තරු හෝටල් හාන්සියි

1119

සංචාරක කලාපවල විදුලිය විසන්ධි කිරීම, ඉන්ධන අර්බුදය සහ අධික බදු බර හේතුවෙන් රටට විශාල ලෙස ඩොලර් උපයා දෙන සංචාරක ක්‍ෂේත්‍රයේ ‘තරු හෝටල්’ ඇතුළු සියලු හෝටල් බරපතළ කඩා වැටීමකට ලක්ව ඇතැයි හෝටල් සේවක මධ්‍යස්ථානයේ අන්තර් සමාගම් සේවක සංගමය පවසයි.

රටේ උග්‍ර ආර්ථික අර්බුදයට කෙටිකාලීන විසඳුම් ලබාගත හැකි සංචාරක ව්‍යාපාරය රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වුවමනාවන් වෙනුවෙන් හැසිරවීම හේතුවෙන් හෝටල් සේවයේ ලක්‍ෂ ගණනකගේ රැකියා අවදානමට ලක්ව ඇතැයිද හෝටල් සේවක මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක, ජයතිලක රණසිංහ මහතා ‘දිවයින’ ට ඊයේ (05 දා) පැවැසීය.

විදුලිය විසන්ධි කිරීම්, ඉන්ධන නිසි පරිදි සපයා නොදීම සහ 2023 වසර සඳහා රජයෙන් ඉදිරිපත් කළ අය-වැය මගින් අධික බදු අය කිරීම යන කරුණු හේතුවෙන් සංචාරක ක්‍ෂේත්‍රයේ සේවාවන්හි නිරතවන්නන් ‘කබලෙන් ළිපට’ වැටී ඇතැයි හෙතෙම චෝදනා කළේය.

විවිධ ආහාර වර්ග මෙරටට ගෙන්වීම සීමාකර ඇති නිසා පීඩාවට පත් සංචාරකයන් විදුලිය විසන්ධි කිරීම් සහ ඉන්ධන අර්බුදය හේතුවෙන් හෝටල් තුළට වී ඉටිපන්දම් එළියෙන් කල් ගෙවියයුතු තත්ත්වයක් උද්ගතව ඇති බවත් මෙරට ආගන්තුක සත්කාරය පිළිබඳව ලෝකයට කළු පැල්ලමක් එක්ව ඇති බවත් රණසිංහ මහතා කියා සිටියේය.

මේ හේතුවෙන් රජය බලාපොරොත්තු වන ඩොලර් ඉපයීම සිහිනයක් වනු ඇතැයි කී ඒ මහතා මෙම අර්බුදවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින්, ලබන වසර මුලදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමටද හෝටල් සේවක මධ්‍යස්ථානය තීරණය කර ඇතැයි හෙතෙම කියා සිටියේය.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment