කවුරුන් කුමක් කීවත් භූමියේ ශක්තිමත්ම දේශපාලන පක්‍ෂය පොහොට්ටුවයි – රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර

36

කවුරුන් කුමක් කීවත් භූමියේ ශක්තිමත්ම දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවත් අවශ්‍ය වෙලාවේ දී එම ශක්තිය පෙන්වන බවත් රාජ්‍ය අමත්‍ය ශාන්ත බණ්ඩාර මහතා ඊයේ (14 දා) ශී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.

එහිදි රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා මෙසේද පැවසීය.

අපිට පසුගිය කාලයේදී දැවැන්ත ආර්ථික අර්බුදයකට යන්න සිදුවුණා. ඒ ආර්ථික අර්බුදයට යන්න ප්‍රධානම හේතුව වුනේ ලෝක වසංගතයක් වෙච්ච කොවිඩ් වෛරසය කියලා මා විශේෂයෙන්ම විශ්වාස කරන්නේ. ඒ අවස්ථාවේ ජනතාවට විශාල පීඩනයක් ආවා. ඒ පීඩනයෙන් මුදවා ගැනීම සඳහා රජයට විශාල කැපකිරීමක් කරන්න වුණා. ලෝකයේ බොහෝ රටවල් වැහුවේ නැහැ. නමුත් අපේ රට මාස තුනහමාරක් වහන්න සිදුවුණා. ඒ වගේම ඒ අවස්ථාවේ එන්නත් ගෙනල්ලා ජනතාවට දෙන්න වුණා. ඒ වුණාට රජය විදිහට වගකීම් කිසිම දෙයක් පැහැර හැරියේ නැහැ. සියලුම රාජ්‍ය සේවකයන්ට වැටුප්දීම නැවැත්තුවේ නැහැ. ඒ වගේම කොවිඩ් රෝගය වැළඳුනු පවුල්වලට වියළි ආහාර ද්‍රව්‍ය ලබාදුන්නා. ඒ වගේම රුපියල් පන්දහස බැගින් ගෙයින් ගෙට ගිහිල්ලා ඒ අවස්ථාවේ ලබාදීලා ජනතාව බේරගත්තා. ලෝකයේ රටවල්වල ලක්ෂ ගණන් මිනිස්සු මැරෙද්දි අපේ රටේ ජනතාව මැරුනේ දාසය දාහයි.

මේ ආකාරයට අපිට කළමනාකරණය ගන්න හැකිවුණේ රජය සහ අපේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු කළ නිසා. ඒ නිසා අපිට තීන්දුවක් ගන්න සිදුවුණා ඒ අවස්ථාවේ ජනතාව ජිවිත බේරාගැනීමයි සිදුකළ යුත්තේ කියලා. ලෝකයේ බොහෝ රටවල් එසේ සිදු කළේ නැහැ. මිනිස්සු මැරෙන්න දුන්නා. අපි ජනතාවගේ ජීවිත බේරගත්තා දෙවෙනි වතාවටත්. අවුරුදු 30 ක් තිස්සේ තිබුණු බෙදුම්වාදි ත්‍රස්තවාදය පරාජයට පත්කරලා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් අපේ රටේ ජනතාවට අභය දානය දුන්නා වගේම අපි පොදුජන පෙරමුණ හැටියට අපේ ආණ්ඩුව විසින් දෙවැනි වතාවටත් ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගන්න උපරිම කැපවීමෙන් කටයුතු කළා.

පුංචි ආර්ථිකයක් තිබුණු රට වැටුණා. ඒ වගේම දේශපාලන අරගල පටන් ගත්තා. ඒ දේශපාලන අරගල ආපු අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිහතමානීව සහ වගකීම් සහගත තීන්දුවක් ගත්තා. ඒ නිසා තමයි මේ රට ලේ විලක් වුණේ නැත්තේ. සමහර පිරිස් කියනවා අපි පැනලා ගියා, තනතුරුවලින් අස්වුණා කියලා. නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට නිහතමානී සහ වගකීම් සහගත තීන්දුවක් ගත්තේ රටේ ජනතාව වෙනුවෙන් කල්පනා කරලා. ඒ නිසා ඒ තීන්දුවත් එක්ක දේශපාලන වශයෙන් විවිධ තීන්දු තීරණවලට ගියා. අපි ජනාධිපතිවරයෙක් පත්කරගත්තා. ඒ ජනාධිපතිතුමා පත්කරගෙනත් ජනාධිපතිතුමාට සහයෝගය දුන්නේ මේ රටේ ජනතාවත් සහ රටේ ආර්ථිකයත් ශක්තිමත් කරන්න අවශ්‍ය කටයුතු කරන්න. ඒ වැටුණු ආර්ථිකය ශක්තිමත් කිරීම සහ රටේ ජනතාවට ඇතිවුණු තත්වයනුත් හරියාකාරව අවබෝධ කරගෙන අලුත් ජනාධිපතිවරයෙක් පත් කරගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපි පූර්ණ සහයෝගය ලබාදුන්න නිසා අද රට යහපත් තැනකට ගේන්න හැකියාව ලැබිලා තිබෙනවා. ඒ නිසා ඉදිරිකාලයේදී මේ රටත්, ජනතාවත් වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැම අවස්ථාවකම අපි ඒ වෙනුවෙන් හිටගන්නවා. ඒ වෙනුවෙන් කටයුතු කරනවා.

කවුරු මොනවා කිව්වත් අද බිම් මට්ටමේ වැඩිම ජනතාවගේ සහභාගීත්වයක් තිබෙන සහ සමාජිකත්වය දරණ දැවැන්ත හයියක් තිබෙන ප්‍රධානම දේශපාලන පක්ෂය තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. අද රට බේරගත් නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේ පක්ෂයට නායකත්වය දෙනවා. ඒ වගේම බැසිල් රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙහෙයවමින් බිම් මට්ටමේ යාන්ත්‍රණය ඉදිරියට අරගෙන යනවා. විධිමත් සංවිධාන ජාලයක් තිබෙන අතර ඒ සංවිධාන ජාලය ක්‍රමානුකූලව බිම් මට්ටමේ නැවත සංවිධානය කරමින් සිටිනවා. අවශ්‍ය වෙලාවට අපේ පක්ෂයේ ශක්තිය පෙන්වන්න පුළුවන්කම තිබෙනවා.

එරික් ගාමිණී ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment