අපේ ආණ්ඩුවක් යටතේ විපක්ෂය ජේ.වී.පී… හොරු රකින එජාපය සමඟ එක්වීමක් නෑ

320

හොරු රකින එජාපය සමඟ එක්වීමක් නෑ
තරුණ අරගලය වටහා නොගත්තොත් එය බරපතළ වරදක් – පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර්

කුරුඳු පොලු, බැටන් ප්‍රහාර, කඳුළු ගෑස් තරුණ නැඟිටීමට පිලියම් යැයි ඇතැමුන් සිතන්නේ නම් එය බරපතළ වැරැද්දක් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකිර් මාර්කර් මහතා පැවසුවේ ‘දිවයින ඉරිදා සංග්‍රහය’ සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. පක්ෂයේ අර්බුදය, තරුණ අරගලය ඇතුළු කරුණු කාරණා ගණනාවක් පිළිබඳ මෙම සාකච්ඡාවේදී ප්‍රශ්න කළ අතර එම සාකච්ඡාවේ සවිස්තරයක් පහත දැක්වේ.

ප්‍රශ්නය : ඔබ ජනතාවගේ හදවතට කතා කරන දේශපාලනඥයකු ලෙස ප්‍රකටයි. නමුත් මේ මොහොතේ ඔබගේ හදවත රිදිලා නේද තිබෙන්නේ.

පිළිතුර : ඇයි එහෙම අහන්නේ.

ප්‍රශ්නය : පළාත් පාලන මැතිවරණයේදී ඔබගේ නියෝජිතයකු නොසලකා බේරුවල ප්‍රාදේශීය සභාවේ වෙනත් මන්ත්‍රීවරයකුගේ නියෝජිතයකු ඉදිරිපත් කර ඇති බව කියවෙනවා.

පිළිතුර : එහෙම ප්‍රශ්නයක් නැහැ. නමුත් පක්ෂය තුළ ඇති යම් යම් ආරවුල් සමථයකට පත් කරන්න අප කටයුතු කර තිබෙනවා.

ප්‍රශ්නය : ඔබ මැතිවරණ වේදිකාවේ මේ මොහොතේ නිතර දකින්න නැති බව පෙනෙන්න තිබෙනවා.

පිළිතුර : ඔබ මං ගැන හරියට හොයලා බලන්නේ නැතුව ඇති. මම දිගටම මැතිවරණ වේදිකාවේ හිටියා. රට පුරා මම ගියා. මම ක්‍රියාකාරීව සිටිනවා.

ප්‍රශ්නය : නමුත් ඔබගේ තැන පක්ෂයේ වෙන කෙනෙක්ට ගොස් තිබෙනවාද? සුජීව සේනසිංහ මහතාට ඔබගේ ස්ථානය ලබාදීලා නේද තිබෙන්නේ.

පිළිතුර : තැන් ගැන වධ වෙන්න ඕන නැහැ. ප්‍රතිපත්තිය තමයි වැදගත්. මේ තැන තමයි අපේ තැන. අපගේ එජාපය ප්‍රතිපත්තිවලින් පිට පනිනකොට ඒ වෙනුවෙන් අප අරගලයක් කළා. අභ්‍යන්තර ප්‍රතිපත්තිවල ගැටලු එන කොට ඒ වෙනුවෙන් කතා කළා. ඒ ප්‍රතිපත්තිමය ප්‍රශ්න. එහෙම නැතිව කාත් එක්කවත් රණ්ඩු සරුවල්, තැන ගැන හැප්පීම් මගේ ඉතිහාසයේවත් මගේ පියාගේ ඉතිහාසයේවත් නැහැ.

ප්‍රශ්නය : ඔබ පක්ෂයේ නායකයා වන සජිත් ප්‍රේමදාස මහතා තුළ සෘජු නායකයකු ඔබ දකිනවාද?

පිළිතුර : අපි වැඩ කරන්නේ පෘතග්ජන මිනිස්සු සමඟ. රහත් වුණ මිනිස්සු සෝවාන් වුණු මිනිස්සු නැහැ. ඒ නිසා සජිත් ප්‍රේමදාස මහතා අඩුපාඩු නැති නායකයකු කිව්වොත් එය නිවැරදි නැහැ. සජිත් ප්‍රේමදාස මහතා අපේ දේශපාලන කඳවුරේ ඒකමතික තීරණය වෙලා තිබෙනවා.

ප්‍රශ්නය – ඔබතුමන්ලා එජාපය හැර ගියේ එහි ඇති බරපතළ අඩුපාඩු ගැටලු නිසා. විශේෂයෙන් එහිදී කියවුණේ රනිල් වික්‍රමසිංහ මහතා එක පිරිසකගේ නියෝජනයක් කියලයි. එම චෝදනාවම මේ මොහොතේ සජිත් ප්‍රේමදාස මහතාටත් එල්ල වනවා නේද?

පිළිතුර – ඕනෑම නායකයකුට ඔය වගේ චෝදනා එල්ල වනවා. නමුත් අප පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර සහතික කර තිබෙනවා. අපගේ පක්ෂයේ ව්‍යවස්ථාව අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර ඇති ව්‍යවස්ථාවක්. අප පක්ෂයේ නායක පරම්පරාවක් නැහැ. අනිත් පක්ෂ දිහා බලන්න. අපගේ පක්ෂයේ එසේ නැහැ. අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය නැතිව එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියයකට වැඩි පිරිසක් අවසානයේ පක්ෂය හැර ගියා. ඒ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය නැති නිසා. සමහර පක්ෂ මනාපවලින් දිනන අපේක්ෂකයා ගෙදර යවලා ඒ වෙනුවට වෙන අය පත් කරනවා. අපගේ පක්ෂය එසේ නෙමෙයි. අඩුපාඩු තියෙනවා වෙන්න පුළුවන්. නමුත් සංසන්ධනාත්මකව අපගේ පක්ෂය අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය අතින් ඉහළින්ම සිටිනවා.

ප්‍රශ්නය : ඇතැම් පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය නොමැති නිසා පක්ෂය හැර ගිය බව ඔබ සඳහන් කළා. නමුත් සමගි ජනබලවේගයෙන් ඒ කියන තත්ත්වය නේද මේ මොහොතේ තිබෙන්නේ. ඔබ පක්ෂයේ හවුල්කාර පක්ෂ ගණනාවක නායකයන් පක්ෂය හැර ගොස් තිබෙනවා.

පිළිතුර : මෙරට දේශපාලනය තුළ එය ස්වභාවික තත්ත්වයක්. බලය සමග ඇතැම් අය වෙන පැතිවලට ආකර්ශනය වනවා. නමුත් අර ඉහත කිව්ව වගේ තත්ත්වයන් අප පක්ෂය තුළ නැහැ. ඔබ කියන තත්ත්වයන් දෙක කිසි ලෙසකවත් සංසන්දනය කරන්න බැහැ.

ප්‍රශ්නය : ඔබ කියන ලෙස පක්ෂය ස්ථාවරයිද?

පිළිතුර : ඔයිට වඩා ස්ථාවරත්වයක් කියන්නේ කුමක්ද? ජනතා ප්‍රසාදය වැඩිපුර දිනාගත් පක්ෂය අප පක්ෂයයි.

ප්‍රශ්නය : එසේ නම් ඔබ පක්ෂයේ සභාපති සරත් ෆොන්සේකා මහතා වෙනත් කඳවුරක් නියෝජනය කරන බව පෙනෙන්නට තිබෙන්නේ ඇයි?

පිළිතුර : මේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. රණ්ඩු වෙවී යාළු වෙවී මේ ගමන යනවා. නායකයා කියන දේට එහෙයි එහෙයි කියන තත්ත්වයක් අප පක්ෂය තුළ නැහැ. ඒ තමයි ප්‍රජාතන්ත්‍රවාදය. පක්ෂය තුළ විනය ප්‍රශ්න පිළිබඳ විවිධ අදහස් ඇති බව මමපිළිගන්නවා. නමුත් අප අවසානයේ එක තැනකට එනවා.

ප්‍රශ්නය : එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ඔබ පක්ෂයට ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකි වෙතැයි ඔබ සිතනවාද?

පිළිතුර : විශිෂ්ඨ ජයග්‍රහණයක් අප ලබා ගන්නවා. අප ජනතාවගේ ප්‍රශ්න තේරුම් අරන් සිටින පක්ෂයක්. ඔවුන්ට අප සංවේදියි. අපට හොඳ නායකත්ව කණ්ඩායමක් සිටිනවා. ජනතාවගේ එකම තේරීම අපි. ඇතැම් පක්ෂ මොන සටන් පාඨ කීවත්, කෘතිමව ජනතාව එකතු කළත් ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න පුළුවන් අප පක්ෂයට පමණක් බව ජනතාව දන්නවා. අපට සිටින්නේ දක්ෂ පිරිසිදු කණ්ඩායමක්.

ප්‍රශ්නය : පිරිසිදු කණ්ඩායමක් සිටින බව ඔබ සඳහන් කළත් බැඳුම්කර වංචා චෝදනාවට ලක්වූ පිරිස් ඔබ පක්ෂය තුළ සිටිනවා.

පිළිතුර : බැඳුම්කර වංචාවේ චෝදනාවට ලක්වූ ප්‍රධාන කිසිවකු අප පක්ෂයේ නැහැ.

ප්‍රශ්නය : ෆුට් නෝට් දාපු සුජීව සේනසිංහ මහතා.

පිළිතුර : එහෙම චොද්නා කරන්න පුළුවන්. ඒවායින් අපට චෝදනා කරන්න බැහැ. ඔන්න කොමිසමකින් හරි වෙන හරි ක්‍රමයකින් චෝදනා එල්ල කළා නම් අපිට පිළිගන්න තිබුණා.

ප්‍රශ්නය : ජාතික ජනබලවේගය මේ මොහොතේ ශීඝ්‍ර නැගිටීමක් ලබා ගෙන තිබෙනවා. මෙම තත්ත්වය ස. ජ. බ. යට අභියෝගයක් නෙවෙයිද?

පිළිතුර : කිසිම අභියෝගයක් නෙමෙයි. හැබැයි සියයට තුනේ සිටි කණ්ඩායම ඉහළට ඇවිත් බව පිළිගන්න වෙනවා. සමගි ජනබලවේගයේ ආණ්ඩුවක් තුළ ප්‍රධාන විපක්ෂය වන්න ජාතික ජනබලවේගයට ඉඩ තිබෙනවා. ප්‍රධාන විපක්ෂය වෙන්න පොදුජන පෙරමුණට හෝ වෙන පක්ෂයකට හැකියාවක් නැහැ. ඒ අවස්ථාව ලබා ගන්නේ ජාතික ජනබලවේගයයි.

ප්‍රශ්නය : ඔබගේ පැරණි නායකයා අද රටේ ජනාධිපතිවරයා. එජාපය සමග එක්ව ගමනක් ගියොත් හොඳ යැයි සිතන්නේ නැද්ද?

පිළිතුර : එලෙස එකතු වෙන්නේ කුමක් සඳහාද? හොරකම් කළ අයව ආරක්ෂා කරන පිරිසක් සමග මොන දේශපාලනයක්ද? එහෙම අය සමඟ එකතු වෙන්න පුළුවන්ද? ඇත්තටම අපි එකතු වෙන්න ඕන ප්‍රතිපත්ති සමග පමණයි. අප අපගේ වැඩපිළිවෙළ රටට ඉදිරිපත් කර තිබෙනවා. අපි එන්නේ දක්ෂ කණ්ඩායමක් සමගයි.

ප්‍රශ්නය : අද රට තුළ පවතින ආර්ථික අර්බුදය ඉතා දරුණුයි. එවැනි තත්ත්වයක් තුළ සජිත් ප්‍රේමදාස මහතාට යම් හෙයකින් රටේ ජනාධිපතිවරයා වුවහොත් පවතින ගැටලුවලට පිළිතුරු සොයන්න ඔහුට හැකියාවක් ලැබේවිද?

පිළිතුරු : එක පාර ප්‍රාතිහාර්ය පාන්න බැරි වේවි. නමුත් අපි රට ගොඩ ගන්න අපගේ සැලසුම සකසා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. අප පෙන්වන පාර හැරෙන්න වෙන පාරක් නැහැ.

ප්‍රශ්නය : රට ගොඩ ගැනීමේ සැලැස්ම ඔබ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. එම බ්ලූ ප්‍රින්ට් එක ඇයි ඔබතුමන්ලා මැතිවරණ වේදිකාව තුළ ජනතාවට කියන්නේ නැත්තේ.

පිළිතුර : ඇත්තටම සෑම බදාදාවකම අපි මාධ්‍ය හමුවකදී ඒ ගැන සංවාදාත්මකව රටට තොරතුරු ඉදිරිපත් කරනවා. අප එය ජනතාව අතරට ගෙන යනවා. අපගේ වෙබ් අඩවිය තුළිනුත් අප එය ජනතාවට ගෙන යනවා. ඒ තුළ ඕනෑම ගැටලුවක් ජනතාවට ඉදිරිපත් කළ හැකියි.

ප්‍රශ්නය : ඒක හරි මන්ත්‍රීතුමා. නමුත් ජනතාව දහස් ගණනාවක් සිටින රැස්වීම් තුළ අනාගත වැඩපිළිවෙළවල් ගැන කතා නැහැ. එය ඔබතුමන්ලාගේ පක්ෂයට පමණක් එල්ල කරන චෝදනාවක් නෙමෙයි. සෑම දේශපාලන පක්ෂයක්ම එකිනෙකාට චෝදනා කරනවා හැරෙන්න අනාගත වැඩපිළිවෙළ ගැන වේදිකාවේ කතා වෙනවා අඩුයි.

පිළිතුර : ඒක ඇත්ත. ඒ සංවාදය අත්‍යවශ්‍යයි. ඒ නිසා අප ආර්ථික වැඩපිළිවෙළ ගැන විද්වත් සාකච්ඡාවක් පටන් ගත්තා. පළමු වැන්න මේ මාසයේ මුලදී කුරුණෑගලදී ආරම්භ කළා. ඒ සඳහා අපගේ නායකයා ඇතුළු ආර්ථික කමිටුවේ සාමාජිකයන් තිදෙනාම එකතු වෙනවා. එහිදී බොහෝ පිරිසකගේ අදහස් ලබා ගැනීමට අප කටයුතු කරනවා. මෙය සෑම දිස්ත්‍රික්කයකටම ගෙන යනවා.

ප්‍රශ්නය – පසුගිය කාලය තුළ ඔබ නිරීක්ෂණය කිරීමේදී දැකිය හැකි කාරණයක් තමයි ඔබ තරුණ ප්‍රජාවගේ අයිතීන් වෙනුවෙන් වැඩි වශයෙන් අදහස් දක්වා ඇති බව. ඔබ ශරීරයෙන් සමගි ජනබලවේගයේ වුවත් හදවතින් ඔබ තරුණ අරගලය සමග නේද?

පිළිතුර : නැහැ. මම දේශපාලනයට ආවේ ශිෂ්‍ය දේශපාලනයෙන්. මම ඉගෙන ගන්න අතරේ දේශපාලනය කළා. මම විශ්වවිද්‍යාලයට එකතු වෙන විට ඒ දක්ෂිණාංශික කඳවුරක් තිබුණේ නැහැ. අපි පළමු වරට ඒ සඳහා ඉදිරිපත් වුණා. අපි හතර වැනියා. ඒ 1974 දී. ඊට පස්සේ 1975 දී අපි තුන්වැනියා වුණා. 1976 දී දෙවැනියා වුණා. 1977 අපි දිනුවා. පැරදුන තුන් වතාවෙම පැරදුන කණ්ඩායම වෙනුවෙන් කතා කළේ මම. හැමදාම හූව තමයි හම්බ වුණේ. මගේ කටහඬ ඇහුනේ නැති තරම්. නමුත් අපි හරියි කියන ප්‍රතිපත්ති තුළ අප හිටියා. ඒ තුළින් අප පන්නරය ලැබුවා. ඒ ඇත්තටම එම දේශපාලනය නිසා පමණක් නෙමෙයි. මම තරුණ ප්‍රජාව ගැන කතා කරන්නේ. අද දවසේ තරුණයන්ට තැනක් ලැබිය යුතුයි. ඒ අයගේ අනාගතය තීන්දු කරන තැන්වල ඒ අයගේ හඬට ඉඩක් නැත්නම් අසාධාරණයක්. නවසීලන්තයේ අගමැතිනිය ජසින්තා මහත්මිය කැනඩාවේ අගමැති ජස්ටින් ටෲඩෝ ගන්න. අපි ඉතා අගය කරන චරිත. ප්‍රගතිශීලී අදහස් ඇති තරුණ නායකයන් තරුණ අවධිය කියන්නේ අවංකකම, ජවය තියන අවධියක්. එහි ප්‍රතිඵල අප ලබා ගත යුතුයි. හොඳ බුද්ධිමත් තරුණ පරම්පරාවක් අප රටේ ඉන්නවා. රටේ තීරණාත්මක තැන්වල ඒ අයට දොර වහනවා කියන්නේ අපි ඒ අයව ප්‍රචණ්ඩත්වයට තල්ලු කරනවා කියන එකයි. ඒ සම්බන්ධයෙන් අපට නරක ඉතිහාසයක් තිබෙන්නේ. උතුරේ සහ දකුණේ එවැනි තරුණයන් නැගිට්ටා. තරුණ නැගිටීම්වලට කුරුඳු පොලු, බැටන් ප්‍රහාර, කඳුළු ගෑස් තමයි විසඳුම කියලා කවුරු හරි හිතනවා නම් අපි යන්නේ හොඳ තැනකට නෙමෙයි.

ප්‍රශ්නය : ඒ ප්‍රචණ්ඩත්වයට ඉඩ නොතබන බව ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී දැඩිව ප්‍රකාශ කළා. ඒ ගැන ඔබගේ අදහස

පිළිතුර : මේ දෙබඩි හැසිරීමක්නේ. ඔහු පාර්ලිමේන්තුව තුළත් හැසිරෙන්නේ සිට්ඩවුන් න්‍යායෙන්. විධායකය පාර්ලිමේන්තුව පාලනය කරනවා. ජනාධිපතිවරයා ජනපති වෙන්න කලින් අරගලය සමයේ කිව්වේ ඔහු අරගලය සමග ඉන්න බවයි. අගමැති කාලයේ කිව්වේ අරගලයට අවශ්‍ය සියලු පහසුකම් දෙන බව. එය සාධාරණයි කිව්වා. ප්‍රජාතන්ත්‍රවාදීයි කිව්වා. නගර සභාවෙන් පහසුකම් දෙනවා කිව්වා. හැබැයි ජනාධිපති ඒ පැය විසිහතරක් යන්න මත්තෙන් අරගලයට පහරදී එය විනාශ කර දැම්මා. එය මිලේච්ඡ ප්‍රහාරයක්. ඔහු තුළ ඇත්තේ දෙබඩි හැසිරීමක්.

සාකච්ඡා කළේ –
සිරිමන්ත රත්නසේකර
ඡායාරූප – ප්‍රදීප් සංජීව

advertistmentadvertistment
advertistmentadvertistment