නඩු තුනකින් ජොනී නිදහස්

186

සතොස සේවකයන් 153 දෙනකු ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කොට වෙනත් කටයුතු සඳහා යොදවා ගැනීමේ චෝදනාව යටතේ පවරා තිබූ නඩු තුනකින් අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් තිදෙනකු නිදහස් කිරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් බුද්ධික සී. රාගල මහතා ඊයේ (28 දා) නියෝග කළේය.

අල්ලස් කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් තිදෙනාගේම නිසි විධානයකින් පසුව නැවත නඩු පැවරීමේ අයිතිය රඳවා තබා ගනිමින් අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 186 වගන්තිය යටතේ සැකකරුවන් නිදහස් කරන්නැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය. එම ඉල්ලීමට අවසර ලබාදුන් ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා එම නියෝගය කළේය. 2010 වසරේ සිට 2014 වසර දක්වා වූ වසර පහක කාලයේදී සතොස සේවකයන් 153 දෙනකු ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත්කොට වෙනත් කටයුතු සඳහා යොදවා ගැනීමෙන් රජයට රුපියල් කෝටි හතකට අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, සතොස හිටපු සභාපති එරාජ් ප‍්‍රනාන්දු හා සතොස හිටපු ක‍්‍රියාකාරී අධ්‍යක්‍ෂ මොහොමඞ් මොහිදීන් සාකීර් යන තිදෙනාට එරෙහිව නඩු පහක් පවරා තිබිණි.

එකි නඩු පහ අතරින් නඩු දෙකක චෝදනාවලින් සැකකරුවන් නිදහස් කරන ලෙසට කොළඹ මහාධිකරණය විසින් මින් පෙර නියෝග කොට තිබිණි. එකී නඩු පහම පවරා ඇත්තේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් තිදෙනාගේම නිසි අනුමැතිය නොමැතිව වන බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කර ඇති අනෝමා පොල්වත්ත නඩු තීන්දුව අනුව එම නඩු තවදුරටත් ඉදිරියට පවත්වාගෙන නොයන බවද අල්ලස් කොමිෂන් සභාව එහිදී අධිකරණයට වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment