නිල්වලා සහ කළුතර ව්‍යාපෘතිවලින්  කෝටි 450 ක වංචාවක් සිදුවෙලා – මාර්ග සංවර්ධනය වෙලත් නෑ – එක පස් පිඩැල්ලක් කපලත් නෑ

390

– පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර

නිල්වලා ජල ව්‍යාපෘතියට අදාළව  රු. කෝටි 401 ක් සහ කළුතර මාර්ග සංවර්ධන ව්‍යාපෘතියකින් රු. මිලියන 506.96 ක් වශයෙන් වංචා සිදුව ඇතැයි අල්ලස් දූෂණ නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර මහතා පානදුර දී මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේය.

මේ රට දැන් විශාල ඩොලර් අර්බුදයක පවතින්නේ. ඩොලර්වලින් මුදල් ලැබෙන ව්‍යාපෘති දෙකක විශාල වංචාවන් දෙකක් සම්බන්ධයෙන් ඊළඟ සඳුදා අල්ලස් දෙපාර්තමේන්තුවට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරනවා.

නිල්වලා ජල ව්‍යාපෘතිය කැබිනට් අනුමැතිය යටතේ 85% ක් චීන සමාගමකටත්, 15% ක් ලංකා රජය යටතේත් ආයෝජනය කරන්නයි ලබාදී තියෙන්නේ. එහිදී ලබාදුන් රුපියල් කෝටි 401 ක වංචාවක් සිදුව තිබෙනවා. එම ව්‍යාපෘතියේ එක පස් පිඩැල්ලක්වත් මේ වන්විට කපා නෑ. පවතින ඩොලර් අර්බුදයට මේ වංචාවන් බලපා තිබෙනවා. ඒ නිසා මෙවැනි වංචා සොයාබලා වගකිව යුත්තන්ගෙන් අයකර ගන්නේ නම් යම් මට්ටමකින් අර්බුදයෙන් අපට ගොඩඑන්න හැකිවේවි.

කළුතර දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධනය සඳහා බිලියන 4 ක ව්‍යාපෘති ලබාදී තිබෙන්නේ දයා කන්ස්ට්‍රක්ෂන් සමාගමට. 2014.01.06 දී එහි නම වෙනස් කරලා ඔලිම්පස් කන්ස්ට්‍රක්ෂන් සහ ඉන්දියාවේ රානි කන්ස්ට්‍රක්ෂන් සමාගමට දෙනවා. මම ගූගල් එකේ සර්ච් කලා. ඉන්දියාවේ එතැන තියෙන්නේ කුඩා නිවසක්. කිලෝමීටර් 86 ක සහ කිලෝමීටර් 90 ක ව්‍යාපෘතිය සඳහා කිසිදු ශක්‍යතා හෝ පරිසර වාර්තා නැතිව බිලියන 4 ක අත්තිකාරම් මුදලක් ලබා දුන්නා. දැන් ඒ සමාගම ව්‍යාපෘතිය අතහැර රටින් පැනගිහින්. මතුගම, හොරණ, පාලින්දනුවර, ඉංගිරිය සහ අගලවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මෙම ව්‍යාපෘතියෙන් ආරම්භ කළ මාර්ගයන් ගණනාවක වැඩ මේ වනවිට නතර වෙලා. මාර්ග සංවර්ධනය වෙලත් නෑ. රටට එන්න තියන ඩොලර් ටිකත් නැතිවෙලා.

ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment