බෝ නොවන නමුත් බෝකර ගත හැකි මන්දපෝෂණය

414

රටේ සමස්ත පාසල් දරුවන් ආහාර ප්‍රශ්නයකට මුහුණ දෙන නිසා ඔවුන්ට දිවා ආහාර වේලක් නොපමාව ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය. මෙය ඔහු විසින් කලකට පසු කරන ලද සාධනීය ඉල්ලීමකි. ආණ්ඩුව රජයේ වියදම් වැඩිකර ඇති නිසා ඉන් මුදල් යොදාගෙන මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙස ප්‍රේමදාස මහතා තවදුරටත් සඳහන් කළේය. ළමයින්ට දවල්ට කන්න නැත්නම් එය කිරීම සඳහා රජය බැඳී සිටින බව අපිද විශ්වාස කරමු. එහෙත් වැඩිකරන ලද රජයේ වියදම් වලින් එය කරන්නේ කෙසේදැයි අපට නොතේරෙයි. සජිත් ප්‍රේමදාස මහතාටද එය නොතේරෙන බවත් ඔහු විසින් කරන ලද මේ දිවා ආහාර ඉල්ලීම සංඛේතාත්මක ඉල්ලීමක් බවත් අපගේ මතය වේ. මේ රටේ දරුවන් කන්න නැති කමින් මන්දපෝෂණ ගැටලුවකට මුහුණ දී සිටින බවට මතයක් ගොඩනැගී තිබේ. ඒ බව යුනිසෙෆ් සංවිධානයද කියයි. ඊට අමතරව ලංකාවේ ජනයාට කෑම ලබාදීම සඳහා ඩොලර් පහේ සිට ඉහළට මුදල් එකතු කිරීමේ ව්‍යාපාරයක් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පටන්ගෙන ඇත. මෙය ප්‍රමාණවත් අරමුදලක් බවට පත්වූ පසු එහි වටිනාකමට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලට ගෙන ශ්‍රී ලංකාවට පැටවීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අරමුණ වී තිබේ. එහෙත් කටුනායක ගුවන් තොටුපළින් බිමට බැස හයිවේ එක දිගේ කොළඹට විත් ගාලු පාර දිගේ ගමන් කරන විට තමන් පසුකර යන පැජරෝ, මොන්ටෙරෝ, V8, අවුඩි, පෝෂා, ජගුවර් වැනි සැප වාහන පාර දිගේ ගමන් කරන ජෙට්, ප්ලේන් මෙන් ඉගිලෙනු දකින කිසිදු විදේශිකයෙක් ලංකාවේ දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙන බව විශ්වාස කරන්නේ නැත.

මන්දපෝෂණය යනු බෝවෙන රෝගයක් නොවේ. එය ආහාර රටාව මගින් බෝ කළ හැකි රෝගයකි. මේ රටේ ළමයින් වැඩිදෙනා එක්කෝ පාසල් එන්නේ නිරාහාරවය. එපමණ උදයෙන් ආහාර ගැනීමේ පුරුද්දක් ලාංකිකයන්ට නැත. එබැවින් ඔවුහු ගෙදරින් පාන් කාලක් මැදට මොකක් හෝ ඔබාගෙන විත් ඉන්ටර්වල් එකට ගිල දමති. නැත්නම් පාසලේ කැන්ටිමෙන් බනිස්, හොට්ඩෝග් වැනි යමක් ගිල දමති. පෝෂ්‍ය පදාර්ථ සහිත ආහාර ගැන ශ්‍රී ලංකාවේ දෙමාපියන්ට දැනුමක් නැත. එවැනි ආහාර අනුභව කර පුරුද්දක් ළමයින්ට නැත. පාසල් කැන්ටිමේදී විකිණිය හැක්කේ බනිස්, හොට්ඩෝග්, චයිනීස් රෝල්, පැටිස්, කට්ලට් වැනි ආහාර ද්‍රව්‍ය පමණි. තැම්බූ බඩඉරිඟු කරල් දෙකක්, කව්පි පිඟානක්, ලුණු මිරිස් සහ මඤ්ඤොක්කා ටිකක්, බතල ස්වල්පයක්, තැම්බූ කොස් පිඟානක් උදේ ආහාර වශයෙන් කිසිදු පාසල් කැන්ටිමක විකිණීමට නොහැක. ඒ ආහාර ළමයින්ට පුරුදු නැත. Fast Foods ලෙස හැඳින්වෙන තෙලෙන් බැද්ද ආහාර වලට දරුවන්ගේ ඇස, දිව සහ සිත කැමතිය. මේ රටේ ළමයින්ගෙන් 75% ක් පමණ දිවා ආහාර ගන්නේ පාසැල නිමවී ගෙදර ගොසිනි. එකහමාරට ඉස්කෝලේ අරුණු විට ඇතැම් ළමයෙක් සවස තුන පමණ වන විට වැනි වැනී ගෙදර එයි. තවත් ළමයෙක් ගෙදරින් ගෙනෙන බත් මුල මිතුරන් දෙදෙනකු හෝ තිදෙනකු සමග බෙදාගෙන කා ටියුෂන් දුවයි. ඉහත සඳහන් ව්‍යුහය තුළ දරුවා යන ඒකකය හුළං වලින් මිස ආහාර වලින් ගොඩනැගෙන්නේය යන මතවාදයක් හටගන්නේ නැත. ඒ නිසා දරුවන්ට මන්දපෝෂණය වැළඳෙයි. ඔවුන් එම රෝගය බෝකරගෙන ඇත්තේ තම වැඩිහිටියන්ගේ අනුග්‍රහයද සහිතව පිදුරු වැනි ආහාර වේලක් ගිල දැමීමෙනි. මේ රටේ ජනයාගේ ආහාර වේල ගැන හරියටම දන්නේ බිත්තර මුදලාලි යැයි කියමනක් තිබේ. බිත්තර මුදලාලි අපට බිත්තර දෙන්නේ පිදුරුත් සමගය. අපේ චින්තනයට වඩාත් ගැළපෙන ආහාරය පිදුරුය.

පාසල් දරුවන්ට දිවා ආහාරය සැපයීම අදටත් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය පාසල්වල සිදුකෙරේ. මෙය සිදුවන්නේ දෙමාපියන්ගේ මූල්‍ය දායකත්වයෙනි. පන්තියේ ළමයි තිස්දෙනකු සිටී නම් දිනකට දෙමාපියන් පස්දෙනා බැගින් සංවිධානය වී බතක්, එළවළු දෙකක්, මැල්ලුමක් සහ මසක් මාළුවක් සමග දරුවන්ට දිවා ආහාර වේල පිළියෙල කර දෙති. මේ පණිවිඩය කොළඹ සිටින දේශපාලනඥයන් දන්නේ නැත. එබැවින් සජිත් ප්‍රේමදාසගේ සංකල්පයත් ආණ්ඩුවෙන් සල්ලි ටිකකුත් දෙමාපියන් විසින් ස්වෙච්ඡාවෙන් පාසල්වලට දෙන ආහාර වේලත් එකතුකර වඩා හොඳ දිවා ආහාර වේලක් මේ රටේ පාසල් දරුවන්ට ලබාදිය හැකි බව අපගේ විශ්වාසය වේ.

advertistmentadvertistment
advertistmentadvertistment