ක්‍රිකට් ආයතනය විසුරුවා හැරිය යුත්තේ ඇයි?

1224

විදුලි බිල වැඩි වී ඇති බව පවසමින් මනු කියවන්නාට ලේ එනතුරු පොලුවලින් පහර දුන් ගල්කුලියේ ලීමඩු කාරයකු මහකුඹුක්කඩවල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ ලී මඩුකාරයා අංක එකේ නූගත් බූරුවකු බව අපගේ වැටහීම වේ. දැනට මාස දෙකකට පමණ පෙර ආණ්ඩුව විසින් ලයිට්බිල වැඩි කළ බවක් මේ බූරුවා නො දනී. එනම් මේකා පත්තර නොකියවන, ගුවන් විදුලිය නොඅසන, ටීවී නොබලන ගල් යුගයේ ජීවත් වූ අර්ධ වානරයෙකි. සිද්ධියෙන් පසු මනු කියවන්නා ඉස්පිරිතාලයට ඇතුළත් කරන ලදි. මේකා හයමාසයක් පමණ රිමාන්ඩ් කූඩුවේ සිටිය යුතු බව අපගේ අදහස වේ. එයට හේතුව මේ මාසයේ හෝ ලබන මාසයේදී නැවත වතාවක් විදුලි බිල වැඩි කිරීමට රජය තීරණය කර තිබීමය. එසේ බිල වැඩි වූ විට ඊළඟ සැරේ එන මනු කියවන්නා ලීමඩුකාරයා විසින් මරා දමනු ලබනවා ඇත. මේ සිද්ධියට විරෝධය පාමින් අදාළ ප්‍රදේශයේ විදුලිබල මණ්ඩල නිලධාරීහු විදුලි සැපයුම අත්හිටුවූ බව දැන ගන්නට තිබේ. බැලූ බැල්මට එය වැරදි වැඩකි. එහෙත් එවැනි සිද්ධියකදී විදුලිබල මණ්ඩලයට විරෝධය පෑමට හැකි එකම ක්‍රමය එය ය. මේ නිසා ගම්මාන කිහිපයක් ම දුකට පත් වූ බැවින් ලීමෝල්කාරයා ඒ ගම්වල ජනතාව අතින් තෙල් සාත්තුවක් ලැබිය යුතු බව අපගේ අවංක හැඟීම වේ. එහෙත් සාමාන්‍ය ජනතාව නීතිය අතට ගත යුතු නැත. නීතිය මුලින්ම තිබෙන්නේ පොලිස් රාළහාමිගේ බැටන් පොල්ල තුළය. එයත් මදිනම් කඳුළු ගෑස් කැනිස්ටර් තුළද නීතිය තිබේ. අවසාන වශයෙන් නීතිය ඇත්තේ තුවක්කු බට තුළ ය. අපගේ මෙම අර්ථ නිරූපණය කිසිවකු විසින් වරදවා වටහා නොගත යුතුය. නීතිය යනු ගෞරවනීය අධිකරණ පද්ධතියට අයත් ආයුධයකි. එහෙත් කරකියා ගැනීමට දෙයක් නැති වූ විට එය ආයුධවලට මාරු වෙයි.

ක්‍රිකට් මැච් ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ වැටුප් ලබන වගකීම වුවද, එසේ නොකොට ක්‍රිකට් මැච් පැරදීමට අපේ ක්‍රිකට් පිල කිසියම් දෙවි කෙනෙකුට භාරයක් වී ඇති බව පෙනේ. පසුගියදා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවති තුන්වන හා අවසන් එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 317 ක දැවැන්ත පරාජයක් ලැබීය. එතෙක් මෙතෙක් මෙරට ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු 300 ඉක්මවන පළමු පරාජය ලැබූ කණ්ඩායම බවට ශ්‍රී ලංකා ක්‍රිකට් පිල පත්ව ඇත. මීට පෙර අයර්ලන්ත කණ්ඩායම ලකුණු 290 කින් නවසීලන්ත කණ්ඩායමට පරාජය විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් පසුගිය කාලය තුළ අනංග කෙළිය සහ සූදුකෙළිය යන ක්‍රීඩා දෙක කෙරෙහි වැඩි උනන්දුවක් දැක්වූ බව පෙනී යයි. ඔස්ටේ්‍රලියාවේ ක්‍රිකට් ගැසීමට ගිය අපේ ක්‍රිකට් ක්‍රීඩකයකු වූ ධනුෂ්ක ගුණතිලක ගෑනු කේස් එකක් නිසා දින කිහිපයක් ඔස්ටේ්‍රලියාවේ රිමාන්ඩ් කූඩුවක ලැග දැනට එරටින් පිටවීම තහනම් වී ලකා ගහගෙන සිටියි. මෙයට කලින් ද මේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයන් පිටරටවලට ගොස් සාප්පුවලින් බඩු හොරකම් කිරීම, විස්කි බී මී හරකුන් ලෙස හැසිරීම වැනි චර්යා විරෝධී වැඩ කර නෝන්ඩි වුවද ඒ චර්යා විරෝධී ක්‍රියා සියල්ලෙහිම රජු ලෙස ඔටුනු පළඳින්නේ ධනුෂ්ක ගුණතිලක ය. මේ අතර ඉකුත් ඔස්ටේ්‍රලියන් සංචාරයකදී අපේ ක්‍රීඩකයෙක් කැසිනෝ ක්ලබ් එකකට රිංගා ගුටි කෙළියකට මැදි වී, ඔස්ටේ්‍රලියාවේ මිනිසුන්ගේ ගුණයහපත්කම නිසාම මැරුම් නොකා කැසිනෝවෙන් පිටවිය. මේ රටේ බහුතර ජනතාව නොදන්නවාට ක්‍රිකට් ක්‍රීඩකයෝ සුවිශාල ලෙස මුදල් හම්බ කරති. නිකම්ම නිකං පඟරුන් ලෙස මුල් වතාවට පිට්ටනියට එන ක්‍රිකට් ක්‍රීඩකයන් ටෙස්ට් මැච් දෙකක ඇවෑමෙන් පෝෂා රියවල ගමන් කරමින් ෆයිව්ස්ටාර් හෝටල්වල කෑම කමින්, ගෑනුන් පිරිවරාගෙන දීන ජීවිත ගතකරති. ඒ අතර අපට වඩාත් සතුටුදායක ආරංචියක් ලැබී තිබේ. එනම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැරීමට යන බව ය. මෙයට ප්‍රමුඛ හේතුව වී ඇත්තේ පසුගියදා ඔස්ටේ්‍රලියාවේ පැවති 20 – 20 ලෝක කුසලාන තරගාවලියේදී අපේ කණ්ඩායම භෞතික සහ චර්යාත්මක වශයෙන් නා ගැනීම පිළිබඳ විස්තර ය. මේ තරගාවලියේදී එය නැරඹීම සඳහා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් 16 දෙනෙක් එම ආයතනයේ වියදමින් ඔස්ටේ්‍රලියාවට ගියහ. මේ පිරිස වෙනුවෙන් රුපියල් කෝටි 6 1/2 වියදම් වී තිබේ. මෙබඳු හැතිකරයක් සිටින ක්‍රිකට් ආයතනයකින් රටකට වැඩක් නැත. ශ්‍රී ලංකාව යනු ක්‍රිකට් ක්‍රීඩාව පැත්තෙන් උසස් අනාගතයක් තිබූ රටකි. රටේ අනාගතය අල වුණාට ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට එම අලවීමේ සම්බන්ධයක් නැත. මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් අර්ජුන රණතුංග තුළ දැඩි විවේචනයක් තිබේ. මීළග ක්‍රිකට් ආයතනය පිහිටුවීමේදී එම විවේචනය සැලකිල්ලට ගැනීම සියලුදෙනාගේ යුතුකමය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේදී නිතරම එන්නේ දෙවැනි තුන්වැනි තැනට හෝ නෝ චාන්ස් තත්ත්වයකට ය. රූප රාජිණි තරග වැනි අඩුම ලන්සුවේ මෝඩ තරගයකින් පටන් ගත්තද අපේ අයට ජයග්‍රහණ ලබා ගැනීමට හැකිව නැත. සුසන්තිකා ජයසිංහ හෝ ඩන්කන් වයිට් නොසිටින්නට ඔලිම්පික් ජයග්‍රහණ ගැන අපට හිතන්නටවත් නොහැක. හැබැයි ඔලිම්පික් තරගයකට අපේ කණ්ඩායමක් සහභාගි වන විට ස්ටේඩියම් එකෙන් භාගයකට ප්‍රමාණවත් තරම් ක්‍රීඩා නිලධාරීන් පිරිසක් ඒ කණ්ඩායම සමඟ ආණ්ඩුවේ වියදමින් පිටරට යති. ලංකාව බුද්ධිමතුන්ගේ රාජ්‍යයක් බවට හෝ දක්‍ෂයන්ගේ රාජ්‍යයක් බවට පත්වීමට අවශ්‍ය සුදුසුකම් නොසපුරන්නේ මන්ද යන්න අපට නොතේරේ. ක්‍රිකට් ආයතනය විසුරුවා හැරීම එය උලාගෙන කන ආගමික කල්ලිවලටත් බුකී කාරයන්ටත් කදිම පාඩමක් වෙනවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment