අනාගත පරපුර බේරාගැනීමට සියලු පක්‍ෂ එක්වී සර්වපාක්‍ෂික වැඩපිළිවෙළක් හැදිය යුතුයි – ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

253

ධම්මික පෙරේරා ඇමැතිකම ගත්තේ රනිල් අගමැති බව නොදැනද? – කාවින්ද ජයවර්ධන (සජබ)

වසර 74 ක් තුළ මෙරට අනුගමනය කරන ලද ක්‍රියා පිළිවෙතින් සිදු වූ බරපතළ තත්ත්වයෙන් අනාගත පරපුර ගලවා ගැනීම සඳහා ආර්ථිකමය වශයෙන් සර්වපාක්ෂික වැඩපිළිවෙළක් සකස් කර ගැනීමට සියලු පක්ෂ සහාය දිය යුතු යැයි ප්‍රවාහන හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06 දා) කීය.

වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව පාර්ලිමේන්තුව ඊයේ (06 දා) පෙරවරු 10.00 ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව රැස්විණ.

ප්‍රථමයෙන් නිවේදන, ලිපි ලේඛන, වාර්ෂික වාර්තා, විශේෂ ප්‍රකාශ, මහජන පෙත්සම්, අගමැතිවරයාගෙන් විමසන ප්‍රශ්න ඉදිරිපත් කිරීම හා ඒවට පිළිතුරු සැපයීම, පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීම සිදු විය.

අනතුරුව රටේ වත්මන් තත්ත්වය පිළිබඳ විපක්ෂය විසින් ගෙන එනු ලැබූ කල්තැබීමේ විවාදය ආරම්භ කරනු ලැබීය.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න (සජබ)

අද හැමතැනම ආහාර නැහැ. රාක්ක හිස්. බෙහෙත් නැහැ, පාසල් වහලා රට අරාජික තත්ත්වයට පත් කරලා. ජනගහනයෙන් සියයට 21කට ආහාර ලබාදීම අවශ්‍ය බව යුනිසෙෆ් සංවිධානය පවසනවා. තවත් සියයට 80 කට පමණ ආහාර පරිභෝජනය කලින්ට පෙර අඩු කරලා. දැන් දැන්ම පියවරක් නොගත්තොත් දැඩි අනතුරක් පවතින බව පවසනවා.

අත්‍යවශ්‍ය ඖෂධ හා ශල්‍ය වෛi උපකරණවල දැඩි හිඟයක් පවතිනවා. ළමා රෝහලට අවශ්‍ය ඖෂධ නැහැ. කරාපිටිය රෝහලේ කිසිම වාහනයකට ඉන්ධන නැහැ. ගිලන් රථ සියල්ල ගාල් කරලා. අද පුද්ගලික රෝහල් කිසිම නියාමනයක් නැහැ. අපේ කාලයේ පෞද්ගලික රෝහල් නියාමනයට නීති ගෙන එන විට ආණ්ඩුව වැටුණා. අධික ලෙස මුදල් අය කරනවා. උසස් අධ්‍යාපනය කඩා වැටිලා. රජයේ සේවය කඩා වැටිලා. පළමුවරට රාජ්‍ය සේවකයන්ට රට යන්න කියනවා.

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් (සජබ)

යෝජනාව ස්ථිර කරනවා. අගමැති මාර්ග සිතියමක් ඉදිරිපත් කළා. එහි අඩක් සත්‍ය වුවත් ඉතිරිය පිළිගන්න බැහැ. ජනතාවට ඇත්ත කියන්නේ නැහැ.

ප්‍රශ්නයට පිළිතුරු දීමේදී මුලින්ම ණය පිළිබඳ විසඳුමකට පැමිණිය යුතුයි. රාජ්‍ය ආයතනවල ණය එකතු කළාම අපේ මුළු විදේශ ණය ඩොලර් බිලියන 65 ක් පමණ වෙනවා. රාජ්‍ය තිරසාරත්වය නැහැ. මුලින් පියවරක් ගත යුතුයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පියවර ගත යුතුයි. දෙසැම්බර් මාසය දක්වා ඩොලර් ලබා ගැනීමේ ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ නිසා තෙල් ලබා ගැනීමේ ප්‍රශ්නයක් ඇති වෙනවා. ඇත්ත කතා කර ඊට විසඳුම් සකස් කළ යුතුයි.

තෙල්, ගෑස්, විදුලිය ප්‍රශ්න රෝගයේ ලක්ෂණ පමණයි. ප්‍රධාන ප්‍රශ්නය ණය ගැනීමට නොහැකි වීමයි. ඊට බලපා ඇති කරුණුයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සංකීර්ණයි. සියලු ණය හිමියන් සමග ගිවිසුම් අත්සන් කර එකඟතාවකට යා යුතුයි. මුල්‍ය අරමුදල භූතයෙක් කියලා සමහරු කියනවා. එහෙනම් විකල්ප කියන්න. මුල්‍ය අරමුදලෙන් ණය අරන් සාර්ථක වූ රටවල් තියෙනවා. සමහර රටවල් අසාර්ථක වී තියෙනවා. පකිස්තානය ගැටලුවලට මුහුණ දුන්නා. ඒත් ඉන්දියාව සාර්ථක ප්‍රතිඵල ගත්තා.

ජනමාධ්‍ය හා ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන

මම පාර්ලිමේන්තුවට ආපු දවසේ සිටම මට හැකි ආකාරයෙන්ම ආර්ථික ගමන ගැන රට දැනුවත් කළා.

රට සතු විදේශ වත්කම් අඩුවීම වළක්වා ගත හැක්කේ ආයෝජන හා අපනයන වැඩි කර ගත්තොත් පමණයි. එහෙත් පසුගිය කාලයේ සිට පවතින දේශපාලන හා සමාජ ප්‍රශ්න නිසා මේ ඉලක්කයට බාධා ඇති වෙනවා. රජයේ ආදායම හැකිතාක් වැඩි කරගත යුතුයි. රජයේ වියදම් හැකිතාක් අඩු කර ගත යුතුයි. එවිට අයවැය පරතරය සියයට 5 මට්ටමක පවත්වා ගත යුතුයි. රට ඇතුළට එන විදේශ විනිමය ප්‍රමාණය වැඩි කර ගත යුතුයි. ආනයන අපනයන හා ගෙවුම් ශේෂය තුලිනව පවත්වා ගත යුතුයි. ගිය වර්ෂයේ බදු ආදායම බිලියන 1298 යි. ඉන් බිලියන 1200 ක් වැටුප් ගෙවීමටයි වැය වුණේ.

මුළු ආදායමෙන් සියයට 86 ක් රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුපට වෙන් වෙනවා. එය ලොව කිසිම රටක සිදුවන්නේ නැහැ. අප රටට දරන්න බැහැ. මේ නිසා අපි හැමදාම ණය ගන්න සිදු වෙනවා. අපිට හැම දවසකටම කෝටි 600 ක් ණයට ගන්න සිදු වෙනවා.

කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා

මම කෘෂිකර්ම ඇමැති වෙලා මුලින්ම බැලුවේ මේ මාස් කන්නයේ පොහොර ටික ලබා දෙන්නයි. මොකද පසුගිය යල කන්නයේ අපේ අස්වැන්න සියයට 40 කින් 50 කින් අඩු වුණා. ඒ නිසා මා කඩිනමින් පොහොර ලබා ගන්න අවධානය යොමු කළා. ඒ අනුව ඉන්දියාවෙන් අපට මෙටි්‍රක් ටොන් 65,000 ක් උපරිම වශයෙන් ලබා ගන්න අප කටයුතු කළා. ඒ පොහොර තොගය, දැන් එක් දවසක ප්‍රමාදයකින් යුතුව මේ නැව නව වැනිදා රාත්‍රිය වනවිට ඒවි. අපි අනිවාර්යයෙන් 15 දාට පෙර රුපියල් 10,000 ට පොහොර ටික දෙනවා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් (ජාජබ)

යල කන්නය දැනටමත් පටන් අරන්. 9 දා පොහොර ආවත් බෙදා හැරීම කල් යනවා. එවිට යල අස්වැන්නට ප්‍රමාණවත් වන්නේ නැහැ.

වී නිෂ්පාදනය මුළුමනින්ම කඩා වැටිලා. ආණ්ඩුව එදා ගත් තීරණය නිසා සමහරු කාබනික පොහොර නිෂ්පාදනය කළා. ඔවුන්ගේ පොහොර ආණ්ඩුව මිලදී ගන්නවා කිව්වත් අද මිලදී ගන්නේ නැහැ.

ඇමැති අමරවීර-

අපි පොහොර මිලදී ගත්තා. බිලියනයක් ගෙව්වා. කාබනික පොහොර ව්‍යාපෘතිය දිගටම කරනවා.

මන්ත්‍රී විජිත හේරත් – පෝලිම්වල මරණ ස්වභාවික මරණ නොවෙයි ඝාතනයන්. පෝලිම් හමුදාව පොලිසිය යොදවලා පාලනය කරනවා. මේවා ගැන වහා හොයා බලන්න හමුදා නිලධාරියෙක් පහර දුන්නා. මේ සිද්ධිය නිසා මුළු හමුදාවම හා රටම අපකීර්තියට පත් වෙනවා. ආණ්ඩුව තම කාර්ය මගහැරීම නිසයි මේ ප්‍රශ්න ඇතිවන්නේ. හෘද රෝග හා වෙනත් රෝගවලට බෙහෙත් නැහැ. අඩුම තරමින් පැනඩෝල් සිරප් එකක්වත් නැහැ. වහාම ආණ්ඩුව මැදිහත් වෙන්න. රෝගීන් ජීවත් වීම අත්‍යවශ්‍ය කාරණයක්.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මධුර විතානගේ (ශ්‍රීලපොපෙ) – අපේ රට අද පත්ව ඇති තත්ත්වයට පහුගිය ආණ්ඩු වගකිව යුතුයි. ඒ වගේම 88, 89 කාලයේ රටේ භීෂණයන් ඇති කළ ජේවීපී හා උතුරේ යුද්ධය ඇති කළ එල්. ටී. ටී. ඊ. යත් ඊට වගකිව යුතුයි.

අද හෙල්මට් කල්ලි ජනතාව කුපිත කරවනවා. කඩාකප්පල්කාරීව ක්‍රියාකරනවා. වහාම මේ ගැන හොයා බලන්න. සමහර විනිසුරුවරුන්ගේ හැසිරීම ගැන සොයා බලන්න කියා අගවිනිසුරුගෙන් ඉල්ලනවා. පොදු දේපළවලට හානි කරපු අයටත් ඇප දීලා තියෙනවා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා (සජබ) – මේ වෙලාවේ දේශපාලන ගැටලුවෙන් බේරීම වෙනුවට විහිළු සපයනවා. දවස පුරාම සාකච්ඡා පවත්වනවා. සංධාන හදනවා බලය ගන්න විවිධ යටිකූට්ටු වැඩ කර කර ඉන්නවා. ව්‍යවස්ථා සංශෝධන කළා කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. හරියට වැඩ කරනවා නම් තියෙන නීතිවලිනුත් වැඩ කරන්න පුළුවන්. රට වෙනස් කරන්න නම් දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතුමයි. ජනතාව නියෝජිතයන් තෝරා ගැනීමේදී උගත්කම තිබුණාට මදි කාර්යශීලී අවංක අය තෝරාගත යුතුයි.

අපේ රටේ පරිප්පුයි බතුයි කාලා ඉන්න පිරිසකුත් ඉන්නවා. රටේ පාලකයන් සියල්ලට වගකිව යුතුයි. තියෙන සල්ලි විනාශ කරනවා මිස අලුතෙන් හම්බ කරන්න කිසිවක් කර නැහැ. පුද්ගලයකුට පා පහරක් එල්ල කළ හමුදා නිලධාරියා ගැන වහාම ක්‍රියාමාර්ගයක් ගන්න. හමුදාවට කැළලක් ඇති කරන්න තියන්න එපා. සර්ව පාක්‍ෂික ආණ්ඩු හැදුවට සාර්ථක නැත්තේ අනිත් පිරිස තවම ආණ්ඩුව වෙනුවෙන් ක්‍රියා කරනවා.

ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති ප්‍රසන්න රණතුංග – සාමකාමී අරගලවල සැඟවී සිටිමින් විනාශකාරී ක්‍රියා කරන අය ඉන්නවා. 9 වැනිදා කරන්න යන්නේ එවැනි අයයි. අපි ගෑස් සැපයීම 15 වැනිදා සිට අඛණ්ඩව සිදුකරනවා. ඖෂධ ලබා දීමත් ඉදිරියේදී සම්පූර්ණ කිරීමට සියලු පියවර ගෙන තිබෙනවා.

සර්ව පාක්‍ෂික ආණ්ඩු හදන්න එදා ජනපති ආරාධනා කළත් විපක්‍ෂය භාර ගත්තෙ නැහැ. ජවිපෙට අර්බුද විසඳන්න අවශ්‍ය නැහැ. මාස 6 කින් මැතිවරණ පවත්වන න්‍යායපත්‍රයක ඔවුන් ඉන්නේ. සර්ව පාක්‍ෂික ආණ්ඩු හදලා පහුවදා සිට තෙල්, ගෑස්, ඖෂධ එනවා නම් කමක් නැහැ. එවැනි දෙයක් සිදුවන්නේ නැහැ.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා (සජබ) – මිලියන 22ක ජනතාවකගේ ඉරණම අසාර්ථක ජනාධිපතිවරයකු නිසා විනාශයට පත්වෙනවා. රටේ දරු පරපුරේ අනාගතය විනාශයි. ඉන්ධන නැති නිසා පාසල් වසා දමා තිබෙන එකම රට බවට අපේ රට පත්වෙලා. අද පාසල් දරුවන්ගේ බත් එකේ කොළ මැල්ලුම පමණයි, දරුවන් බඩගින්නේ.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී විජිත බේරුගොඩ මහතා – කොවිඩ් අභියෝගයෙන් ආණ්ඩුව ජනතාව බේරගත්තා. නමුත් මේ නව අභියෝගය සෑම ක්‍ෂේත්‍රයකටම බලපා තිබෙනවා. ඒ නිසා ජනාධිපති, අගමැති, ආණ්ඩුව මේ ප්‍රශ්නවලින් ගොඩ එන්න විසඳුම් සොයනවා. විවිධ පියවර අරගෙන තිබෙනවා. මූල්‍ය අරමුදල සමග දැන් සාකච්ඡා කරනවා. අපේ උත්සාහය ආදායම් වැඩි කර වියදම් අඩුකර ගැනීමයි.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා (ශ්‍රීලපොපෙ) – කිසිම අර්බුදයක් දීර්ඝකාලීන නෑ. මේ අර්බුදයට විසඳුම් දීමට ආණ්ඩුව වගේම ජනතාවටත් වගකීමක් තිබෙනවා. මේ අර්බුදයට නිර්මාණශීලී විසඳුම් සෙවීම ආණ්ඩුවේ වගකීමයි.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා (සජබ) – ඉන්ධන මිලදී ගැනීමට නැති වුණත් මිල වැඩි කරනවා අපි දැක්කා. අද එහෙම රටක් කොහේවත් නැතුව ඇති. පාසල් දරුවන්ට අද පාසල් යන්න නෑ. අද ධම්මික පෙරේරා කියනවා මුදල් ඇමැතිට යන්නලු. ඇයි එයා මුදල් ඇමැතිගේ හැටි දැනගෙන හිටියේ නැද්ද තමන්ට මේ මුදල් ඇමැති යටතේ අගමැති යටතේ වැඩ කරන්න වෙන්නේ කියලා දන්නේ නැද්ද එයා බබාද? රනිල් අගමැති බව නොදැන ද ඔහු ඇමැතිකම ගත්තේ.

පත්කළ මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා (ශ්‍රීලපොපෙ) – අපි ආර්ථික අර්බුදයක් ගැන කතා කළාට අපි පසුගිය වසරේ විදේශ විනිමය ලැබුණේ ඩොලර් බිලියන 21 යි. අපි ඉන් 20 ක් පිටරටට වියදම් කර තිබෙනවා. ඩොලර් බිලියන 01 යි අපට ඉතුරු වුණේ. අපට පුළුවන් නම් තවත් ඩොලර් බිලියන කිහිපයක් වැඩි කිරීමට ආර්ථිකය යම් මට්ටමකට ගත හැකියි. නමුත් දැන් තිබෙන තත්ත්වය අනුව ඒ සඳහා සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටු විය යුතුයි. එම ආණ්ඩුව පිහිටුවන තුරු පක්‍ෂවලින් කමිටුවක් පත් කොට ඒ සඳහා විසඳුම් සෙවිය යුතුයි. ඊට ජනතාවත් සහය කරගත යුතුයි.

පත්කළ මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් මහතා (සජබ) – අපි නිදහසින් පසුව ලොකුම අර්බුදයකට දැන් මුහුණදී සිටිනවා. අපේ ජනතාව ඉතා විශාල වශයෙන් මේ වනවිට දුක් කරදරවලට මුහුණපාලා. අද මේ ආණ්ඩුවේ මුදල් ඇමැතිවරයා ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වෙන්න කියලා තමාගේම කැබිනට් සගයෙක් කියනවා. විවාදයකට එන්න මොකක්ද අභියෝග කරලා. මේ එක ප්‍රතිපත්තියක් නෑ, සාමූහික වගකීමක් නෑ. ජනාධිපතිතුමා කරපු කතාවෙන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නැවත බලාත්මක කරනවා කියපු කෑල්ල ජනාධිපති වෙබ් අඩවියෙන් ඉවත් කරලා. ජනතාවට ආහාර ගන්න විදිහක් නෑ, පෝලිම්වල ඉන්න වෙලා. එය අරගෙන කරපු දේවල්වලින් ජනතාවටයි අද දුක් විඳින්න වෙලා තිබෙන්නේ. ආණ්ඩුව වැරැද්ද පිළිගත යුතුයි.

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස – සමගි වනිතා පෙරමුණේ සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිස සත්‍යග්‍රහ කරන විට වාහනයකින් ඇවිත් පැහැරගෙන පොලිසියට ගෙන ගිහින්. ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් නැද්ද තමන් විශ්වාස කරන මතයක් දරන්න උද්ඝෝෂණය කරන්න මතය එළිදක්වන්න. එය විනාශකාරී ත්‍රස්ත ක්‍රියාවක්ද කටින් අදහස් ප්‍රකාශ කිරීම පමණයි සිදුවුණේ. මේක ඒකාධිපති රටක්ද?

විසඳුම් වෙනුවට මේ ආණ්ඩුවේ අඳෝනාව විතරයි අහන්න වෙලා තියෙන්නේ. අපි මේවා වෙයි කියලා කිව්වා. ගණන් ගත්තෙ නෑ. ආණ්ඩු හදන්නන්වාලේ හදලා වැඩක් නැහැ. විසඳුම් මොනවාද අපි ගේන්නේ විසඳුම් සහිත සර්ව පාක්‍ෂික ආණ්ඩු. විපක්‍ෂයේ සියලු කණ්ඩායම් එක්කරගෙන විසඳුම් කේන්ද්‍රීය වැඩපිළිවෙළකට සූදානම් වෙනවා.

මේ ආණ්ඩුවට ජනතාවගේ දුක තේරෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායකට වෙනදාට ලැබෙන තැන අද නැහැ. කථානායක ඒ තැන දෙන්නේ නැහැ. එයාව මර්දනය කරන කුමන්ත්‍රණයක නිරත වෙනවා. අපි හිඟ අත්‍යවශ්‍ය බෙහෙත් ගෙනත් දෙන්න භාර ගත්තා. ඒ අනුව අවශ්‍ය ඖෂධ ගෙනාවා. හුස්ම වැඩසටහන හා සමගි බල සංධානය එක්ව උදව් කරන්න එක්වුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතුළු නිලධාරීන් අපට පූර්ණ සහාය දුන්නා. අත්‍යවශ්‍ය එන්නත් මාත්‍රා 4000 ක් මාස එකහමාරකට අවශ්‍ය ප්‍රමාණය ලබාදුන්නා.

පාර්ලිමේන්තුව ලබන 19 වැනිදා පෙරවරු 10.00 ට යළි රැස්වීමට නියමිතය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

19යේ අවලක්ෂණ ගති නැති 22 වැනි සංශෝධනය ගේනවා  – අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ

තමුන්නාන්සේ මහානාහිමිවරුනුත් රැවට්ටුවා; – 21 කියන්නේ ජනතා පරමාධිපත්‍යයයි – රංජිත් මද්දුම බණ්ඩාර (සජබ)

දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ද අවලක්ෂණ ගති ඇති බවත් එම සංශෝධනයට ද ඔබ්බට ගිය ලක්ෂණ සහිත 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06 දා) කීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අධීක්ෂණ ආංශික කාරක සභා පිහිටුවීම සම්බන්ධයෙන් දක්වන ලද අදහස්වලින් පසුව පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් අදහස්වලට ප්‍රති උත්තර ලබාදෙමින් ඇමැතිවරයා මේ බව කී අතර එහිදී මතු වූ සංවාදය මෙසේය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා – ආංශික අධීක්ෂණ කාරක සභා හොඳයි. අපි හැමදාම ඉල්ලුවේ ආංශික අධීක්ෂණ කාරක සභා පිහිටුවන්න එය වැදගත් වන්නේ. 19 වැනි ව්‍යවස්ථාව වැදගත්, 19 නැතුව ආංශික කාරක සභා වැදගත් නෑ. අද 20 වැනි සංශෝධනය යටතේ, ජනාධිපති යටතේ තමයි රාජ්‍ය ආයතන තිබෙන්නේ, ඒවා දේශපාලනීකරණය වෙනවා. අපි කියන්නේ ඇමැතිතුමා ඉස්සෙල්ලාම ඔබතුමා ගෙනාපු 19 වැනි සංශෝධනය ගේන්න. 20 යටතේ ජනපති බලතල වැඩියි. අගමැතිත් අස් කරන්න පුළුවන් ව්‍යවස්ථා වෙනසක් ගෙනැල්ලා මේ කමිටු පිහිටුවනවා නම් හරියට හරි.

විමල් වීරවංශ මහතා – 19 වැනි සංශෝධනය සහ 22 සංශෝධනය අතර අතිශයින් සමානම්කම් තිබෙනවා. ඉතාම සුළු අසමානකම් තිබෙනවා. විපක්ෂය ගෙනාපු 21 වැනි සංශෝධනය ගැන අධිකරණ තීන්දු ටික බලන්න. ජනාධිපතිගේ බලතල ගලවනවා නම් මේ ධුර කාලයට තියන්න කියලා. මම නම් කියන්නේ ඔය ව්‍යවස්ථා සංශෝධන නොකරන්නේ ද්විත්ව පුරවැසියා ආරක්ෂා කර ගන්නයි. මේ 22 ගැන ධනාත්මකව බලන්න කියලා මා ඉල්ලනවා.

ඒ වගේම මා කියනවා විදේශගත ශ්‍රමිකයාගේ ඩොලර් ටික ගේන්න විශේෂ අරමුදලක් පිහිටුවන්න, කෙටුම්පතක් හදන්න. ඒකට විපක්ෂයේ නියෝජිතයන්ගෙන් සමන්විත භාරකාර මණ්ඩලයක් පිහිටුවන්න. එවිට විශ්වාසය ඇති වේවි. මේ අර්බුදය කළමනාකරණය කර ගන්න නම් ක්‍රියාත්මක වීම අවශ්‍යයි. කැබිනට් මණ්ඩලයේ සක්‍රීය භාවයක් පෙනෙන්න නෑ.

අගමැති – ජාතික සභාවක් පිහිටුවෙමින් අපට මේ වැඩ ටික කරන්න පුළුවන් සති දෙකකින් පමණ.

වීරවංශ මහතා – ජාතික සභාව පිහිටුවීමේ යෝජනාව අපේ. නුමත් මේ ආණ්ඩුවට ජාතික සභාවක් පිහිටුවන්න බෑ. ඔබතුමා අගමැති වුණා කියලා ඒක හරියන්නෙත් නෑ. අපි කියන භාරකාර මණ්ඩලය පිහිටෙව්වොත් උණ්ඩියල් ක්‍රමයට වඩා නීත්‍යානුකූල ලෙස මුදල් රටට ඒවි. විදේශ විනිමය පනතට නව සංශෝධන ඇතුළත් කළ යුතුයි. එය 22 ට වඩා වැදගත් එකක්. ඇයි ඒකට අතවත් තියන්නේ නෑ. ඒ පනත රවී කරුණානායක මුදල් ඇමැතිතුමා 2017 දී එය සම්පූර්ණයෙන්ම ලිබරල් කළා.

අගමැති – මේ පරණ ක්‍රමයෙන් මුදල් ලංකාවට ආවේ නෑ. අලුත් ක්‍රමයෙන් තමයි මුදල් ආවේ. වෙනත් රටවල් කරන්නෙත් ඒක. මුදල් එන එක වැඩි වුණා.

වීරවංශ මහතා – ඒකෙන් දිරිගැන්වුණේ විදේශ විනිමය මෙරටට ගේන්න නොවේ. වෙන රටවල පාර්ක් කරලා ආයෝජනය කරන්නයි. ඒ හිල වහන්න ඕන.

අගමැති – මම ඒක පිළිගන්නේ නෑ. හැම රටකම කරන්නේ ඒක. සිංගප්පුරුවෙත් ඒක කරනවා. ඉන්දියාව කරන එකම දේ අපි කරන්නේ නෑ.

නිමල් ලන්සා මහතා – 22 වැනි සංශෝධනය මගින් 19ට ඇතුළත් වූ ගේන්න පුළුවන් සියල්ල ගෙනැල්ලා තිබෙනවා.

විජයදාස රාජපක්ෂ මහතා –

19 වැනි සංශෝධනයෙන් ඔබ්බට ගිය වැඩි දියුණු කළ සංශෝධනයක් තමයි 22 කියන්නේ. 19 වැනි සංශෝධනයෙන් ජනාධිපතිතුමාට අමත්‍යාංශ තු-නක් තියා ගන්න පුළුවන්, 22 යටතේ ජනාධිපතිට තියා ගන්න පුළුවන් ආරක්ෂක අමාත්‍යාංශය පමණයි. අපි ගෙනාවා වුණත් 19ත් අඩුපාඩු තිබුණා.

රංජිත් මද්දුම බණ්ඩාර මහතා – තමුන්නාන්සේම තමයි 19 ගෙනාවේ. දැන් තමුන්නාන්සේම 22 වැනි සංශෝධනයත් ගේන්න යනවා. ජනාධිපතිට 22 යටතේ අගමැති ඉවත් කිරීම, අමාත්‍යාංශ පවරා ගැනීම පුළුවන්, එහෙනම් ඇති වැඩේ මොකක්ද තමුන්නාන්සේලා මහනාහිමිවරුන් රැවට්ටුවා. ලැජ්ජ නැති 22ක් ඉදිරිපත් කරලා කයිය ගහනවා. අපේ 21 කියන්නේ ජනතාවගේ පරමාධිපත්‍යටයි.

අගමැති – අධීක්ෂණ කාරක සභා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිම රටක් ඇතුළත් කරලා නෑ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේනඅකිත පෙරේරා, රනිල් ධර්මසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment