වැට් නිසා ප්ලැට් වන ජන ජීවිතය

612

පසුගිය 11 වැනිදා අගය එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත හෙවත් වැට් බදු සංශෝධනය වැඩි ඡන්ද හතළිස් පහකින් සම්මත කරගන්නා ලදී. සංශෝධිත වැට් පනතට පක්‍ෂව ඡන්ද 100ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 55ක් පමණි. වැට් පනතට පක්‍ෂව ඡන්දය දුන් ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැතිවරු පවා ප්‍රකාශ කළේ වැට් පනතට අත ඉස්සුවේ හිතකින් නොවන බවයි.

බදු බරින් මිරිකී ජීවන බර උසුලාගත නොහැකිව සිටින ජනතාව මත වැට් බරත් පැටවීම හරහා දරිද්‍රතාවය තවත් ඉහළ යනු ඇතැයි විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ලබන වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන නව වැට් බද්ද හරහා ජනතාවගේ ජීවන බර ඉහළ යන බවට දැනටමත් පෙරනිමිති පහළ වී තිබේ. බස් සංගම් පවසන්නේ වැට් ඉහළ දැමීම නිසා බස් ගාස්තුත් ඉහළ දැමීමට සිදුවන බවයි. ලිට්ට්‍රෝ ගෑස් සමාගම පවසන්නේ කිලෝ 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 600 කින් පමණ ඉහළ යනු ඇති බවයි. බේකරි සංගම් පවසන්නේ පාන් හැර අනෙකුත් සියලු කෙටි කෑම මෙන්ම කේක් වර්ගවල මිල ද ඉහළ යනු ඇති බවයි. මෙම තත්ත්වය මත සියලුම භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යෑම වැළැක්විය නොහැක. රාජ්‍ය සේවකයන්ට රුපියල් දස දහසකින් පඩි වැඩි වුවද වැට් නිසා ඔවුන්ගේ ජීවිතවලට ද අස්වැසිල්ලක් ලැබේවි යැයි සිතිය නොහැක.

රාජ්‍ය සේවකයන්ට එම කල යද්දී එදිනෙදා කුලියක් මලියක් කරගෙන ජීවත් වන සෙසු අයගේ මෙන්ම පෞද්ගලික අංශයේ සේවකයන්ට වැට් ඉහළ යෑම නිසා ආර්ථික වශයෙන් දැඩි අසීරුතාවකට පත්වීම වැළැක්විය නොහැක.

වැට් වැඩිවීම නිසා ජනතාවට අවදානම් කාලයක් එළඹෙද්දී වෙළෙඳ මාෆියාව නිසාද ජනතාවට බැට කෑමට සිදුවීම ඉතාමත් කනගාටුදායකය.

පසුගිය දිනවල රුපියල් 48, 50 ට තිබූ බිත්තරයක මිල මේ වන විට රුපියල් 65, 70 දක්වා ඉහළ ගොස් ඇත. මෙම මිල වැඩිවීමට වැට් කිසිසේත් බලපෑමක් කර නැත. ඊට හේතුවී ඇත්තේ සංශෝධන වැට් ක්‍රියාත්මක වන්නේ එළඹෙන ජනවාරි මාසයේ සිට නිසාය. නත්තල් සහ අලුත් අවුරුදු උත්සවයට මුවාවී බිත්තර නිෂ්පාදකයන් බිත්තර වැඩි කර ඇතත් ඒ ගැන කිසිදු නියාමනයක් අදාළ පාර්ශ්වවලින් කෙරෙන බවක් නොපෙනේ. සිතූ සිතූ වේලාවට වෙළෙන්දන්ට නිෂ්පාදකයන්ට භාණ්ඩ මිල ඉහළ දැමිය හැකි නම් මෙරට පාරිභෝගික අධිකාරිය කියා එකක් ඇත්තේ අහවල් කෙංගෙඩියකට දැයි නොතේරේ. පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ යෑමට ආණ්ඩුව බදු වැඩි කරද්දී ඊට අදාළ නොවන කාරණා ඔස්සේ ද ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යෑම කනගාටුදායකය. එය ගහෙන් වැටුනු මිනිසාට ගොනකු නොව ගොනුන් සියයක් ඇන්නා හා සමානය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනුයේ සෞඛ්‍යයේ සංවේදී ක්‍ෂේත්‍ර ගණනාවකට ද වැට් ගසා ඇති බවයි. මෙම තත්ත්වය හමුවේ ඖෂධ මිල ඉහළ යන්නේ නම් එය බරපතළ කාරණයක් වනු ඇත. අප රටේ රජයේ රෝහල් පද්ධතියෙන් නොමිලයේ නිකුත් කරන ඖෂධවලට වඩා වැඩි ප්‍රමාණයක් ජනතාව මිලදී ගන්නේ පෞද්ගලික ෆාමසිවලිනි. එය එක් අතකින් රජයට සහනයකි. කෙසේ නමුත් එසේ පෞද්ගලිකව තම ඖෂධ මිලදී ගන්නා ජනතාව තවදුරටත් අපහසුතාවට පත්නොවන අයුරින් ක්‍රියාකිරීම අදාළ බලධාරීන්ගේ වගකීමකි.

මේ වන විට වෙළෙඳපොළේ බී ලූනු මිල ද නහුතෙට නැග තිබේ. බී ලූනු කිලෝවක මිල රුපියල් 500ක් ඉක්මවා තිබේ. ලංකාවට බී ලූනු සපයන ඉන්දියාව ඇතුළු රටවල් කීපයක් හදිසියේ අප රටට බී ලූනු ලබාදීම නැවැත්වීම නිසා මෙම තත්ත්වය උදාවී ඇති බව ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි. මේ වනවිට දේශීය වෙළෙඳපොළට අපේ ගොවිපළවලින් බී ලූනු සැපයීමක් සිදු නොවන නිසා මෙම තත්ත්වය තවත් උග්‍ර වී ඇත. මෙයින් පැහැදිලි එක් කාරණයක් වන්නේ අපේ රටේ නිපදවිය හැකි දේ පවා පිටරටින් එනතුරු බලා සිටීමට අපට සිදුව ඇති බවයි. එනිසා ජනතාව මත බදු බර පටවන ආර්ථිකයක් වෙනුවට නිෂ්පාදන ආර්ථිකයකට අප රට තල්ලු කිරීම බී ලූනුවලින් අපට මේ මොහොතේ කියා දෙන පාඩම බව පාලකයන් තේරුම් ගත යුතුව ඇත. එසේ වුවහොත් බී ලූනු කෑවද දැන් සැප ද කියා අසන්නට වුවමනාවක් සිදුවන්නේ නැත.

ගැහැනු පිටරට යවා ඩොලර් ලැබෙනතුරු බලා සිටින ආර්ථික ක්‍රියාවලිය වෙනුවට දැනුම හා වෘත්තීය සුදුසුකම් ඇති පිරිස රට යවා වැඩි වැඩියෙන් අප රටට ඩොලර් ලබාගන්නා ක්‍රියාමාර්ග ගැන ද රජයේ අවධානය යොමුවිය යුතුය.

දැන් පවතින ආර්ථික අර්බුදය ජනතාවගේ නිර්මාණයක් නොවේ. ජනතාව කළ එකම වරද වූයේ අප රටේ පොරොන්දු දේශපාලනයට රැවටී වරින් වර තට්ටු මාරු ක්‍රමයට එක එක අය රජකරවීම පමණි. ජනතාවගේ ඡන්දය ලබාගෙන මේ රටේ බලය ලබාගත් කිසිවකු අප රටේ ආර්ථිකය නිසි පීල්ලට ගත්තේ නැත. එහි අයහපත් ප්‍රතිඵලවල ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුව ඇත්තේ අහිංසක ජනතාවටය. මෙම ක්‍රමය දැන්වත් වෙනස් කළ යුතුය. හොරකම, වංචා, දූෂණ, කොමිස් ගැහිලි නැති ජනතාවත් රටත් ගොඩනගන වැඩපිළිවෙළක් වහාම ක්‍රියාත්මක කළ යුතුය. එසේ නොවනතාක් වැට් වැනි බදු නිසා ප්ලැට් වන ජන ජීවිතයට සරණක් ලැබෙන්නේ නැත.

advertistmentadvertistment
advertistmentadvertistment