විදෙස්ගත අපරාධ කල්ලි නායකයන් තිදෙනාගේ පාතාල වැඩ මෙරට මෙහෙයවූ අටක් යුක්තියට මාට්ටු

53

දිවයිනේ ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන් තිදෙනකුගේ පාතාල ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතුවලට සහාය හා ආධාර අනුබල දුන් ගෝලයන් අට දෙනෙක්, තියුණු කඩු දෙකක්, හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 09 මිලිග්‍රෑම් 960 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 950ක් සමග ඉකුත් 19 සහ 20 යන දෙදින අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

අත්අඩංගුවට පත්වූ සැකකරුවන් අටදෙනා දැනට ශ්‍රී ලංකාවෙන් පැනගොස් විදෙස් රටවල සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන් වන කන්චිපාණි ඉම්රාන්, පූකුඩු කන්නා, කෙසෙල්වත්තේ ධනුක වැනි අය සමග සමීප සබඳතා පවත්වමින් ඔවුන් විසින් මෙහෙයවනු ලබන මත්ද්‍රව්‍ය ජාලයන් හා පාතාල අපරාධ ක්‍රියාකාරකම් රැසකට සම්බන්ධ අය බවත් පොලිසිය පවසයි.

මෙම සැකකරුවන් අටදෙනා දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ අපරාධ හා මිනිස් ඝාතනවලට සෘජුව හා වක්‍රව සම්බන්ධ වූවන් බවට පැති කිහිපයක් ඔස්සේ සිදු කරනු ලබන පරීක්ෂණවලදී තොරතුරු අනාවරණය වී ඇත.

අත්අඩංගුවට පත් මෙම සැකකරුවන් තරුණ වයසේ පසුවන කොළඹ 15, මෝදර, මාළිගාවත්ත සහ ග්‍රෑන්ඩ්පාස් යන ප්‍රදේශවල පදිංචි විවිධ වෘත්තීන්වල නියැලෙමින් පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වූ අය බවත් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූ බවද පොලිසිය පැවසීය.

සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇනස්ලම් ද සිල්වා මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත පො.ප. වරුන් වන අත්තනායක, ප්‍රදීප්, උ.පො.ප. ලක්මාල් ඇතුළු පොලිස් නිලධාරීන් හා විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මැඬලීම් ඒකකයේ නිලධාරීන් එක්ව සිදු කරනු ලබයි.

එස්. ඩී. අබේසිංහ – මහරගම

advertistmentadvertistment
advertistmentadvertistment