ඩී.එන්.ඒ. වාර්තාව පමාවීමෙන් ළදරුවාගේ දේහය තවමත් රෝහලේ

94

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ දී මියගිය දින 22 ක් වයසැති පිරිමි දරුවාගේ මව්පියන් බව කියන අඹුසැමි යුවළගෙන් ලබාගත් රුධිර සාම්පල්වලට අදාළ ඩී.එන්.ඒ. පරීක්ෂණ වාර්තාව මෙතෙක් ලැබී නොමැති හෙයින් එම බිළිඳාගේ මළසිරුර ගම්පහ රෝහල් මෘත ශරීරාගාරයේ තවමත් ආරක්ෂිතව තිබෙන බවට ගම්පහ පොලිසිය ගම්පහ මහෙස්ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය හමුවේ ඉකුත් 09 දා කරුණු වාර්තා කළාය.

එම නඩුව නැවත පෙරේදා අධිකරණය හමුවේ කැඳවීමෙන් අනතුරුව ගම්පහ පොලිසිය අධිකරණය හමුවේ එසේ කරුණු ඉදිරිපත් කරනු ලැබීය.

නඩුව නැවත එළැඹෙන 23 වැනිදාට කැඳවීමට ගම්පහ මහෙස්ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය නියම කළාය. ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී විසින් මියගිය දරුවාගේ මව්පියන් යැයි කියන යුවළගෙන් ඩී.එන්.ඒ. පරීක්ෂණය සඳහා ලබාගත් ලේ සාම්පල අධිකරණ නියමයෙන් ගම්පහ පොලිසිය මගින් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇති බවට අධිකරණයේදී සඳහන් විය.

එම ලේ සාම්පලවලට අදාළ ඩී.එන්.ඒ. පරීක්ෂණ වාර්තාව කඩිනමින් ලබාදෙන ලෙසට අධිකරණයෙන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත නැවත සිතාසි නිකුත් කෙරිණි.

ගම්පහ පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් පරීක්ෂිකා ඉනෝකා ප්‍රියදර්ශනී සේනාරත්න මහත්මිය පැමිණිල්ල මෙහෙය වූවාය.

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment