හිතුවත් පාලනය කළ නොහැකි බෙංගාල බොක්ක සහ හිතුවොත් පාලනය කළ හැකි ඩෙංගු උවදුර

651

මෙයට අවුරුදු 10 කට පෙර කැරට් 22 ග්‍රෑම් 8 ක් බර රන් පවුමක මිල රුපියල් 45000 කි. අද වනවිට කැරට් 18 රත්තරන් බඩු උකසට ගත්ත ද මීට අවුරුදු 10 කට පෙර කැරට් 18 දිහා උකස් බඩුකාරයෙක් හැරිලාවත් බැලුවේ නැත. මීට අවුරුදු 8 කට පෙර කැරට් 22 රන් පවුමක මිල රුපියල් 65000 කි. කොරෝනා සමය ඇරඹීමෙන් පසු මේ රටේ ගෙවල්වල තිබූ රත්තරන් බඩුවලින් 60% ක් පමණ ප්‍රවේශම සඳහා උකස් බඩු කඩවලත් බැංකුවලත් තබන ලදි. එකල සොර සතුරු බියක් ද නොතිබූ නමුත් තමන් සතු රත්තරන් බඩු ඉහත සඳහන් දෙතැනට යා යුතුම බව මේ රටේ ජනයා කල්පනා කළහ. කොරෝනා ඉවරවීමත් සමගම රන් මිලද ඩොලරය ද ක්‍රමයෙන් ඉහළ නැංගේය. ඩොලරය මීට මාස කිහිපයකට පෙර රුපියල් 400 පැන්න අතර කැරට් 22 රන් පවුම ඇතැම් තැන්වල රුපියල් 222000 ඉක්මවීය. ඩොලරය ආපහු පහත බසින්නට පටන්ගන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති වීමත් සමගය. ඔහු අගමැති ලෙස දිව්රුම් දුන් දවසේම ඩොලරය රුපියල් 3 න් අඩු විය. ඔහු ජනාධිපති ධුරයේ දිව්රුම් දුන් දවසේ ඩොලරය තවත් රුපියල් 5 න් බැස්සේය. ඩොලරය මිල නැග්ග නැගිල්ලේ වේගය හැටියට රුපියල් 5 න් පහත බැසීම ආශ්චර්යයකි. IMF ලෝන් එකේ පළමුවන වාරිකය ලැබුණු සැණින් ඩොලරය නැවතත් පහළ බසින්නට පටන් ගත්තේය. ඊයේ වනවිට රුපියල් 300 ට අඩුවෙන් බැංකුවෙන් ඩොලරය මිලට ගැනීමට හැකි විය. එහි ගැනුම් මිල රුපියල් 285 ක් විය. මේ සමගම පවුම රුපියල් 222000 ට තිබූ රන් මිලද බළලා ගසෙන් බසින්නාක් මෙන් පහළට රූටන්නට පටන් ගත්තේය. ඒ බැස්ස බැහිල්ලේ හැටියට අද වනවිට රන් පවුම රුපියල් 150,000 මායිමේ ආත භූත වෙමින් සිටී. රන් මිල බැහැගෙන ආ වේගයේ හැටියට තවත් කල් ඒ වේගය එහෙමම පැවතුනේ නම් උදලු මිටවල් හා පොරෝ තල පවා රනින් කළ හැකි තත්ත්වයක් මතු වන්නේය. එහෙත් රත්තරන් වටින්නේ අතේ පයේ සහ කනේ කරේ එල්ලාගෙන සිටීමට පමණි. යකඩ උදලු තලයකින් කරන බර වැඩක් කිරීම පවා සිතීමටවත් රත්තරන් උදලු තලයකට බැරිය. යම් විදිහකින් ලෝකයේ වැඩිපුරම තිබෙන ලෝහය රන් බවට පත්වී දුර්ලභම ලෝහය යකඩ වූයේ නම් ගල් යුගයෙන් මෙහාට ඒමට මනුස්ස වර්ගයාට නොහැකි වන බව අප සියලු දෙනාම මතක තබාගත යුතුය.

අපට හිටපු ගමන් රත්ත්‍රන් මතක් වූයේ ඇයි? පසුගියදාක රේගුව විසින් අත්අඩංගුවට ගත් රත්තරන් කිලෝ 21 ක් අතුරුදන් වූ බව දැනගන්නට තිබේ. මේ අතුරුදන්වීම් පිටුපස රාජ්‍ය ඇමැතිවරයකුගේ පුතෙක් ද සිටිත්ලු. සමහරවිට මේ රත්තරන් තොගය මීයන් විසින් අනුභව කරන්නට ඇති. පරෙස්සමට බමුණකු ළඟ තැබූ යකඩ තොගයක් මීයන් විසින් අනුභව කිරීමේ කතාවක් ඉපැරණි ජනකතා සාහිත්‍යයේ ඇති බව අප දනිමු.

මේ කතාව අස්සේම කෙටියෙන් හෝ කතා කළ යුතු තවත් මාතෘකාවක් තිබේ. ඒ වූකලී ඩෙංගු ය. වැස්සෙන් පසු හටගත් බෝවන රෝග වසංගතය ගැන මීට සති එකහමාරකට පමණ පෙර මේ තීරුව ඔස්සේ අපි ලිව්වෙමු. අද වනවිට ඒ සියලු රෝග පරදවා ඩෙංගු ඉදිරියට පැමිණ ඇත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන පරිදි මේ වනවිට සතිපතා අලුත් ඩෙංගු රෝගීන් 2500 ක් ජන සමාජයට එකතු වෙති. වඩාත්ම නරකට ඩෙංගු තිබෙන්නේ බස්නාහිර පළාතේය. ලොකුම අවාසනාව වන්නේ සමස්ත ඩෙංගු රෝගී ප්‍රජාවෙන් 25% ක්ම පාසල් දරුවන් වීම ය. දැනට පිළිගත් මතයට අනුව පාසල් දරුවන්ට ඩෙංගු වැළඳෙන්නේ පාසල් භූමියේ සිටින ඩෙංගු මදුරුවන් නිසාය. මේ නිසා පාසල්වල ඩෙංගු මදුරු මර්දන වැඩපිළිවෙළක් දැනටමත් ඇරඹි තිබේ. මෙය වැඩි දියුණු කළහොත්, සමහරවිට යම් ප්‍රමාණයක සහනයක් ලබා ගැනීමට හැකිවනවා ඇත.

ලංකාවේ කාලගුණය තීරණය කරන්නේ බෙංගාල බොක්ක විසිනි. බෙංගාල බොක්කේ හටගන්නා වාසුළි සහ අවපාත නිසා මෝසම් වැසිවලට අමතරව නිතර දෙවේලේ අපට අකල් වැසි ලැබේ. මේ දිනවල පවතින මෝසම සමග අකල් වැසි ද සක්‍රීයව තිබෙන අතර වාතයේ උණුසුම් ආර්ද්‍රතාවක් පවතී. මෙය ඩෙංගු මදුරුවන් බෝවීමට ඉතා හොඳ පරිසරයක් නිර්මාණය කරදෙයි. මොනදේ පාලනය කළත් බෙංගාල බොක්ක පාලනය කිරීමට අපට බැරිය. අන්තර් මෝසම් වැසි හෝ මෝසම් වැසි පාලනය කිරීමට ද අපට නොහැක. මීට අවුරුදු කිහිපයකට පෙර උතුරු නැගෙනහිර මායිම් ගම්මානවල පිහිටි පාසල් සුරකින ලද්දේ කැති පොලු මන්නා පිහි සහ ගල් කටස් තුවක්කු රැගත් දෙමාපියන් විසිනි. ඩෙංගු මදුරුවාගෙන් පාසල හෝ සමාජය ආරක්ෂා කිරීමේදී එම උපක්‍රමවලට තැනක් නොලැබේ. ඒ නිසා අප විසින් කළ යුත්තේ අප අවට පරිසරයේ තිබෙන වතුර පිරුණු හැම පොල් කටුවක්ම, හැම භාජනයක්ම, හැම පොල් කෝම්බයක්ම අනෙක් පැත්ත හැරවීම පමණි. එයින්ද නොනැවතී කාණුවලට උග්‍ර විෂ බීජ නාශක දැමීමෙන්ද ඩෙංගු මදුරුවාගෙන් බේරීමට හැකි බව දැනට කියමු.

advertistmentadvertistment
advertistmentadvertistment