ස්වයං රැකියා මවා කෝටි ගණනක් පිල්ලි ගහලා – වරෙන්තු 46 කට පයින් ගැසූ 39 හැවිරිදි කත මාට්ටු

168

අධිකරණ වරෙන්තු 46 ක් මඟහරිමින් කඩවත ප්‍රදේශයේ සැඟවී සිටි 39 හැවිරිදි සුරූපී කාන්තාවක් නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් ඊයේ (12 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

ස්වයං රැකියා ලබාදෙන බව පවසා විවිධ පුද්ගලයන් රවටා රුපියල් කෝටි ගණනක මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් මෙම කාන්තාවට චෝදනා එල්ල වී තිබේ.

සැකකාරිය විසින් ඉකුත් 2020 වසරේ මෙම වංචාව සිදුකර ඇත. විදෙස් රටවලින් සෝයාමීට් ගෙන්වා ඒවා පැකට් කර විකිණීම සඳහා විවිධ පුද්ගලයන්ට ලබාදෙන බව කියමින් මෙම කාන්තාව රුපියල් කෝටි ගණනක මුදල් වංචනික ලෙස ලබාගෙන තිබිණි.

මේ සම්බන්ධයෙන් මිරිහාන පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත සැකකාරිය 2020 වර්ෂයේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී එම මුදල් ආපසු ගෙවීමට ඇය පොරොන්දු වී තිබිණි.

එහෙත් ඇප මත මුදාහරිනු ලැබූ කාන්තාව ඊට පසු කිසිදිනෙක අධිකරණය හමුවේ පෙනී සිට නැති අතර අධිකරණ වරෙන්තු 46 ක් තිබූ සැකකාරිය පොලිසිය මගින් ඊයේ අත්අඩංගුවට ගන්නා ලදි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ. පී. එස්. ජයමහ මහතාගේ මෙහෙයවීමෙන් කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ඒ. හේවගේ, උප පොලිස් පරීක්‍ෂක වීරතුංග ඇතුළු නිලධාරීහු විමර්ශන පැවැත්වූහ.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment