තෙල් බාලා සහ බාල තෙල්

1274

තෙල් බාල බවට මේ දිනවල කතාවක් පවතී. ඒ වයසින් නොව, කොලිටියෙනි. පාසල් දරුවන් ප‍්‍රවාහනය කරන වෑන් හිමියන්ගේ සංගමයේ ප‍්‍රකාශකයකු පසුගියදා කියූ පරිදි වෙනදා ඞීසල් ලීටර 50කින් වාහනය දුවන ප‍්‍රමාණය අද දිවීමට ඞීසල් ලීටර් 100ක් අවශ්‍ය ය. ඇත්තෙන්ම තෙල් බාල විය හැකි ද? මෙයට අවුරුදු කිහිපයකට පෙර තෙල් බාලා නැමැති දාමරිකයා පිළිබඳ පුවත දිගින්  දිගට ම අසන්නට ලැබීම නිසා ජනතාවගේ කනට තෙල් බාල වීම යම් ප‍්‍රමාණයකට පුරුදු විය. එහෙත් අප තෙල් බාල වීමේ ආනිශංසය හරියට ම දැනගන්නේ මෙවරය. පෙට‍්‍රල් සහ ඞීසල්වලට භූමිතෙල් මිශ‍්‍රකරන බවට කතන්දරයක් තිබේ. පෙට‍්‍රල් සහ ඞීසල් යන දෙකෙහිම මිලට අඩුමිලක් භූමිතෙල්වලට තිබේ. මේ නිසා මේ දෙවර්ගය මිශ‍්‍රකළ හැකිය. එහෙත් ලංකාවේ දැනට පවතින ඉන්ධන හිඟයට අනුව භූමිතෙල් යනු පොල්තෙල් සහ තලතෙල්වලටත් වඩා වටිනා ද්‍රව්‍යයකි. එබැවින් කවුරුත් පෙට‍්‍රල් සහ ඞීසල් බාලකිරීම සඳහා භූමිතෙල් යොදන්නේ නැත. එසේ නම් බාලතෙල් ෂෙඞ්වලට එන්නේ කොහෙන් ද? අපගේ වැටහීම නම් පිටරටින් කෙලින්ම අප වෙත බාලතෙල් එවන බවයි. විශාල විදේශ විනිමය අර්බුදයක ගිලී සිටින මේ රට වරායට එන ඕනෑම තෙල් නැවකින් තෙල් ලබාගැනීමට තරම් තත්ත්වයකට පත්ව සිටී. මුදල් නැතිකම නිසා තත්ත්වයෙන් බාල තෙල් ගෙන්වීමට වුව ආණ්ඩුවට පුළුවන. ඛනිජ තෙල් පරීක්‍ෂා කිරීමේ හැකියාව පවතින්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ තිබෙන ලැබ්වලට පමණි. එබැවින් අපට ලැබෙන තෙල් බාල ද නැත්නම් වැඩිමල් ද යන්න සෙවීමේ තාක්‍ෂණයක් පොදු ජනයා සතුව නැත. බාලතෙල්  දිගට ම ගැහුවොත් වාහනවල එන්ජින් නන්නත්තාරවීම නොවැළැක්විය හැකිය. මේ අනුව අන්තිමේ දී අපට සිදුවන්නේ ශිෂ්ටාචාරයේ මුලට වාහනවලින් ගමන් කර ආපසු පයින් එන්නට ය. යොදාගත් පරිදි ශ‍්‍රී ලංකාවට ගෙන්වන ලද ඞීසල් තොග ගොඩබා ගැනීමට නො හැකි වූ නිසා ඉදිරි දෙදින තෙල් පෝලිම්වලට නොයන ලෙස රජය විසින් ම ජනතාව දැනුවත් කර තිබේ. එහෙත් පසුගිය දිනවල දවස් 4ක් පමණ ඞීසල් පෝලිම්වල එකදිගට ලැගසිටි මේ රටේ බරවාහන රියැදුරන්ට පැය 48ක් තෙල් පෝලිමේ ඉන්නට සිදුවීම එතරම් ලොකු කාරණයක් නොවේ. දින දෙකක් ගෙදර සිට වැඩ කරන ලෙස රජය මගින්  ජනතාවගෙන් ඉල්ලනු ලැබ තිබේ. මේ අනුව ඉදිරි කාලය රටේ ආර්ථිකයට කිසිසේත්ම සුබදායක වන්නේ නැත.

 මෙයට අවුරුදු දෙක තුනකට පෙර අඟල් 6 ක් දිග ඉටිපන්දමක මිල රුපියලකි. අද අඟල් 3ක් දිග ඉටිපන්දමක් රුපියල් 10කි. අඟල් 7ක් දිග අඟල් භාගයක් ඝනකමැති ඉටිපන්දමක් රුපියල් 60කි. මේ නිසා මේ මොහොතේ දී මේ රටේ ජනතාවට කළුවරේ සිටීම වඩා ලාභදායක ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නොබෝදා ලංකාවට ණය ලබාදීම සඳහා නිකුත් කෙරුණු නිර්දේශ පත‍්‍රිකාවට අනුව මේ රටේ ආර්ථිකයට කෙළවුුණේ එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල තුන්වන කාර්තුවේ පමණ සිටය. එතැන් සිට කිසිදු ආණ්ඩුවක් ආර්ථිකය නිසි පරිදි කළමනාකරණය කළේ නැත. අවුරුදු කිහිපයක් තුළ සිංගප්පූරුව බවට පත්වීමේ පුදුම මෝල් අමාරුවක් අපේ රටේ පාලකයන්ට තිබිණ. මේ නිසා රටේ දළ දේශීය නිෂ්පාදිතයට කිසිසේත් ම නො සැසදෙන පරිදි පිට රටවල්වලින් ණය ගනිමින් දැවැන්ත සංවර්ධන ක‍්‍රියාවලියකට රට යොමු කිරීම සිදුවිය. නිකන් ලැබුණු මහවැලි යෝජනා ක‍්‍රමයට අමතරව වෙනත් විශාල සංවර්ධන ව්‍යාපෘති ණයට ම කරගැනීමට හැම ආණ්ඩුවක්ම උත්සුක විය. වර්ගසැතපුම් 25332 ක් විශාල භූමියකින් ද රට වඩා පිහිටි දැවැන්ත සාගරයකින් ද මෝසම් වර්ෂාවලින් ද සමන්විත  ශ‍්‍රී ලංකාවට මුල සිට ම ගැළපුණේ කෘෂි,ධීවර නිෂ්පාදන ආර්ථිකයකි. එහෙත් සුද්දෝ මේ රට තේ, රබර් වැවිලි ආර්ථිකයක් බවට පත්කොට මුලදීම වැඬේ වර්චස් කළේය. එහෙත් 1948 පසු නැවත වරක් කෘෂිකර්මාන්තය නඟාසිටුවීමේ හැකියාව අපේ රටට තිබිණ. අග‍්‍රාමාත්‍ය ඞී. එස්. සේනානායකට ඒ ගැන අවංක වුවමනාවක් තිබූ නමුදු ඉන් පසු බලයට පත්වූ නායකයෝ ජාතිභේද සහ ආගම්භේද පතුරවමින් ස්වකීය ඡුන්ද පදනම සංවර්ධනය කිරීමෙහි නිරත වූහ. 1970 බලයට පත්වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් මේ තත්ත්වය කනපිට ගසා යළි කෘෂි ආර්ථිකයකට යොමුවීමට පටන් ගන්නා ලදී. ශ‍්‍රී ලංකාවේ දේශපාලන ක‍්‍රමයට අනුව මෙවැනි තීරණාත්මක පරිවර්තනයකදී එම පරිවර්තනය සිදුකරන ආණ්ඩුවට අඩුම ගණනේ විසි අවුරුද්දකවත් පාලන කාලයක් තිබිය යුතුය. මැතිනියගේ ආණ්ඩුවේ කෘෂි ආර්ථිකයේ මූලික කාලයේ දී විඳින්නට සිදු වූ දුක නිසා ඒ ගැන කලකිරුණු මේ රටේ ජනයා නූතන ශ‍්‍රී ලංකාව හෙවත් සිංගප්පූරු ශ‍්‍රී ලංකාවේ දේශපාලන පියා වූ ජේ. ආර්. ජයවර්ධනට රට භාර දී විවෘත ආර්ථිකයක් රට තුළට ගෙන්වා ගත්හ. වඩා වේගයෙන් ශ‍්‍රී ලංකාව සිංගප්පූරුවක් කළ යුතු නිසා අවුරුදු 30කට සැලසුම්කර තිබූ මහවැලි යෝජනා ක‍්‍රමය අවුරුදු 5කින් නිම කිරීමට ජේ. ආර් ට සිදුවිය. ඉන්පසු ශ‍්‍රී ලංකාව ඉතා ක‍්‍රමානුකූලව එතෙක් තිබූ ජන රාජ්‍ය සංකල්පයෙන් ඉවත්වී විදුලි බලයෙන් ක‍්‍රියාකරන යාන්ත‍්‍රික සමාජයක් බවට පත්විය. හැම ආණ්ඩුවක්ම සංවර්ධන යෝජනාවලට යැයි කියමින් පිටරටවලින් ණය ගෙන ඉන් කොටසක් ගසා කා සෙස්ස යොදාගෙන භාගෙට වැඩ කළේය. සිරිමාවෝ බණ්ඩාරනායකගේ දේශීය ආර්ථික ප‍්‍රතිපත්තිය මත විසිඅවුරුද්දක ගමනක් යෑමට අපට හැකියාව තිබුණේ නම් අද වනවිට වියට්නාමය වැනි කාටවත් ණය නැති මධ්‍යම පාන්තික රටක් බවට පත්වීමට අපට ඉඩ තිබිණි. එහෙත් දැන් කෙළවී හමාර ය. අපට කෙළවුණේ ඇයි දැයි කවුරුහරි ඇසුවොත් උත්තරය ඉහළින් ලියාඇති කරුණු ටිකය.

advertistmentadvertistment
advertistmentadvertistment