කන්න බොන්න නෑ කීව හැමෝම නුවරඑළි ගිහින්

1458

නත්තල ගෙවී ගොස් දින කිහිපයක් ගත වුවද තවමත් ලංකාවේ සංචාරක පුරවරයන් දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් නිසා අවිවේකීව පවතී. විශේෂයෙන්ම බදුල්ල, බණ්ඩාරවෙල, නුවරඑළිය, මහනුවර, යාපනය, ගාල්ල වැනි ප‍්‍රදේශවල සංචාරක නිකේතන පසුගිය සතියේ සංචාරකයන්ගෙන් පිරී තිබුණි. කොවිඞ් වසංගතයත් සමග වරින් වර රට වසා දැමීම නිසා ඒකාකාරී ජීවන රටාවකට කොටුව සිටි මිනිසුන් නැවතත් හුරුපුරුදු ලෙස ක‍්‍රම ක‍්‍රමයෙන් ඔවුන්ගේ ජීවන රටාව ආරම්භ කර ඇත.

වෙනදාට විනෝද චාරිකා, ආගමික චාරිකාවල නිරත වූ බොහෝ පිරිස් කොවිඞ් වසංගතය ආරම්භ වූ දා සිටම එවැනි ගමන් සීමා කරමින් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව කටයුතු කළහ. මේ නිසා ලංකාවේ සංචාරක කර්මාන්තය අඩපණව තිබුණි. උණවටුන, බදුල්ල, බණ්ඩාරවෙල ඇල්ල වැනි සංචාරක පුරවරයන් පාළුවට ගොස් තිබූ අතර සංචාරක නිකේතන, හෝටල් සහ ආපනශාලා හා සංචාරක කර්මාන්තය ආශ‍්‍රිතව ගොඩනැගුණු බොහෝ කර්මාන්තයන් කෝවිඞ් නිසා අඩපණ විය. මේ තත්ත්වය මඟ හරිමින් කඩා වැටෙමින් තිබූ සංචාරක කර්මාන්තයට නැවතත් සුබ පණිවිඩයක් එක් කරමින්, දෙසැම්බර් මාසය පුරාවටත් මේ වන විටත් දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් ලංකාවේ විවිධ ප‍්‍රදේශවලට සංචාරය කරමින් සිටියි. දකුණු පළාතේ සංචාරක ස්ථාන ද, අනුරාධපුර, කතරගම වැනි පූජනීය ස්ථාන ද, කඳුකරය ද දැක බලා ගැනීම සඳහා බොහෝ පිරිසක් එක් රොක්ව සිටියහ.

කන්න බොන්න නෑ කීව හැමෝම නුවරඑළි ගිහින්

විශේෂයෙන්ම නත්තලට හැඬවූ පුංචි එංගලන්තය නැරඹීමට සංචාරකයන් මෙවර ද අමතක කර තිබුණේ නැත. කවදත් සීතල දේශගුණයකට හිමිකම් කියූ නුවරඑළිය වර්ෂාව නිමවීමත් සමඟ සංචාරයට සුදුසු දේශගුණයක් නිර්මාණය කර තිබුණි. ඒත් සමගම නේක මල් පුබුදුවමින් විචිත‍්‍රවත් ලෙස වසංතයක සිරි මවන්නට නුවරඑළියේ පරිසරය ද හැඩ ගැන්වී තිබුණි.

ග්‍රෙගරි උද්‍යානය මෙන්ම නුවරඑළියේ ආකර්ෂණීය ස්ථාන රැසක් හිස් තැනක් නැති වන තරමටම මිනිසුන්ගෙන් පිරී තිබෙනු අපට දැකගත හැකි විය. සංචාරකයන්ගේ පැමිණීම අපේක්ෂාවෙන් නුවරඑළිය වෙළෙන්දන් ද පෙර තියාම සූදානමින් සිටි බව ඔවුන්ගේ ව්‍යාපාර යනු දෙස බලන විට අවබෝධ විය.

එළවළු, පලතුරු සහ ආහාර හිඟයක් ඇති බවට නත්තලට පෙරාතුව සිට නුවරඑළියේ ව්‍යාපාරිකයන් අනතුරු ඇඟවුවද වෙනදා මෙන්ම සංචාරකයන් වෙනුවෙන් හෝටල් සහ ආපනශාලාවල සුවිශේෂී ආහාර සකස් විය. නමුත් පසුගිය වසරවලට සාපේක්ෂව එම ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ ගොස් තිබුණි.

තැනින් තැන විකිණීමට තබා තිබෙන එළවළු, පලතුරු සහ මල් වර්ග මෙවර ද අඩුවක් නැතිව දැකගත හැකි විය. පොහොර අර්බුදයත් සමග වගා කටයුතු අතරමග නතර වී ඇති බවට උඩරට ගොවියන් පැවසුව ද මහා පරිමාණයෙන් නැතත් යම්කිසි ආදායමක් උපයාගත හැකි පරිදි ව්‍යාපාරිකයන් ඔවුන්ගේ ව්‍යාපාර අදටත් සිදුකරයි.

මේ අතර ආහාර ද්‍රව්‍ය මිලදී ගන්නවා වෙනුවට නිවසින් සකස් කරගෙන පැමිණි ආහාර පරිභෝජනයට ගැනීම මෙවර දේශීය සංචාරකයන් තුළින් අප දුටු සුවිශේෂීම කාරණාවකි. මේ පිළිබඳව අපි සංචාරකයන් කිහිප දෙනෙකුගෙන්ම තොරතුරු විමසා සිටියෙමු. ඔවුන් පැවසුවේ සංචාරය සඳහා පැමිණි පිරිසට අවශ්‍ය ආහාරපාන නිවසේ සිට සකස් කරගෙන ආ බවයි. මේ නිසා වෙළෙඳපොළෙන් ආහාර මිලදී ගන්නවාට වඩා වියදම අඩුවෙන් සෞඛ්‍යාරක්ෂිත ආහාර ගැනීමට ඔවුන්ට හැකි වී තිබුණි. නගරයේ ආපනශාලාවකින් හෝ හෝටලයකින් ආහාර ගන්නවාට වඩා නිදහස් පරිසරයක සියලූ දෙනා එක්රොක්ව ආහාර ගැනීම වෙනස් අත්දැකීම බවද ඔවුන් පවසයි.

කන්න බොන්න නෑ කීව හැමෝම නුවරඑළි ගිහින්

නුවරඑළියට පැමිණෙන සංචාරකයන්ට පෝනියන් පිටේ යෑම නුහුරු අත්දැකීමක් නොවේ. නමුත් මෙවර එවැනි ක‍්‍රීඩාවල නිරත වූ පිරිස අඩු වී තිබුණි. මේ නිසා පෝනි හිමියන්ගේ ආදායම අඩුවී ගොස් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්නට සිදුව ඇති බව පෝනි හිමියෝ පවසති.

කොවිඞ් වසංගතය නිසා නුවරඑළිය හාත්පසින්ම වෙනස් වී ඇති බවට කිහිපදෙනෙක්ම අදහස් ඉදිරිපත් කළහ. නිසි පාලනයක් නොමැතිව මංමාවත්, උද්‍යාන සහ පාරිසරික කලාප වල් වැදී තිබීමත් ග්‍රෙගරි වැව අපවිත‍්‍ර වී තිබීමත් සංචාරකයන්ගේ දෝෂ දර්ශනයට ලක්විය. නමුත් බොහෝ දෙනෙක් කාලයකට පසු ලැබූ නිදහස උපරිමයෙන් භුක්ති විඳිමින් සිටි බව අපට අවබෝධ විය.

පසුගිය කාලය පුරාවටම සමාජ මාධ්‍ය හරහා සහ ප‍්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ ආර්ථික අපහසුතා, ආහාර හිඟය සහ ජීවන වියදම පිළිබඳව කතා කළ ජනතාවම ඒ සියල්ල අමතක කර දමා නුවරඑළිය සහ අනෙකුත් සංචාරක පුරවරයන් වටා එක්රොක්ව සිටියහ. එදා වේල පිරිමහගන්නටවත් මුදලක් ඉතිරි කරගත නොහැකියැයි කියූ මිනිසුන්ට රට වටා සංචාරය කරන්නට තරම් ආර්ථිකය ශක්තිමත් වූයේ කෙසේදැයි වෙනමම සොයා බැලිය යුතු කාරණාවකි.

අපගේ අවධානයට යොමු වූ නුවරඑළිය සහ බොහෝ සංචාරක කලාපයන්ට එක් වූ පිරිස් අතර වැඩි වශයෙන් ම සිටියේ මුස්ලිම් ජාතිකයින් ය. ඔවුන් ප‍්‍රශ්න ගැටලූ සියල්ල අමතක කර දමා මානසික තෘප්තිය උදෙසා සංචාරයෙහි නිරත වූවා ද, එසේත් නොමැති නම් සැබෑවටම මේ වන විට බොහෝ දෙනකු හඬගා කියන ගැටලූ මේ පිරිසට ගැටලූවක් නොවන්නේ ද යන්න
ගැඹුරින් සිතා බැලිය යුතුය.

නිරෝෂා වාසල /නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment