පැහැරගත් තරුණයාට පහරදී පමුණුවිල සුසානය අසල දැමූ සැකකරුවෝ සිව්දෙනා රිමාන්ඩ්

111

මෝටර් රථයකින් විසි දෙහැවිරිදි තරුණයකු පැහැර ගෙනවිත් පහරදී පමුණුවිල පොදු සුසාන භූමිය අසල දමා පලාගිය කාන්තාවන් දෙදෙනකු සමග තරුණයන් දෙදෙනකු සපුගස්කන්ද පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.

මෙහිදී බරපතළ ලෙස තුවාල ලැබූ එම තරුණයා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

මේ තරුණයා පැහැර ගෙන යෑම සඳහා යොදා ගන්නා ලද මෝටර් රථයද පොලිස් භාරයට ගැනිණි. තවද මීට සම්බන්ධ තවත් පුද්ගලයන් සිවුදෙනකු අත් අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන සිදු කරයි.

පරණ කෝන්තරයක් මත ඉකුත් 19 වැනිදා දහවල් කොළඹ, කොටුව දුම්රිය පොළ අසලින් මේ තරුණයා පැහැරගෙන මෝටර් රථයකින් පමුණුවිල පොදු සුසාන භුමිය අසලට රැගෙනවිත් පහරදී දමා පලාගොස් තිබිණ.

මේ කාන්තාවන් දෙදෙනා වයස අවුරුදු 22 හා 48 වන වියේ පසුවන අතර තරුණයන් දෙදෙනා වයස අවුරුදු 22 හා 23 වැනි වියේ පසුවෙති. පහර කෑමට ලක්වූ තරුණයා හඟුරන්කෙත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ කාන්තාවන් හා තරුණයන් කොළඹ, ග්‍රෑන්ඩ්පාස්, කිරිබත්ගොඩ, වැල්ලම්පිටිය හා සපුගස්කන්ද යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූහ.

මෙම වැටලීමට සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. ඕෂිත ලංකා ද සිල්වා මහතාගේ උපදෙස් අනුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක කේ. ඒ. එච්. නිරෝෂන්, සැරයන් පෙරේරා (32560), සේනාරත්න (61575), පෙරේරා (71453) හා පො කො. චතුරංග (31805) යන නිලධාරීහු සහභාගී වී සිටියහ.

දෙල්ගොඩ – ඩබ්ලිව්. ඩී. විතාන හා බියගම – සුදත් පුබුදු කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment