නිලධාරින්ට පවා බැන වදින්නට විය.

මෙම කටයුත්තට සත් භාවනයෙන් මැදිහත් වූ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයා පින්නවල පොලිසියේ සහයෝගය ලබා ගෙන මළ සිරුර මිහිදන් කිරීමට පසුබිම සකස් කරගන්නා ලදී. නමුත් මෙම මළ සිරුර මිනී පෙට්ටියක්වත් නොමැතිව ඉටි රෙදි කඩක ඔතා භූමදානය කිරීමට සිදු වූයේ ඉතාමත් ශෝචනීය අන්දමෙනි. මීට හේතුව වශයෙන් ඔහු පැවසුවේ මෙවැනි මළ සිරුරු භූමදානය කිරීම රජයේ වියදමෙන් කළ යුතු නමුත් එවැන්නක් සිදු නොවූ බව කනගාටුවක් පල කරන බවයි. මහ ම`ග මිය ගිය බල්ලෙකු, ගවයෙකු වුවත් ගරු සරු ඇතිව භූමදාන කරන මෙවන් රටක මිනිස් මළ සිරුරක් මෙසේ භූමදාන කිරීම අතිශය ශෝචනීය බැවින් මින් මතු අප ප‍්‍රාදේශීය සභා සීමාව තුළ මෙවැන්නක් සිදු නොවීමට පියවර ගන්නා ලෙස ඉඹුල්පේ ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කරමින් මෙම කරුණ ස`දහන් ලිපිය ඉකුත් 21 ප‍්‍රාදේශීය සභා මාසික රැස්වීමේ දී සභාගත කරන ලදී.

බළන්ගොඩ – එන්.එච්. පියසේන

advertistmentadvertistment
advertistmentadvertistment