කාණුවෙන් මතු වූ අනවසර මාරයා

773

කුරුණෑගල මලියදේව ආදර්ශ පාසලේ උගත් 14 හැවිරිදි සජිත ගිහාන් ගුණරත්න සිය ජීවිතයේ අවසන් වරට පාසල් යන්නේ පෙරේදා ය. එදා මුළු ලංකාවටම ධාරානිපාත වැසි වට දවසකි. කුරුණෑගල මහ පාරවල් වැසි ජලයෙන් දෙගොඩතලා යමින් තිබිණ. පාසල නිම වී දවල් 2.00 ට ගෙදර යමින් සිටි සජිත පාසල් වෑන් රථයක් එනු දැක පාරේ අයිනටම වී යාබද කාණු ගැට්ටට නැඟ ගත්තේ ය. එකෙනෙහිම ඔහු පය ලිස්සා කාණුවට ඇද වැටුණි. කාණුව දිගේ ගලාගෙන ගිය ජල කඳ මහා සැඩපහරක් හා සම වූ අතර එයට හසු වූ සජිත සෑහෙන දුරක් ජලයේ ගසාගෙන ගොස් කාණු කටේ හිරවිය. අන්තිමට මේ කුඩා පාසල් සිසුවා කාණු කටෙන් ඉවතට ගැනීමට සිදු වූයේ බැකෝ යන්ත්‍රයක් ගෙනැවිත් කාණු කට කඩා විවර කිරීමෙන් පසුවය. මේ සඳහා සෑහෙන කාලයක් ගත වූ අතර ජලයෙන් ගොඩට ගන්නා විට දරුවා මරණාසන්නව සිටියේය. රෝහලට ගෙන ගිය පසු කුඩා සජිත මළේය. නව යෞවන වියේ මුල හරියේ සිටි මේ චූටි මල් කැකුළ තරුණ වියක් හෝ ජීවිතයේ ඉදිරියක් නොදැක මේ ලෝකයෙන් සමු ගන්නේ එලෙසය. සජිතගේ මරණයෙන් මුළු කුරුණෑගලම කඳුළක් බවට පත් වී තිබේ. වැසි ජලයෙන් පිරුණු කාණුවකට දරුවකු වැටී මිය යෑම අභව්‍ය සිද්ධියක් විය හැකිය. සාමාන්‍යයෙන් ගංගාවලට වැටී හෝ රිය අනතුරුවලින් දරුවෝ මියයති. වැසි ජලයෙන් පිරුණු කාණුවේ වගකීම හිමි වන්නේ කාටද? එහි වගකීම කුරුණෑගල මහ නගර සභාව විසින් භාරගන්නවා ද? නො එසේ නම් එම වගකීම භාරගත යුත්තේ සජිත ඇතුළු අප සියලුදෙනාගේම කර්ම ශක්තිය විසින් ද?

ශ්‍රී ලංකාවේ දරුවන් 600 ක් පමණ අවුරුදු පතා හදිසි අනතුරුවලින් මියයති. දවසේ සෑම විනාඩි 2 කට වරක් කවර හෝ අනතුරකින් තුවාල ලැබූ දරුවකු රෝහලට ඇතුළු කරනු ලැබේ. මේ අනුව හදිසි අනතුරුවලින් අවුරුද්දකට රෝහල්ගත කරන දරුවන් ගණන දෙලක්‍ෂ හැත්තෑදහසකි. ශ්‍රී ලංකාවේ ළමා මරණවලට සිවුවන හේතුව වන්නේ හදිසි අනතුරු ය. කුඩා ළමයින් බහුල ලෙස වාහනවල හැපෙති. නැතහොත් ළිංවලට වැටෙති. ඇතැම් ළදරුවෝ නාන බේසමට හෝ වතුර බාල්දියට වැටී මියගිය අවස්ථා ඕනෑතරම් තිබේ. දරුවන් වැඩි දෙනා රථවලට යටවන්නේ මහ පාර පනින්නට යෑමේදී ය. සමහර විට මේ දරුවන් පාර පනින්නේ තනිවය. තවත් විටෙක මාපියන් සමඟ ය. ඇතැම් ප්‍රයිවට් බස්කාරයෝ පාරේ ගමන් කරන මවත් දරුවාත් යන දෙදෙනාම යටකරගෙන ටාගට් බලා යති. ඔවුන් බස් ධාවනය කරන්නේ මුදල් ටාගට් කරගෙන ය. ඔවුන්ගේ ටාගට් එක සම්පූර්ණ වෙද්දී මාරයා ද දරුවන් බිල්ලට ගෙන සිය ටාගට් එක සම්පූර්ණ කරගනී. ශ්‍රී ලංකාවේ පාරවල දිවෙන වාහන සංඛ්‍යාව එන්න එන්නම ඉහළ යමින් පවතී. පාසලක් ඇරෙන වෙලාවට කූඹි ගුලකින් ඇවිස්සුනු කූඹින් මෙන් කුඩා දූ දරුවෝ දහස් ගණනින් මහ පාරවල එහෙ මෙහෙ දුවනු දැකබලා ගත හැකිය. පාරට බසින ළමයාට මාර්ග විනය ගැන කල්පනාවක් නොඑයි. එයට හේතුව ඒ කුඩා දරුවන් වීමය. කුඩා ළමයා කල්පනා කරන්නේ ඒ වෙලාවේ ඇසට පේන දේ ගැනත් ක්‍ෂණිකව භුක්ති විඳිය හැකි විනෝදයක් ගැන පමණි. ඒ නිසා දරුවන් ගැන කල්පනාකාරී විය යුත්තේ වැඩිහිටියන් ය. පාසල ඇරෙන වෙලාවට වාහන එළවන සියලුම රියැදුරන් සිය අවිනීත ගොන්කම් පැත්තකට විසිකර කුඩා දරුවන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා විනීත ලෙස රිය හැසිරවිය යුතුය.

ශ්‍රී ලංකාවේ මහපාරවල තත්ත්වය මීට කලකට පෙර පැවති තත්ත්වයට වඩා බෙහෙවින් හොඳ බව අපි පිළිගනිමු. එහෙත් හදිසි වැසි අවස්ථාවලට මුහුණදීම සඳහා සුදුසු කාණු පද්ධති අපේ මහපාරවල අදටත් නැත. හරියාකාරව වැහි දෙකක් වැස්සොත් ලංකාවේ මහ පාරවල් ක්‍ෂණිකව ඔරු පාරු ගමන් කළ හැකි ගංගාවල් බවට පත් වේ. මේ ජල කාණු නිසි ලෙස කොන්ක්‍රීට් ලෑලි යොදා වසා නොතිබීමෙන් විවිධ අනතුරු හට ගනී. එසේම මෑන්හෝල්වල චීනච්චට්ටි කවරය කුඩුකාරයන් විසින් ගලවා ගෙන යෑමෙන් ද භයානක අනතුරු සිදු වේ. මෑන්හෝල් එකක් අඩි 6 පමණ ගැඹුරුය. එය මහපාර යටින් දිවෙන කාණු පද්ධතියට සම්බන්ධ වේ. අධික වැසි අවස්ථාවලදී මේ මෑන්හෝල් සම්පූර්ණයෙන් පිරී ඉතිරී යන අතර පාරේ තිබෙන ජලයද සමග එක් වී වෙන්කර හඳුනාගැනීමට නොහැකි තරමට අවුල් වේ. අධික වැසි අවස්ථාවකදී මෙවැනි විවරයක් මත පා තබන්නෙකුට ස්ථිර වශයෙන් ම මරණය හිමිවන්නේ ය. අඩි 6 ගැඹුරු මෑන්හෝල් එක තුළට වැටෙන හෙතෙම මෑන්හෝල් එකට සම්බන්ධ කාණු පද්ධතියෙහි හිරවන්නේ ය. මෙය කුඩා දරුවකුට සිදුවුවහොත් ඒ දරුවා භූගත ජල අපවහන පද්ධතිය දිගේ ගසාගෙන යයි. කුඩුකාරයා මෑන්හෝල් පියන සොරකම් කර විකුණන මුදලින් කුඩු මිලට ගෙන ආතල් ගන්නා අවස්ථාවේදී ම ඇතිවන වර්ෂාවකින් මෙවැනි විපතක් සිදුවිය හැකිය. මහ පාර යනු මාරයෙක් නොවේ. මහපාර යනු ශිෂ්ටාචාරය විසින් සාදන ලද්දකි. ඒ දිගේ ගමන් කර ශිෂ්ටාචාරයේ කෙළවරටම යා හැකිය. අද වන විට සියලු මහපාරවල් මර උගුල් බවට පත්ව තිබේ.

කුරුණෑගල නගරයේ අනවසර ඉදිකිරීම් විශාල වශයෙන් ඇත. අප කුරුණෑගල යැයි කීවාට ලංකාවේ සෑම ප්‍රධාන ජනාකීර්ණ නගරයකම තත්ත්වය මෙය ය. නගර සභාව කොපමණ විරුද්ධ වුවත් අනවසර ඉදිකිරීම් සඳහා සිය පාක්‍ෂිකයන්ට අවසර ලබා දීමට දේශපාලනඥයන්ට පුළුවන. ඊට පසු කාණුවක් අයිනේ හෝ කාණුවක් මතින් යොදන අනවසර කොන්ක්‍රීට් ලෑල්ලක් මත ගොඩනැඟිලි ඉදිවන්නට පටන් ගනී. ඇතැම් නගරවල තට්ටු 3 ක් උස අනවසර ඉදිකිරීම් ද ඇත. මෙවැනි ඉදිකිරීම් හේතුවෙන් මහ පාර ද ජලාපවහනය ද නිරන්තරයෙන් බාධාවන්ට ලක් වේ. කුරුණෑගල දරුවාට මරු කැඳවීමේ සිද්ධිය පිටුපස අනවසර ඉදිකිරීමක් තිබෙන බව දැන ගැනීමට ඇත. අපට තිබෙන අත්දැකීමට අනුව මාරයා විසින් ප්‍රියකරනු ලබන බොහෝ දේවල් අතර අනවසර ඉදිකිරීම් ද තිබේ. මෙවැනි අනවසර ඉදිකිරීම්වලට එරෙහිව කිසිම දෙයක් කරන්නට නිලධාරීන්ට බැරිය. එයට හේතුව දේශපාලනඥයන් විසින් නිලධාරීන් යටපත් කර ගෙන සිටීමය. කෙසේ වුවද කුරුණෑගල දරුවාගේ ඛේදජනක මරණයට සම්බන්ධ අනවසර ඉදිකිරීම්කරුවන් හෝ නගර සභාවේ කට්ටිය හෝ වෙනත් පාර්ශ්ව වෙතොත් ඔවුන් අල්ලා නිසි දඬුවම් ලබාදීම ආණ්ඩුවේ වගකීමය. වර්ෂාව බැස යෑමත් සමගම කුරුණෑගල ඛේදවාචකයට බැස යෑමට ඉඩ නොදෙන්නැයි අපි රජයෙන් ඉල්ලමු.

advertistmentadvertistment
advertistmentadvertistment