වෛද්‍යවරුන් 4කගේ වැටුප් වංචා නඩුව – දඩය ගෙවීමට බැහැ කී විත්තිකරු වසර 6ක් හිරේ

757

කොළඹ ජාතික රෝහලේ වැටුප් අංශයේ කළමනාකාර සහකාරවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී වෛද්‍යාවරුන් සිව් දෙනකුගේ වැටුප් සූක්‍ෂම ලෙස සිය බැංකු ගිණුමකට බැරකරගෙන වංචා කිරීමේ අධිචෝදනා දෙකකට වරදකරු කරනු ලැබූ විත්තිකරුවකුට එලෙස වංචා කළ මුදල මෙන් තුන් ගුණයක දඩයක් ගෙවීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඊයේ (5 දා) නියෝග කළේය.

නඩු විභාගය අතරතුරදී අදාළ චෝදනා දෙකට වරද පිළිගැනීමෙන් අනතුරුව වරදකරු කරනු ලැබූ විත්තිකරුට නියම කළ එක්කෝටි හැටහයදහස් හත්සිය හැත්තෑවයි ශත 45 ක මුදල ගෙවීමට නොහැකි බවට විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළ අතර ඒ අනුව බරපතළ වැඩ සහිත වසර හයක සිරදඬුවම් හා වසර හතරක ලිහිල් සිරදඬුවම් ලබාදීමට ද විනිසුරුවරයා නියෝග කළේය.

2003 වසරේදී සිදුවී ඇතැයි කියන එම වංචාවට සිය සේවාදායකයා පමණක් නොව තවත් පිරිසක් සම්බන්ධවී ඇතත් නීතිපතිවරයා නඩු පවරා ඇත්තේ මෙම විත්තිකරුට පමණක් බව ඩබ්ලිව්. ඩබ්ලිව්. නිශාන් ක්‍රිශාන්ත ප්‍රනාන්දු නමැති විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසෝක විජේවර්ධන මහතා අධිකරණයට පෙන්වා දුන්නේය. පොදු දේපළ පනත යටතේ පවරා තිබූ එම නඩුවේ පැමිණිල්ල රජයේ අධිනීතිඥ අග්බෝ පණ්ඩිතරත්න මහතා මෙහෙයවූ අතර මහාධිකරණ භාෂණ පරිවර්ථක සුලෙයිමාන් මොහොමඩ් යාසිර් මහතා අධිකරණය නියම කළ දඬුවම් විත්තිකරුට කියවා දුන්නේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment