නලින් ද සිල්වා – (දාර්ශනික පරිච්ඡේදයක අවසානය)

1179

පසුගිය ශතවර්ෂයේ ඉපිද මේ ශතවර්ෂයෙහි මත ප්‍රකාශනයෙහි යෙදුනු විශිෂ්ටතම සිංහල බෞද්ධ චින්තකයා ලෙස සැලකෙන මහාචාර්ය නලින් ද සිල්වා පසුගියදා මරණයට පත්වන්නේ මෙරට දාර්ශනික ලෝකය තුළ සුවිශාල රික්තයක් සාදමිනි. මේ රික්තය පිරවීම සඳහා අවශ්‍ය දාර්ශනික අමුද්‍රව්‍ය අප අවට ඇත්තේ ඉතා ස්වල්ප වශයෙනි. මේ අමුද්‍රව්‍ය සියල්ල එකතු කරගෙන නලින් ද සිල්වාගේ මොඩලයේ තවත් දාර්ශනිකයකු බිහිවීම සඳහා අප තවත් බොහෝ කල් බලාසිටිය යුතුය. 1944 දී උපදින නලින් ද සිල්වා සෛධාන්තික භෞතික විද්‍යාඥයකු සහ ගණිතඥයකු ලෙස ප්‍රකට ය. ඔහු මුලින්ම ලබන්නේ බටහිර ලෝකය සතු විද්‍යා දැනුමයි. එහෙත් පසුකාලයේදී එම විද්‍යා දැනුම ව්‍යච්ඡේදනය කළ නලින් ද සිල්වා බටහිරට ගැති ඇතැම් වංචනික නිර්නායක වලට පහරදීමට පටන් ගත්තේය. ඔහු ඒ හැම දෙයක්ම දුටුවේ විඥ්ඥානවාදයේ සහ යථාර්ථවාදයේ මුසුවක් ලෙසිනි. සෑම භෞතික විද්‍යාත්මක තියරියක්ම විඥ්ඥානවාදී සමීකරණයක් මගින් ලියාදැක්වීමට ඔහුට හැකි විය. ඔහු සිය තරුණ වියේදී දෙවියන් වහන්සේ හෝ වෙනත් පාරභෞතික තලයන් ගැන විශ්වාස කලේ නැත. එයට හේතුව දැනට සිටින දෙවියන් වහන්සේ බටහිර ලෝකවාසී සිටින පූජකයන් විසින් සුවඳ පැනින් නහවා පවුඩර් දමා ජංගියක් ඇන්දවූ චරිතයක් බව ඔහුට පෙනී යෑමය. මේ ලෝකයේ සිටින දාර්ශනිකයන් වැඩිහරියක් ආසියාවේ හෝ සුළු ආසියාවේ උපත ලද්දෝ වෙති. බුදුන් වහන්සේ ආසියාතිකයෙකි. ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ සුළු ආසියාතිකයෙකි. මේ අර්ථයෙන් ගත් කල මහම්මත්තුමාද සුළු ආසියාවෙන් බිහිවූ විශිෂ්ට දාර්ශනිකයකු ලෙස අර්ථ දැක්විය හැකිය. ලෝකයේ විශිෂ්ටතම ගණිතඥයා ලෙස සැලකෙන සිරිනිවාස රාමනුජන් ඉන්දියාවේ උපන්නෙකි. බහායි ආගමේ ප්‍රධානියා වූ බහා උල්ලා තුමා ඉපදුනේ පර්සියාවේ ය. මධ්‍යකාලීන යුගයේ ලෝකයේ හොඳම ගණිතඥයෝ අරාබිකරයෙන් පහළ වූහ. ඒ යුගයේදී යුරෝපයේ සිටි ගණිතඥයෝද විද්‍යාඥයෝද පබ්ලිසිටි මගින් පුම්බනු ලැබීමට ලක්වී international පොරවල් බවට පත්වූහ. ඇපල් ගෙඩියක් හිස මතට වැටීම නිසා ගුරුත්වාකර්ෂණය පිළිබඳ නියමය සොයාගන්නේ අයිසෙක් නිව්ටන් ය. ඔහුට පෙර සිටි ඇතැම් ආසියාතික විද්‍යාඥයෝ ගුරුත්වය පිළිබඳ මූලික න්‍යාය දැන සිටියහ. අයිසෙක් නිව්ටන් ලංකාවේ නූපන්නේ ඔහුගේ පෙර වාසනාවකටය. එදා ඇපල් ගෙඩියක් වෙනුවට ලංකාවේ පොල් ගෙඩියක් ඔහුගේ හිස මතට වැටුනේ නම් ගුරුත්වාකර්ෂණය පිළිබඳ ආසියාතික මූලධර්ම ඉස්මතුවීමට ඉඩ තිබිණ. මහාචාර්ය නලින් ද සිල්වා යනු ආසියාතික උණුසුම් රුධිරය සහිත විද්වතෙකි. ඔහු ත්‍රස්තවාදයට සහ දෙමළ ජාතිවාදයට දැඩි සේ විරුද්ධ වූ අතර සිය රතු පැහැති කබල් කාරයේ නැගී තැන තැන සෙනග රැස්කොට ස්වකීය මත පළකරමින් විශාල ජන මතයක් ගොඩනැගුවේය.

මහාචාර්ය නලින් ද සිල්වා සිය මත ප්‍රචාරය කිරීම සඳහා යොදාගත් ප්‍රමුඛ වේදිකාව වූයේ දිවයින, විදුසර සහ දි අයිලන්ඩ් නමැති පුවත්පත් ය. මේවා මගින් ඔහු දේශනා කළ ධර්මය කොතරම් යථාර්ථවාදී වුවද ඒවායේ ස්වරූපය ඉතාම සාහසික විය. එබැවින් නලින් ද සිල්වා එක ලිපියක් පත්තරේ පළ කරන විට ඊට උත්තර වශයෙන් තවත් ලිපි සීයක් අපට ලැබිණ. ඔහු සතු එකම දුර්වලතාව වූයේ ප්‍රතිවිරුද්ධ මත පිළිගැනීමට වූ නොකැමැත්තය. තම මතය ඉතාම පිරිසිදු බවත් සැබෑ බවත් ඔහු දැන සිටීම එයට හේතු විය. මේ රටේ බුදු දහම දාර්ශනිකයන් අතර කොටස් දෙකකට බෙදී තිබේ. එයින් පළමුවැනි ගුරු කුලය ධර්මපාල බුද්ධාගම ය. දෙවැනි ගුරු කුලය ඕල්කට් බුද්ධාගම ය. ලංකාවට පැමිණි හෙන්රි ස්ටීල් ඕල්කට් ආසියාතික ආගම් පිළිබඳ පර්යේෂණ කළ යුද සෙබළෙකි. ඒ සඳහා පිහිටුවාගත් පරම විඥ්ඥානාර්ථ සමාගම නමැති NGO එකක් ඔහුට තිබිණ. ලංකාවේ බුදු දහම පරිහානියට පත්වෙතැයි බියවූ හෙන්රි ස්ටීල් ඕල්කට් තම විලාසිතාව අනුව බුදු දහමේ පිට පොත්ත පොලිෂ් කළේය. ඉපැරණි බෞද්ධයන්ට කොඩියක් නැත. ඕල්කොට්තුමා බෞද්ධ කොඩියක් හඳුන්වා දුන්නේය. ඉපැරණි බෞද්ධයන්ට වෙසක් කාඩ් නැත. එකල තිබුණේ කතෝලික නත්තල් කාඩ් පමණි. ඕල්කොට්තුමා වෙසක් කාඩ් සංස්කෘතියට අවශ්‍ය මතවාදී පදනම දමා දුන්නේය. ඉපැරණි බෞද්ධයන්ට වෙසක් භක්ති ගීත නැත. එහෙත් කතෝලිකයන්ට එදා සිටම නත්තල් කැරොල් ගී තිබිණ. වෙසක් භක්ති ගීත වලට මූලාදර්ශය සපයන ලද්දේ ඕල්කට්තුමාගේ මතවාදය විසිනි. ධර්මපාල බුද්ධාගමේ හරය මීට වඩා වෙනස්ය. ඒ බුද්ධාගම තනිකරම සිංහල බෞද්ධ brand එක හදවතේ තබාගත් දහමකි. නලින් ද සිල්වාගේ ගුරුකුලය ධර්මපාල ගුරුකුලය සමග එකට ගමන් කළේය. මෙහිදී ඕල්කට්තුමාටද දොස් කීමට බැරිය. බුදුන් වහන්සේගේ ප්‍රතිමා ග්‍රීක කලාවට අනුව නිර්මාණය කෙරුණු අවස්ථා තිබිණ. එය හඳුන්වන්නේ ගාන්ධාර ප්‍රතිමා කලාව ලෙසය. එයට හේතුව රෝම අධිරාජ්‍යයා වූ මහා ඇලෙක්සැන්ඩර් ගාන්ධාර දේශය හෙවත් ඇෆ්ගනිස්ථානය හරහා ඉන්දියාවට පැමිණ ආපසු හැරී යෑමය. මේ නිසා ගාන්ධාර දේශය හෙවත් ඇෆ්ගනිස්ථානයට හා පාකිස්ථානයට ග්‍රීක ප්‍රතිමා කලාව ලැබුණු අතර බුද්ධ ප්‍රතිමා ඉතා සියුම් වූද ඉතා ප්‍රණීත වූද ග්‍රීක ලක්ෂණ නිරූපණය කරමින් පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය තුළ නිර්මාණය වීමට පටන් ගත්තේය. ඕල්කට්තුමා බුද්ධාගම පොලිෂ් කළේ තමා එතෙක් දැන සිටි කතෝලික දහමට සම්පාත වන පරිදිය. නලින් ද සිල්වා මේ කිසිවක් නිදහසට කාරණා සේ සැලකු කෙනෙක් නොවේ. පසුකාලයේදී ඔහු ලියන දෑ පුවත්පත්වල පළ කිරීමට නොහැකි තරම් සැඩ පරුෂ විය. ඒවා පත්තරවල පළ නොවුණු කල්හි ඔහු අන්තර්ජාලයට පිවිස බ්ලොග් එකක් හදාගෙන මත පැතිරවීමෙහි නියුතු විය.

නලින් ද සිල්වා යනු මේ රටේ දාර්ශනික පරිච්ඡේදයක අවසානය වේ. අන්තිම කාලයේදී තමා වටා පවතින ලෝකය ගැන ඔහු මහත් සේ කලකිරී සිටියේය. අවුරුදු 80 දී සිදුවුවද නලින් ද සිල්වාගේ මරණය අකල් මරණයකි. ඒ මරණයෙන් හටගත් චින්තනමය ඝන අන්ධකාරය තුරන් වන දවසක් හරියටම කිව නොහැක.

advertistmentadvertistment
advertistmentadvertistment