රෝහලේ තාප්පය ඇඟට වැටී කම්කරුවෙක් මරුට

159

කඩුගන්නාව, හේනවල රජයේ රෝහලේ පැරණි තාප්පයක් ඊයේ (06දා) දහවල් කඩා වැටීමෙන් කම්කරු සේවකයකු මරුමුවට පත්වී ඇතැයි කඩුගන්නාව පොලිසිය පවසයි.

මෙලෙස අවාසනාවන්ත අන්දමින් මියගොස් ඇත්තේ මහනුවර, ඇල්පිටිකන්ද මානිච්චාව පදිංචිව සිටි 33 හැවිරිදි රංජිත් අබේරත්න නමැති එහි ඉදිකිරීම් කටයුතුවල යෙදී සිටි සේවකයෙකි.

එම රෝහලේ නව තාප්පයක් ඉදිකිරීමට කොන්ත්‍රාත් සමාගමක සේවකයන් පිරිසක් සේවයේ යෙදී තිබේ. ජේ. සී. බී. යන්ත්‍රයකින් ඒ සඳහා වළවල් කපමින් සිටින අවස්ථාවේ එහි වසර ගණනාවක් පැරණි තාප්පය කඩා වැටී ඇති අතර, එම තාප්පයට මෙම කම්කරු සේවකයා යටවී තිබේ.

පසුව වැඩ කරමින් සිටි පිරිස පැරණි තාප්පයේ සුන්බුන් ඉතා පරිස්සමින් ඉවත් කර ඊට යට වී සිටි කම්කරු සේවකයාව රෝහල්ගත කළ ද ඔහු ඒ වනවිටත් මියගොස් සිටි බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් කඩුගන්නාව පොලිසිය පරීක්ෂණ සිදු කරයි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment