පන්හිඳෙන් එහා මිනිසුන් අතර – (සමාජ විද්‍යාත්මක වෘත්තාන්තයකි)

268

කර්තෘ – සුනිල් එස්. රත්නායක
කර්තෘ ප‍්‍රකාශනයකි

‘‘අයුක්තිය අසාධාරණය පිටුදකිනු වස් දිගු කලක් මා හා බැඳී අරගලයක යෙදුණු අවසන් මොහොතේ පවා මා හැරනොගිය වෙල්ලස්සේ දයාබර මිනිසුනි. ලෙයින් කඳුළින් සුසුමින් අප ලැබූ කටුක ජීවන අත්දැකීම සරලව ඔප මට්ටම් කර පුදමි ඔබ අබියස සුසුවඳ මල් මිටක් විලසින.

සමාජ විද්‍යාත්මක වෘත්තාන්තයක් ලෙස පන්හිඳෙන් එහා මිනිසුන් අතර කෘතියේ පිදුම තුළ (සරල වැකි කිහිපය තුළ) පොතේ අන්තර්ගතය පිළිබඳව සියුම් ඉ`ගියක් ඇතැයි සටහන් කළහොත් එය නිවැරදිය.

කෘතියේ කතුවර සුනිල් එස්. රත්නායකයන් ඉංග‍්‍රීසි ගුරු භවතෙකු ලෙස සිය ජීවිතයේ වසර ගණනාවක් තමා ලත් අත්දැකීම්, අතිශය කටුක අත්දැකීම්, නවමු විලාසිතාවකට පාඨකයා හමුවේ තබනුයේ විටින්විට තමන් මුහුණදුන් සිදුවීම් තුළ විවිධ භූමිකාවන් නිරූපණය කළ ආකාරය විග‍්‍රහ කරමිනි.

පන්හිඳෙන් එහා මිනිසුන් අතර ඇතැමෙකුට පරිච්ෙඡ්ද විසිදෙකක් පුරා විහිදෙන නවකතාවක් ලෙස රසවිඳිය හැකි අතර තවත් කෙනෙකුට අරගලවලින් පිරුණු ජීවිතයක අභීත පියසටහන් පෙළක් සේ වින්දනය කළ හැකිය. විටෙක මෙය පර්යේෂණයකි. තවත් විටෙක ජන වීරයෙකුගේ අතීතාවර්ජනයකි. කෙසේ වෙතත් පන්හිඳෙන් එහා මිනිසුන් අතර කෘතිය වූ කලී පාඨක ප‍්‍රජාව ඇද බැඳ රඳවා ගන්නට සමත් නැවුම් කෘතියක් සේ හැඳින්වීම බොහෝ දුරට නිවැරදිය. කර්තෘ ප‍්‍රකාශනයක් ලෙස එළිදැක ඇති මෙම කෘතියේ කතුවර සුනිල් රත්නායකයන් රජයේ ඉංග‍්‍රීසි ගුරුවරයකු ලෙස මොණරාගල දිස්ත‍්‍රික්කයේ අතිදුෂ්කර පාසලකට පත්වීමක් ලබා පැමිණීමෙන් ඉක්බිති ඒ ආසන්නයේ පිහිටි බහුජාතික සමාගමක උක් කර්මාන්ත ශාලාවක් වෙතින් සිදුවන පාරිසරික හානි වළක්වා ගැනීම සඳහා ගම්වාසීන්ට නායකත්වය දීම හරහා මෙම වෘත්තාන්තය දිග හැරේ.

ඉන් අනතුරුව කතුවරයා මුද්‍රිත මාධ්‍යවේදියෙකු, සිවිල් සමාජ ක‍්‍රියාකාරියකු, වෘත්තීය සමිති නායකයකු, පරිසරවේදියෙකු, මතුනොව ඡුායාරූප ශිල්පියෙකු වශයෙන්ද පෙළහර පානුයේ ඇතැම් විටෙක ජීවිතාශාව පවා පසෙක ලමිනි.

සිය අත්දැකීම් ඇතුළත් සෑම පරිච්ෙඡ්දයක්ම අවසානයේ නිගමනය සහ සමාජ විද්‍යාත්මක න්‍යායයන් ඇතුළත් කිරීම තුළින් කතුවරයා කෘතියට නව ප‍්‍රාණයක් ලබාදී තිබේ. හේ විවිධ හැඩතලවලින් යුත් අත්දැකීම් කියන්නට යොදා ගන්නා සරල එහෙත් ප‍්‍රාණවත් බස්වහර පොත බිම තබන්නට ඉඩනොදෙන අන්දමේ එකකි.

මනෝමය ලියවිලි මේ තුළ නොමැති අතර සිය කතාව පාඨකයා තුළ විශ්වසනීය ලෙස දිග හැරීම සඳහා කතුවරයා ජීවමාන සාක්‍ෂි නා නා ආකාරයේ මූලාශ‍්‍ර තුළින් දක්වා තිබීම පැසසුම් කටයුතුය.

තමා උගත් දේ සමාජය හමුවේ මුදාහරින කතුවරයා ප‍්‍රදේශයේ බලගතු සීනි සමාගමක පාරිසරික දූෂණ එහිම සිදුවන සේවක මර්දනයන්, මේතාක් නොවිසඳුණු පහළ ඌවේ වනඅලි ගැටලූව, තදාසන්න පෙදෙස්වල ගොවින්ගේ ඉඩම් අර්බුද, සේවකයින් වෙනුවෙන් නියෝජනය නොවන වෘත්තීය සමිතිවල නොහික්මුණු ක‍්‍රියාකාරකම් ඇ`ගළුම් කම්හල්වල දීර්ඝ කාලීන ගැටලූ, දුම්කොළ සමාගම්වල හිතුවක්කාරකම් අබියස ජනතාව සංවිධානාත්මකව පෙළගස්වන ආකාරය කෘතියේ මැනැවින් පෙන්වා දෙයි.

සමාජවිද්‍යාව විෂයයක් සේ හදාරන අය අලූත් අත්දැකීමක් ලබාදෙන මෙම කෘතිය පිළිබඳව හැඳින්වීමක් සපයන රුහුණ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යනාංශයේ ප‍්‍රධානී ආචාර්ය එන්. වී. ජී. ඒ. හේමන්ත කුමාර මහතා සඳහන් කරනුයේ මෙවැන්නකි.

‘‘සුනිල් රත්නායකයන් සිය වෘත්තීය භූමිකාව ඉටු කරන අතරතුර කරන ලද ප‍්‍රජා මැදිහත් වීම පිළිබඳ ඔහු මෙහි ලියන ලද සමාජ විද්‍යාත්මක වෘත්තාන්තයේ විශේෂත්වයක් මම දකිමි. එනම් තම අතීත ජීවිතය තුළ සිදු කරනු ලැබූ එම ක‍්‍රියා ප‍්‍රජා මැදිහත් වීම පසු කාලීනව ඔහු විසින් හදාරනු ලැබූ සමාජ විද්‍යාත්මක ශික්‍ෂණ ක‍්‍රමවේදයක් තුළට ගැනීමට වෑයම් කිරීමයි.

මේ නිසා සමාජවිද්‍යාව හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙම කතුවරයා ඉදිරිපත් කරන සිද්ධි පිළිබඳව නව විග‍්‍රහයන් ඉදිරිපත් කිරීමටද අවස්ථාව සැලසී තිබේ.

මේ අර්ථයෙන් සැලකූ කල සුනිල් රත්නායක මහතා සම්පාදනය කළ මෙම ග‍්‍රන්ථය අපගේ ඇගයුමට ලක් විය යුතුය.’’

අවසන් වශයෙන් කිව යුතුව ඇත්තේ සැබෑ ජීවන සිද්ධි මේ තරම් තාත්විකව ලියැයුණු ආකාරයක් මෑත කාලයේ දක්නට නොලැබුණු බවය.

* දඹේගොඩ ජිනදාස
 

advertistmentadvertistment
advertistmentadvertistment