දේශපාලන වාසනාව

978

ශ‍්‍රී ලංකාවේ තෙල් මිල තවදුරටත් ඉහළ යෑමටත් එබැවින් තෙල් ගන්නට මුදල් නැති වී ලයිට් කපන කාලය තවදුරටත් දීර්ඝ කිරීමටත් බලපෑ හැකි අලූත්ම සිද්ධිය වන්නේ යුක්රේන් යුද්ධයයි. යුක්රේනයේ තවමත් හරියාකාර යුද්ධයක් නැත. එහෙත් ඒ යුද්ධය කවර මොහොතක හෝ හටගනිතැයි; වෙතැයි සිතනවාට වඩා දැනටමත් තිබෙන බව සිතා කටයුතු කිරීමට යුරෝපයේ රටවල් වැඩි ප‍්‍රමාණයක් කැමැති ය. යුක්රේන් යුද්ධය නිසා බොරතෙල් මිල ඉහළ යතැයි දැන ගන්නට තිබේ. සාමාන්‍යයෙන් යුරෝපයේ රටවල් දෙකක් එකිනෙකා සමග බැණ ගත්තත් බොරතෙල් මිල ඉහළ යෑම සිරිතකි. ධනවාදී ආර්ථිකයේ වැඩිම සංවේදීතාව දක්වන ආර්ථික දර්ශකයක් වන්නේ කොටස් මිල දර්ශකය ය. යුරෝපීය රටවල බොරතෙල් මිල ඊට වඩා සංවේදී ය. වැස්සක් ළඟ එන විට සැටලයිට් ටීවීවල සිග්නල් යෑමෙන් වැඩසටහන් විකාශය වීම කඩාකප්පල් වේ. එවිට වැස්සක් ළඟ එන බව පේ‍්‍රක්‍ෂකයෝ දනිති. ඒ අනුව යුද්ධය කෙතරම් කාලයකින් හට ගනීද යන්න බොරතෙල් මිලෙන් වටහා ගත හැකිය. සමහර විට බොර තෙල් මිල හුඟක්ම ඉහළ නම් යුද්ධය අද ? හෝ හෙට උදේ පටන් ගන්නවා ඇත. බොරතෙල් මිලට ගැනීමට නැත්තටම නැත්නම් යුද්ධය පටන්ගෙන ය. යුක්රේනය යුද්ධයකට පොළඹවා ගැනීමටත්, එරට ආක‍්‍රමණය කිරීමටත් රුසියානු ජනාධිපති ව්ලදීමීර් පුතින් කුමන්ත‍්‍රණය කරන බව ඇමරිකාවේ මතය වේ. ඇමරිකාව මේ මතයට මහත් සේ පේ‍්‍රම කරයි. ඒ අතර ඒ මතය නඩත්තු කිරීමට ද ඇමරිකාව සතුටුය. යුද්ධයක් යනු ලෙහෙසි කෙළියක් නොවේ. යුද්ධයකදී විශාල වශයෙන් ආයුධ විකුණාගත හැක. සාමාන්‍යයෙන් දැනට තිබෙන උසස් තත්ත්වයේ ඩිජිටල් කාලතුවක්කුවක් රුපියල් කෝටි 75 ක් පමණ වේ. ගාණ එපමණ මිල වුණත් ඒ වටිනාකමට මේ කාලතුවක්කුව තුළ බඩු නැත. එහි වැඩිපුරම ඇත්තේ ඒ සඳහා පාවිච්චි කරන තාක්‍ෂණයයි. සොයාගැනීමට වැය වූ පර්යේෂණ ගාස්තු ය. මේ දිනවල ඇමෙරිකාවේ මෙෂින් තුවක්කු උණ්ඩයක් රුපියල් දාහ ඉක්මවයි. එකවරකට මැෂින් තුවක්කුවකට දමන උණ්ඩ වැලක උණ්ඩ සියයක් පමණ තිබේ. විනාඩි එකහමාරක් තුළ එම උණ්ඩ සියය ඉවර කර රුපියල් ලක්‍ෂයක මුදලක් කාබාසිනියා කළ හැකිය. මේ ආකාරයෙන් යුද්ධයක ඇති වෙළෙඳ වටිනාකම අප සියලූදෙනා විසින් ම තේරුම් ගනු ලැබිය යුතුය. මෙහිදී වැදගත් යමක් කියමි. මේ ධනවාදී ආර්ථික ක‍්‍රමය තුළ ලංකාව සිටින්නේ ද ඇමරිකානු තත්ත්වයේම මහ බලවතකු ලෙස නම් ලංකාව කරන්නේ ද ඔය ටිකමය. මන්ද එසේ නොකර ධනවාදය තුළ පැවැත්මක් නැත.

 යුක්රේනය මෙයට දශක ගණනාවකදී සෝවියට් දේශයේ රටක් ලෙස පැවතිණි. පසු කලෙක සෝවියට් සංගමය කැබලිවලට කැඞී විසිරී ගිය කල්හි යුක්රේනය ද වෙන් වී වෙනත් රටක් බවට පත්විය. සෝවියට් සංගමයට අවශ්‍ය අවි ආයුධවලින් සෑහෙන කොටසක් ද, අති නවීන ප‍්‍රහාරක යානා සියල්ලම ද, ගුවන් යානා නාශක මිසයිල ද, නයිට්විෂන් උපකරණ ද නිපදවන ලද්දේ යුක්රේනය විසිනි. සෝවියට් සංගමය කැබලි වූ පසු යුක්රේනය ස්වකීය යුද අවි නිෂ්පාදනය පිටරටවලට අලෙවි කරන්නට පටන් ගත්තේය. ලංකාවේ පවා බ්ලැක් මාර්කට් එකේ තිබෙන 9 mm පිස්තෝල, හොඳම වර්ගයේ මෙෂින් තුවක්කු සහ අත්බෝම්බ යුක්රේනයෙන් පන්නා ගෙන එන්නා ලද බඩු ය. මේ බඩු යුක්රේනය විසින් කෙළින්ම පිටකොටුවට එවනු නොලැබේ. ඒවා තෙවන පාර්ශ්වයක් හරහා ලංකාවට සම්ප‍්‍රාප්ත වේ. යුක්රේන් යුද අවි සහ චීන යුද අවි අතර වෙනසක් තිබේ. චීන යුද අවි අලූත්ම තාක්‍ෂණයෙන් නිපදවන නමුදු වැඩිකල් පාවිච්චියට සුදුසු නැත. චීනය යුද අවි නිෂ්පාදනය කරන්නේ ඒවා අවුරුදු හාරපන්සියයක් ප‍්‍රයෝජනයට ගැනීමට නොව කෙටි කලක පාවිච්චියෙන් පසු මුහුදට දමා අලූත් බඩු විකිණීම පිණිසය. එහෙත් යුක්රේන් අවි තවමත් තිරසාර අවි ලෙස පිළිගැනේ. යුක්රේනයේ සමාජවාදය තිබෙන එකම භාණ්ඩය යුද අවි ය. ඒවා ඝනකම් තහඩුවලින් නිම කොට දීර්ඝකාලීන පැවැත්ම සඳහා සුදුසු පරිදි වෙළෙඳපොළට නිකුත් කෙරේ.

 යුක්රේනය අත්පත් කර ගැනීමේ වුවමනාව දිගුකලක පටන් රුසියාව තුළ තිබිණි. එකම ප‍්‍රශ්නය වූයේ ඒ සඳහා මාර්ගයක් නොතිබීම ය. මේ නිසා යුක්රේනය තුළ තිබෙන DONETSK සහ LUHANSK නමැති බෙදුම්වාදී බිම් ප‍්‍රදේශ වෙනම රටවල් හැටියට ප‍්‍රවර්ධනය කිරීමට රුසියාව තීරණය කළේය. ඒ සඳහා රුසියාව අවි සහ මුදල් ඒ බෙදුම්වාදී ප‍්‍රදේශවල කැරලිකරුවන් අතට පත් කළේය. වෙනම රාජධානි බවට පත්වීමට කල්පනා කරගෙන සිටින මේ බෙදුම්වාදී ප‍්‍රදේශ දෙකෙන් එකක් පිටකොටුවට වඩා විශාල නැත. අනෙක පෝට්සිටිය මෙන් දෙකක් ලොකුය. රුසියාව මේ ප‍්‍රදේශ දෙකට යුද ආධාර සපයන්නේ ක‍්‍රමෝපායයීය උදව්වක් ලෙසිනි. කිසියම් රටක එක පැත්තක නිතර දෙවේලේ බෙදුම්වාදී යුද්ධයක් තිබෙන විට එකී රට පවතින්නේ බඩ පපුව පත්තු වූ තත්ත්වයකය. තිස් අවුරුදු බෙදුම්වාදී යුද්ධයක් තිබූ ලංකාවේ ජනතාවට මේ ගැන අලූතින් කීම නොවටී. මෙවැනි යුද්ධයක් රටේ වෙනත් පැතිවලට ව්‍යාප්ත කිරීමට ද පුළුවන. ඊළඟට යුද තත්ත්වය සමනය කොට සාමය පවත්වාගෙන යෑම සඳහා එම රටට ඇතුළුවීමට යාබද රටකට පුළුවන. යුක්රේන් ප‍්‍රශ්නයේදී මෙකී යාබද රට වන්නේ රුසියාවය. ඉහත සඳහන් බෙදුම්වාදී ඉඩම් දෙක වෙනම රාජ්‍ය ලෙස පිළිගැනීමට පවා ව්ලැදිමීර් පුතින් මේ වන විට කටයුතු කර තිබේ. එබැවින් යම් ප‍්‍රමාණයක විභවයක් ඇති යුද්ධයක් යුක්රේනය ආශ‍්‍රයෙන් හට ගැනීමට ඉඩ තිබේ. මේ යුද්ධය ඉක්මන් වුණොත් තෙල් මිල තවදුරටත් වහ වහා ඉහළ දැමීමටත්, ලයිට් කපන වේලාව තවදුරටත් දීර්ඝ කිරීමටත් ශ‍්‍රී ලංකා රජයට හැකිවීම පොහොට්ටුවේ දේශපාලන වාසනාවකි. ලංකාව හැම විටම වාසනාවන්ත රටක් වූයේ නැත. එහෙත් අපේ දේශපාලනඥයෝ හැම විටම වාසනාවන්තයෝ වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment