හරක් කටා සහ මී හරක් කටා

2144

මැක්සිකෝවේ පොලිස් දෙපාර්තමේන්තුව තුළ තිබෙන තනතුරු ධුරාවලිය අපට වඩා වෙනස්ය. එහි පොලිස් කමාන්ඩර් නමැති තනතුරක් තිබේ. මෙය ලංකාවේ චීෆ් ඉන්ස්පෙක්ටර් වරයකු හා සමාන තනතුරකි. 2019 අවුරුද්දේ මැක්සිකන් පොලිසිය තුළ Reyes Arzate නමැති පොලිස් කමාන්ඩර් වරයකු සිටියේය. හදිසියේම ඔහු අත්අඩංගුවට ගන්නා ලදී. එයට හේතුව මැක්සිකෝවේ මත්ද්‍රව්‍යය කල්ලි සම්බන්ධීකරණය කිරීමත් මත්ද්‍රව්‍යය වැටලීම් සඳහා එන පොලිසිය ගැන ඔත්තු සැපයීමත් ඔහු කළ නිසාය. මේ සඳහා බර ගණනක් මෙතුමාට ගෙවනු ලැබ තිබිණ. මේ කියන පොලිස් කමාන්ඩර් මහතා මතට කරන සේවය වෙනුවෙන් ගෙවීම් ලබාගත්තේ Ell Seguimiento නමැති තඩි කුඩුකාරයාගෙනි. මේ කුඩ්ඩා ලෝකයේ තිබෙන විශාලතම කොකේන් නිෂ්පාදන කල්ලියක් වන සිනාලොවා කාටලයේ සම්බන්ධීකරණ නිලධාරියාය. ඉන්දියාව විසින් බිහිකරන ලද ලොකුම මත්ද්‍රව්‍යය ජාවාරම්කරුවා වූකලී ඩාවුඩ් ඊබ්‍රාහිම් ය. ඔහු කවදාවත් නිදැල්ලේ එළියට ගිය මිනිහකු නොවේ. චෝටාරාජන්, අලි බුදේශ්, අරුන් ගව්ලි ඇතුළු ඉන්දියාවේ බලගතුම පාතාලකාරයෝ ඔහු එළියට බහින තුරු බලා සිටියේ ඔහු මැරීමටය. එහෙත් කවදාවත් ඔහු මැරීමට නොහැකි විය. මුම්බායි පොලිසියේ රාළහාමිලා පිරිසක් සහ ඉන්ස්පෙක්ටර් මහතෙක් ඩාවුඩ් ඊබ්‍රාහිම්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ලෙස වද විය. ඒ සඳහා මේ නිලධාරීන්ට මුදල්, වාහන සහ ගෙවල් ඩාවුඩ් ඊබ්‍රාහිම් විසින් සපයන ලදී. ඩාවුඩ් ඊබ්‍රාහිම් ට අදට වයස අවුරුදු 67 කි. ඔහුගේ දියණිය විවාහ වුණේ සුප්‍රකට ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ජවෙඩ් මියෙන්ඩාඩ් ගේ පුතා සමගය. මෙහිදී මනාලියගේ සිරුරේ බරට රත්තරන් ඩාවුඩ් ඊබ්‍රාහිම් විසින් දෙන ලදී. එහෙත් ඔහු මඟුල් ගෙදර ආවේ නැත. මේ මඟුල් ගෙදර පරෙස්සම් කිරීමට දහසකට වැඩි සන්නද්ධ පාතාල කාරයන් පිරිසක්ද එයින් භාගයක් පමණ වූ පොලිස් හමුදාවක්ද මඟුල් ගෙදර පැවති තැන වටා රැක සිටියහ.

මිදිගම නඳුන් චින්තක හෙවත් හරක් කටා නමැති කුඩු මුදලාලි සහ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර සම්බන්ධයක් තිබූ බවට සැකයක් පවතී. මේ ආයතනයේ ඇතැම් නිලධාරීන් හරක් කටාට ගෙදරින් කෑම පිසගෙන විත් දුන් බව දැනගැනීමට තිබේ. මෙය මනුස්සකමට බත් පැකට් ඇදිල්ලක් නොව තනිකරම සල්ලි සඳහා කරන සේවයකි. මේ රටේ කූඩුවල සිටි ඇතැම් කුඩු මුදලාලිලා විසින් තමන්ට උදව් කළ අයට ගෙවල් පවා සාදා දී ඇතැයි කියනු ලැබේ. කෙනකුට වාසස්ථානයක් සාදාදීම ඉතාම යහපත් ක්‍රියාවකි. එම සත් ක්‍රියාව කළේ හරක් කටාද එහෙමත් නැත්නම් මීහරක් කටාද යන ප්‍රශ්නයෙන් වැඩක් නැත. එහෙත් එම කර්තව්‍යය සඳහා කවර හෝ කටකු වියදම් කරන්නේ නම් කුඩු සල්ලි නම් එතැන ලොකු අර්බුදයක් තිබේ. කුඩු සල්ලි එන්නේ ඒවාට ඇබ්බැහි වූ දුප්පත් තරුණ පරම්පරාවෙනි. කුඩුවලට පුරුදු වූ එකා තම ගෙදර තිබෙන ගෑස් ළිප, ගෑස් සිලින්ඩරය පමණක් නොව අල්ලපු ගෙදර තිබෙන ඇළුමිනියම් ඉනිමග පවා ගෙනගොස් විකුණයි. මේවා මේ රටේ පහළ මධ්‍යම පන්තියට අයත් සල්ලිය. පහළ මධ්‍යම පන්තියේ මිනිහා මුදලක් හොයාගන්නේ බොහෝ අමාරුවෙනි. මේ රටේ කම්කරු පන්තිය දිනකට රුපියල් තුන් හාරදාහක් ඉපැයුවද ආර්ථික කළමනාකරණයක් නැතිකමින් එම සල්ලි වලින් වැඩි කොටස අරක්කු සහ ‘රයිස්’ වෙනුවෙන් වැය කෙරේ. (රයිස් යනුවෙන් හඳුන්වන්නේ සහල් හෝ බත්ය. එහෙත් අපේ රටේ සාමාන්‍ය ජනයා අද රයිස් යනුවෙන් හඳුන්වන්නේ ෆ්‍රයිඩ් රයිස් ය) පහළ මධ්‍යම පන්තියේ ආදායම ඉතා ඉක්මනින් කුඩු මුදලාලිලා විසින් ගිලගනු ලැබේ. අරක්කු බොන කම්කරුවා වැඩ ඉවරකොට ගෙදර විත් ඇඟ පත හෝදාගෙන අරක්කු කාලක් බී නිදාගනී. කුඩ්ඩා එසේ නොවන අතර දවසේ පැය 24 ම කුඩු ගහයි. අරක්කු කාලක් රුපියල් 800 කි. කුඩු පැකට් එකක් රුපියල් දහසකි. මෙවැනි කුඩු පැකට් දහයක් පමණ කුඩ්ඩාට දෛනිකව අවශ්‍යය. ඒ දහදාහෙන් වැඩි කොටසක් දුප්පත් මිනිසුන්ගෙන්ම සොරාගත් සල්ලි ය. මේ මුදල් කුඩු මුදලාලිලා අතට ගිය විට ඇතැම් පොලිස් නිලධාරීන්ටත් දේශපාලනඥයන්ටත් බෙදාහරිනු ලැබේ.

අපරාධකරුවන් සහ නීතිය ආරක්ෂා කරන නිලධාරීන් අතර හැමදාමත් සම්බන්ධකම් තිබේ. නීතිය ආරක්ෂා කරන නිලධාරීන් වැඩිදෙනාද පහළ මධ්‍යම පන්තියට අයත් අය ය. ඒ නිසා ඔවුන්ට මුදලේ අවශ්‍යතාව සැරටම තිබේ. CID ය ඇතුළේ හෝ පොලිස් ස්ථානයක් ඇතුළේ රඳවාගෙන සිටින කුඩු මුදලාලි කෙනකු පැය 24 ක් තුළ සල්ලි වීසි කරන්නට පටන් ගනී. දවස් දෙකක් ගතවන විට මුළු පොලිසියේම දෛනික ආහාර ප්‍රශ්නය සහ අරක්කු ප්‍රශ්න විසඳීමට කුඩු මුදලාලිට පුළුවන.

CID ය යනු ඉතාම Sensitive තැනකි. මෙතැන වැඩ කරන නිලධාරීහු ආර්ථික අමාරුකම් වලින් පෙළී ඉතාම දුක් සහගත ජීවිත ගතකරති. ඒ බව ඉවෙන් දැනගන්නා හරක් කටා, මී හරක් කටා, ඌරු කටා, බූරු කටා වැනි කුඩු රජවරු මුදල් බෙදීමේ දන්සලක් දමයි. මේ දන්සල ස්වල්ප කලක් යනවිට බෙහෙවින් පුළුල් ව්‍යාපෘතියක් බවට පත්වන අතර දුප්පත් පොලිස් රාළහාමිලාගේ ප්‍රශ්න විසඳන මට්ටමකට පත්වෙයි. ඒ අනුව CID යේ කට්ටිය හරක් කටා ට ගෙදරින් කෑම උයාගෙන පැමිණීම ඉතා පොඩි දෙයකි. අප පුදුම විය යුත්තේ හරක් කටා ඒ නිලධාරීන්ගේ ගෙවල්වල කෑමට නොයෑම පමණි.

advertistmentadvertistment
advertistmentadvertistment