සසර ගමනෙහි ස්වභාවය නුවණින් දැක එයින් මිදීමට වෙර දරමු

356

සසර ඉතා දිගු ගමනකි. එය කවදා ආරම්භ වූයේදැයි අපි නොදනිමු. එහෙත් දුක් සහිත සසර ගමන කෙටි කරගෙන එහි නිමාවක් දැකීමේ හැකියාව අප සතුව පවතියි. සීල, සමාධි ප්‍රඥා, විමුක්ති විමුක්තිඥාන දර්ශනාදී මග යාමෙන් අපට සසර දුක් නිමකළ හැකිය.

අප බුදුරජාණන් වහන්සේ ප්‍රථම උදාන වාක්‍ය දේශනා කළේ සසර දිගු ගමන තුළ තමන් වහන්සේ විවිධාකාර ජාතිවල උපන් බව සඳහන් කරමිනි. සසර දිගින් දිගටම ගමන් කළේ තණ්හාව අත්නොහැරීමේ හේතුව නිසා බවද එහි සඳහන්ය.

බුදුදහමට අනුව සසර යනු ලෝක තුනකි. එනම් කාම ලෝකය, රූප ලෝකය සහ අරූප ලෝකයයි. මෙම ලෝක තුනට අයත් තල හෙවත් ගතකළ හැකි ස්ථාන තිස් එකක් පවතියි. පොත පතේ එක්තිස්තලය ලෙස සඳහන් වන්නේ එයයි. මේ අතර සත්ත්වක සසර ගත කරන කාම ලෝකය තුළ ස්ථාන එකළොසක් විවරව පවතියි.

ඒවානම් නරක, තිරිසන්, ප්‍රේත, අසුර යන සතර අපායත්, මනුෂ්‍ය තලය, සහ චාතුම්මහාරාජිකයා යාමය, තුසිතය, නිම්මානරතිය, පරනිම්මිත, වසවර්ති යන ෂඩ්විධ දිව්‍ය ලෝකය.

මෙයින් රූප ලෝකයට අයත් බඹ තල දාසයකි. අරූප ලෝකයට අයත් බඹතල සතරකි. එක්තිස් තලය සම්පූර්ණ වන්නේ එලෙසිනි. මිනිසුන් වශයෙන් මෙලෙව උපත ලැබූ අපි ඉපදෙමින් මැරෙමින් දීර්ඝ වූ සසර තුළ ගමන් කරනුයේ මෙම ලෝකවල ගතකරමින්ය. මේවායෙහි ඇති පොදු ලක්‍ෂණය නම් දුක් සහිතබවයි. ජාති, ජරා, ව්‍යාධි හා මරණ යනාදී ලෙස අප්‍රමාණ දුක්වලට අප බඳුන්වන්නේ ඉපදීම නිසායි.

සසර දුක් සහගතබව නිසාම අප බුදුරජාණන් වහන්සේ උගන්වා ඇත්තේ සසර දුක් නිම කිරීමට උත්සාහ ගතයුතු බවයි. “චරෙය්‍යාදිත්ත සීසොච” යනුවෙන් වදාරා ඇති පරිදි හිස ගිනිගත්තෙකු සේ යුහුසුලුව කුසල් සම්පාදනය කරගත යුතුය.

ලෝභ, ද්වේෂ, මෝහ යන ක්ලේෂ ධර්ම සහිතව අපි ජීවිතයෙන් සමුගැනීම නිසා නැවත අප එක්වනුයේ සසර තුළටමය. අපගේ එක භවයක ජීවිතය මරණයෙන් කෙළවර වුවත් මරණය නිසා කිසිසේත්ම සසරගමන කෙළවරකට පත්නොවේ. සංසාරය නමැති ඉතා දීර්ඝ ගමනෙහි එක්කෙටි නැවතුම්පොලක් ලෙස මෙම ජීවිතය හදුන්වා දිය හැකිය. මෙම සසරට එක්වන සෑම සත්ත්වයෙකුට පින් අවශ්‍යය. එයට හේතුව වන්නේ සසර තුළ ජීවත්වීමයි.

ගම්භමෙතෙව උප්පජ්ඣන්ති

කෙනෙකු මරණින් පසු මව්කුසක පිළිසිඳ ගනියි. එයත් සසරටම අයිති තැනකි.

නිරයං පාපකම්මිනො

කෙනෙකු මරණින් පසු නිරයට හෙවත් අපායට වැටෙයි. එයත් සසරටම අයිති තැනකි.

සග්ගං සුගතිනොයන්ති

කෙනෙකුගේ මරණින් පසු සුගතියට වැටෙයි. එයත් සසරටම අයිති තැනකි.

මේ හැම සසරටම පමුණුවන නිසා,

පුඤ්ඤානි පරලෝකස්මිං
පතිට්ඨා හොන්ති පාණිනා

හැකි පමණින් පිංකම් කොට සසර සරන අපි මෙම සසර කෙටි කර ගැනීමට උත්සුක විය යුතු වෙමු.

පරිනිබ්බන්ති අනාසවා

කෙලෙස් සම්පූර්ණයෙන්ම කෙනෙකු ප්‍රනීත කරන්නේ නම් ඔහු නිවන අවබෝධ කර ගනියි. ඔහු පමණක් සසරට නැවත එක්වන්නේ නැත. ඔහු සියලු දුක් ප්‍රහීන කොට සසරින් මිදී ඇත. එවැනි අයට පින්දීමේ කිසිදු අවශ්‍යතාවක් නැත. සසරින් මිදීම යනු මුලදී සඳහන් කළ ලෝක තුනට අයත් තල තිස් එකට කිසිදාක නොවැටීමයි.

එබැවින් ගිහි – පැවිදි අප සැවොම පළමුව සිදුකළ යුතු වන්නේ සසර පිළිබඳ ප්‍රමාණාත්මක දැනුමක් ලබා ගැනීමය. ඒ අනුව සසරෙහි ස්වභාවය හරිහැරි අවබෝධවීම නිසා අපි කිසිදාස සසරට වැටෙන ක්‍රියාකාරකම් වල නිරත නොවන්නෙමු. මනාවූ ආසමික පසුබිමක් ඔස්සේ ජීවිතය කුසලින් පෝෂණය කරවා ගැනීමට උනන්දු වන්නෙමු.

ලෝවැඩ සඟරාවෙහි වීදාගම හිමි දැක්වූ පරිදි
හිස ගිනි ගත්තෙකු එගිනි නිවන ලෙස
කුසලට මදකුත් පමා නොවනු මිස

යන කාරණය අප සිත තුළ හැම මොහොතකම රඳවාගත යුතුය. සෑම විටෙකම සිතින් යහපත් සිතිවිලිද ශරීරයෙන් යහපත් ක්‍රියාකාරකම්ද වචනයෙන් මනා වදන් කතා කිරීමද අප සිදුකළ යුතු වන්නේය. එවිට කිසිදා පවිටු ක්‍රියාකාරකම්වලින් ජීවිතය අඳුර කරා ගෙනයාමක් සිදුනොවෙයි. හැමවිටම පෙර කී තුන් සිත පහදවාගෙන මනා සිහියෙන් කටයුතු කිරීමට අප සැම දැඩි අදිටනින් ක්‍රියාකළ යුතුය.

කළුතර දකුණ මහහීනටියංගල පෞරාණික ශ්‍රී ආනන්දාරාමය, දූවේ දීපාරාම පුරාණ විහාරය, තුංමංහන්දිය ශ්‍රී බෝධිරාජ විහාරය යන විහාරාත්‍රයාධිපති,
කළුතර දකුණ ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී
තිනියාවල ඥාණින්ද හිමි

සංස්කරණය – නිශාන්ත අමරසිංහ
 [email protected]

advertistmentadvertistment
advertistmentadvertistment