බීමතින් රිය පැද අනතුරක් කිරීමේ වරද පිළිගෙන නවසීලන්ත අධිකරණ ඇමැතිනිය ඉල්ලා අස්වෙයි

320

බීමත්ව රිය පැදවීමෙන් අනතුරක් සිදු කිරීමේ වරද පිළිගත් නවසීලන්ත අධිකරණ ඇමැතිවරිය සිය අමාත්‍ය ධුරයෙන් ඊයේ (24දා) ඉල්ලා අස් වී තිබේ.

පෙරේදා (23දා) රාත්‍රියේ නවසීලන්තයේ අගනුවර වන වෙලින්ටන් නගරයේදී බීමතින් රිය අනතුරක් සිදු කර ඇති නවසීලන්ත අධිකරණ ඇමැතිනිය වන 39 හැවිරිදි කිරි ඇලන්ට එරෙහිව නවසීලන්ත පොලිසිය විසින් නොසැලකිලිමත්ව රිය පැදවීමේ හා අත්අඩංගුවට ගැනීමට විරුද්ධ වීම යන චෝදනා ගොණු කර තිබූ අතර ඇයට එරෙහිව පැවැත්වූ මත්පැන් පානය කර ඇතිදැයි පිරික්සීමේ පරීක්ෂණයේදී රිය අනතුර සිදු වන අවස්ථාවේ හිටපු ඇමැතිනිය බීමත්ව සිටි බව තහවුරු වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

අදාළ රිය අනතුරෙන් කිසිවකුටත් හානි සිදු වී නොමැති අතර පොලිසිය විසින් බීමත්ව රිය පැදවීමේ චෝදනාව මත හිටපු අධිකරණ ඇමැතිවරිය අත්අඩංගුවට ගෙන පැය හතරකට පමණ පසු නිදහස් කර තිබේ. ඉදිරි දිනයකදී ඇයට එරෙහි චෝදනාවලට මුහුණ දීම සඳහා ඇය අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට නියමිතය.

අධිකරණ අමාත්‍ය ධුරයට අමතරව කලාපීය සංවර්ධනය හා හදිසි ආපදා කළමනාකරණය යන විෂයයන් සම්බන්ධ ඇමැතිවරියද වූ කිරි ඇලන්ට සිය පෞද්ගලික ජීවිතයේ අත්විඳීමට සිදුව ඇති අතිශයින් දරුණු චිත්තවේගී පීඩන තත්ත්වය හේතුවෙන් මෙම ඉරණමට මුහුණ පෑමට සිදුව ඇති බව විදෙස් මාධ්‍ය විසින් පෙන්වා දී ඇත. ඉකුත් මාසයේ සිය සහකරුගෙන් වෙන්වීම මෙන්ම අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය සමග සහයෝගයෙන් වැඩ නොකිරීමේ චෝදනා එල්ල වීම නිසා ඇය කලක් රාජකාරි කටයුතුවලින් ඈත් වී සිටීමටද පියවර ගෙන තිබිණි.

අධිකරණ ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වුවද කිරි ඇලන් දිගටම ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරියක ලෙස කටයුතු කරන බව අගමැති ක්‍රීස් හිප්කින්ස් පවසා තිබේ. ඉකුත් මාර්තු මාසයේ සිට විවිධ හේතු මත නවසීලන්ත රජයෙන් ඉල්ලා අස් වූ හතරවැනි ඇමැතිවරයා හිටපු අධිකරණ ඇමැතිවරියයි. නවසීලන්තයේ මහ මැතිවරණය ලබන ඔක්තෝබරයේ පැවැත්වීමට නියමිතය.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment