රැකියා අහිමි උගතුන්ගේ වේදනාව

551

(ප්‍රාණ ඇපය)

සමස්ත ලංකා ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ සාමාජිකයන් පිරිසක් විසින් උතුරු මැද ආණ්ඩුකාර මහීපාල හේරත් ඇතුළු නිලධාරීන් ගොඩනැඟිල්ලක් තුළ සිරකරගෙන උද්ඝෝෂණය කිරීමේ පුවතක් පසුගිය දිනවල අපි කියවූවෙමු; දුටුවෙමු. දුක් මහන්සියෙන් ඉගෙන ගෙන තවමත් රැකියා නැතිව දුක්විඳින උගතුන් බැරිම තැන පත්ව තිබෙන ඛේදජනක තත්ත්වයේ එක් පැතිකඩකි ඒ. පාලකයන්ට එම ගැටලුව දෙස යළිත් සිතන්නට, ඔළුවක් පාදාදීමට ඔවුන්ගේ ඇතැමෙක් තම සිඟිති දරුවන් ද කරපින්නාගෙන හඬ නැගූහ. අත්අඩංගුවට පත්ව ඇප මත එළියට ද ගියහ.

එසේම රැකියා විරහිත උපාධිධාරීන්ට සුදුසු රැකියා ලබාදීම ආණ්ඩුවේ වගකීම වේ. මහීපාල හේරත් සිටි තැන වැටලීමට එදා එහි පැමිණි පිරිස ඉතා දුෂ්කර පළාත්වලින් පැමිණි අය වෙති. දැනට ඇති සංඛ්‍යාලේඛනවලට අනුව ලංකාවේ සිටින රැකියා විරහිත උපාධිධාරීන් සංඛ්‍යාව 35,000කි. උතුරු මැද පළාතේ රැකියා පුරප්පාඩු 4500ක් පමණ තිබෙන බව රැකියා විරහිත උපාධිධාරීහු කියති. මෙතැන කිසියම් තාක්‍ෂණික ගැටලුවක් තිබේ. එය වූකලී රැකියා පුරප්පාඩුවලට සේවකයන් බඳවාගෙන වැටුප් ගෙවීමේ හැකියාවක් ආණ්ඩුවලට නොතිබීමය. උපාධිධාරීන්ට කම්කරු ශ්‍රේණියේ තනතුරු ලබාදිය නොහැක. එතැනින් අලුත් අර්බුදයක් හටගනී. මේ කවර තත්ත්වයක් මතු වුවද උපාධිධාරීන්ට රැකියා ලබාදිය යුතු බව අපි ආණ්ඩුවට මතක් කර දෙමු.

අප ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ලක්කිරීමට අදහස් කළේ රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප්‍රශ්න නොවේ. ලංකාවේ පමණක් නොව ජර්මනියේ සහ ප්‍රංශයේද මෙම ප්‍රශ්න මෙසේම පවතී. අද අප කතා කරන්නේ සිය දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට තබාගෙන තම ඉල්ලීම් ඉටුනොවේ නම් අත්බෝම්බයක් පුපුරවා ගෙන ඔවුන් සමග එකට මැරෙන බවට තර්ජනය කරමින් මාරාන්තික නාඩගමක් නැටූ හංවැල්ලේ ජල්තර පදිංචි ඡායාරූප ශිල්පියකු ගැනය. මෙය මහීපාල හේරත් ප්‍රාණ ඇපයට ගත්තාට වඩා දරුණු තත්ත්වයකි. පවුල් ආරවුලක් නිසා මේ ඡායාරූප ශිල්පියා සිය බිරිඳට බෝම්බ ගසන්නට තැත් කළේය. එහෙත් බිරිඳ පන ගලවාගෙන පැන ගියාය. ඉන්පසු සිය නව හැවිරිදි දියණියත්, අවුරුදු එකහමාරක පුත්‍රයාත් පියා විසින් ප්‍රාණ ඇපයට ගන්නා ලදී. බෝම්බ නිෂ්ක්‍රීය අංශය එතැනට එනවිට ඔහු අත්බෝම්බයේ ආරක්‍ෂිත පින් එක ගලවා තිබිණ. ආරක්‍ෂිත පින් එක ගලවා විසිකරන බෝම්බය එසැණින් පුපුරයි. සිය පියාගේ තර්ජනාත්මක ක්‍රියාව නිසා වැඩිමහලු දියණිය කලබලයට පත්වූ බවත් පියා විසින් ඇයට කිසියම් බෙහෙතක් එන්නත් කළ බවත් දැන ගැනීමට තිබේ. සමහර විට එය නිද්‍රාජනක ඖෂධයක් විය හැකිය. මෙවැනි කුඩා දරුවන්ට එන්නතක් දීමට බලය ඇත්තේ වෛද්‍යවරයකුට, හෙදියකට හෝ එන්නත් පිළිබඳ පළපුරුද්දක් ඇති වෛද්‍ය සහායකයකුට පමණි.

සිය බිරිඳ සමග ඇති ප්‍රශ්නයක් නිසා කුඩා දරුවන් දෙදෙනකු තුරුළු කරගෙන පියකු බෝම්බයක් පුපුරවා ගත යුතුද? මේ සිද්ධියේ සැකකරු නොම්බර එකේ මෝඩ මීහරකෙකි. මෙවැනි මීහරකුන් තනිව මිය යායුතු අතර උන්ගේ සම් සපත්තු සෑදීමටවත් සුදුසු නොවන බව අපගේ වැටහීම වේ. මොහු තොරතුරු තාක්‍ෂණය සම්බන්ධයෙන් ඉහළ දැනුමක් තිබූ අයෙකි. මෙවැනි අයගේ ඉහළ දැනුම බලු වලිගයක ගැටගැසීමටවත් සුදුසු නැත. මේ කාරණයේදී විශිෂ්ට ලෙස ක්‍රියාකළ අපරාධකරු අත්අඩංගුවට ගත් පොලිස් විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ ප්‍රධානියා වන පොලිස් අධිකාරි දිමුත් සමරනායකට අප ස්තුතිවන්ත විය යුතුය. යම් හෙයකින් පෙර කී මීහරකා බෝම්බය පුපුරවා ගත්තේ නම් කුඩා දරුවන් දෙදෙනාගේ කැබලි කාඩ්බෝඩ් පෙට්ටියකට එකතු කර ගැනීමට අපට සිදුවේ. කැළුම් නමැති සැකකරු සිය දරුවන් ද මරා තමාද මැරෙන තැනට තල්ලු කරන ලද්දේ පවුල් ආරවුල නිසා හටගත් ආතතිය විසින් බව කිසිවෙක් තර්ක කරනවා ඇත. ආතති එකක් නොව සියයක් තිබුණ ද ඒවාට දරුවන්ගේ සම්බන්ධයක් නැත. ඒ නිසා මේ විත්තිකරුට විරුද්ධව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව අපගේ වැටහීම වේ. නැතහොත් මෙවැනි මීහරක් වැඩ පුරුද්දට යනවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment