හැටනව ලක්‍ෂයේ ආතල් එක සහ “මටම කෙළවුණේ ඇයි”

1998

ගෝඨාභය රාජපක්‍ෂ පිළිබඳ මතකය මේ රටේ ජනතාවගේ සිත් තුළින් ක්‍රමානුකූල ලෙස මැකීයමින් පවතිද්දී මීට දින කිහිපයකට පෙර වැදගත් යමක් සිදුවිය. ඒ වූ කලී තමා බලයෙන් පහ කිරීම සම්බන්ධයෙන් විදේශ බලවේගවල සහ දේශීය කුමන්ත්‍රණකරුවන්ගේ මැදිහත්වීම ගැන පැහැදිලි කරමින් ගෝඨාභය රාජපක්‍ෂ විසින් පොතක් ලියනු ලැබීමය. මේ පොතේ පළමුවන පිටපත් පන්දහස පැය කිහිපයක් තුළ විකිණී අවසන් විය. එහි දෙවැනි පිටපත් පන්දහසද විකිණී අවසන් වෙමින් පවතින දැනගන්නට තිබේ. මේ පොත අරගලය පිළිබඳ ගෝඨාභයගේ දෘෂ්ඨිවාදය සාකච්ඡා කරන්නකි. තමාට සිදුවූයේ කුමක්දැයි තමාට හැඟෙන පරිදි ගෝඨාභය කියන කතාව මේ පොතේ තිබේ. ගෝඨාභය රාජපක්‍ෂ යනු සෙල්ලම් භාණ්ඩයක් නොවේ. යුද සංග්‍රාම ශාස්ත්‍රයෙහි තිස් අවුරුද්දක පමණ පළපුරුද්දක් තිබූ හෙතෙම ශ්‍රී ලංකාවේ ජනවාර්ගික යුද්ධය නිමකිරීම සඳහා පරිපාලන නායකත්වය දුන් ප්‍රමුඛ සිවිල් පුද්ගලයා හැටියට ඉතිහාසයට එක්ව සිටියි. ඊට ඉහළින් සිටියේ යුද්ධය පිළිබඳ දේශපාලන තීන්දු ගත් මහින්ද රාජපක්‍ෂය. ගෝඨාභයගේ ක්‍රමෝපාය තීරණ ක්‍රියාත්මක කරමින් යුද බිම මැද්දට ගියේ සරත් ෆොන්සේකාය. අපගේ විශ්වාසය අනුව ජනවාර්ගික යුද්ධය පැවැති සමයේදී ශ්‍රී ලංකා යුද හමුදාවත්, නාවික, ගුවන්, පොලිස් සහ සිවිල් ආරක්‍ෂක යන බලවේගත් සමස්ත සියලු ජනතාවත්, යුද ජයග්‍රහණය ප්‍රාර්ථනා කළ අයත්, පරාජයට ආසා කළ අයත් සිටියේ මහින්ද, ගෝඨාභය, සරත් ෆොන්සේකා යන ත්‍රිකෝණය තුළය. යුද ජයග්‍රහණයෙන් පසු එය හෑල්ලු කළ කණ්ඩායමක් වෙනම බිහිවිය. මේ පිස්සු වව්ලන් රැල විදේශික එන්ජීඕ වලින් කජු පුහුලන් උරා බිවූ කට්ටිය වෙති. කෙසේ වුවද යුද ජයග්‍රහණයෙන් පසු මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව පැරදිණ. මෙය සමාන වන්නේ දෙවන ලෝක යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා විශාල දේශපාලන නායකත්වයක් සැපයූ වින්ස්ටන් චර්චිල් සිය රටින් මහමැතිවරණයෙන් පරාජයට පත්වීමටය. කෙසේ වුවද මොහොමඩ් සහරාන් ඇතුළු ප්‍රතිගාමී බලවේග නිසාත් යහපාලන ආණ්ඩුවේ තිබූ පතෝල ස්වභාවය නිසාත්, ජාතිවාදී වඳ කොත්තු නිසාත්, උපත් පාලක බ්‍රෙසියර් නිසාත් ඊළඟ ජනාධිපතිවරණයේදී ඡන්ද 69 ලක්‍ෂයක් ලබාගත් ගෝඨාභය රාජපක්‍ෂ ඇස් නිලංකාර කරවන ජයග්‍රහණයක් ලබාගත්තේය. එදා නිලංකාර වූ ඔහුගේ දෑස් යළි යථා තත්ත්වයට පත්වන්නේ ජනාධිපති මන්දිරයෙන් පිටුපස දොරෙන් එළියට බැස යෑමට සිදුවූ අවස්ථාවේදීය.

අරගලයේ අවසන් කොටසේදී ගෝඨාභය රාජපක්‍ෂ සිටියේ ඉතා ලොකු අවදානමකය. අරගලකරුවන් ගෝඨාභය සිටින තැනට පැමිණියේනම් ස්ථිර වශයෙන් ඛේදවාචකයක් හට ගැනීමට ඉඩ තිබිණ. අප දන්නා පරිදි ඔහුට ආරක්‍ෂාව සැපයූ සුරතල් ජනරාල්වරුන් කීප දෙනා හැම විටම කියා සිටියේ ඔහුගේ ජීවිතයට තර්ජනයක් නැති බවය. ගෝඨාභය සිය පොතෙන් කියන පරිදි අරගලයේ අවසානය කළමනා කිරීම සඳහා ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්නගෙන් හෝ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගෙන් ලොකු සහයෝගයක් ලැබී නැත. සමහර විට මේ ඩබල සිටින්න ඇත්තේද මරබියෙනි. සාමාන්‍යයෙන් පොදු ජනතාව අතරින් පැන නැගෙන ජනප්‍රිය විප්ලව වලදී රාජ්‍ය නායකයා ඝාතනය කළ සැණින් ඊළඟට අත තබනු ලබන්නේ ජෙනරාල්වරුන්ගේ බෙලි වලටය. කමල් ගුණරත්නගේ බෙල්ල ඔහුටත් ඔහුගේ පවුලේ අයටත් ඉතාම වටී. ශවේන්ද්‍රගේ බෙල්ල ඒ ගෙදර නෝනාටත් ළමයින්ටත් සැරටම වටී. මේ නිසා අරගලයේ අවසන් කොටසට පමණ ඉක්මවා සම්බන්ධ නොවීමට ඔවුන් තීරණය කරන්නට ඇත. එවකට සිටි පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මේ කියන බෙල්ල බේරාගැනීමේ න්‍යායයේ හොඳටම සිටි කෙනෙකි. ඔහු වෙනුවට ඉස්සරහට ගිය නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මිනිසුන්ගේ ප්‍රහාරයට ලක්විය. මෙහිදී කමල් ගුණරත්නගේ භූමිකාව ගැන යමක් සඳහන් කළ යුතුව තිබේ. කමල් ගුණරත්න යනු මේ මොහොතේදී ආරක්‍ෂක ලේකම් මිස හමුදාපති නොවේ. එබැවින් යුද හමුදාව කමල් ගුණරත්නගේ නියෝග පිළිගන්නේ නැත. මේ වෙලාවේ යුද හමුදාපතිව සිටි ශවේන්ද්‍ර සිල්වා අරගලකාරී ජනතාවට වෙඩි තැබීමට නියෝගයක් දුන්නා නම් එයද ආපසු කරකැවෙන්නට ඉඩ තිබිණ. මන්ද යත් ඒ මොහොතේදී යුද හමුදාවේ සෑහෙන්න කොටසක් සිටියේද අරගලකාරී මහජනතාව සමඟය. මේ නිසා මනමේ කුමාරයාට සිද්ධ වූ දේ ශවේන්ද්‍ර සිල්වාට සිද්ධවීමට ඉඩ තිබිණ. කවුරුත් තම තමන්ගේ ජීවිතවලට ආසා කරති. සිවිල් අරගල වලදී මේ තත්ත්වය ඉතාම දැඩිව ඉස්මතු වේ. ගෝඨාභය රාජපක්‍ෂගේ පොත සම්පූර්ණයෙන්ම කියවීමට අපට තවමත් අවස්ථාවක් ලැබී නැත. එබැවින් අප මේ මොහොතේදී සාකච්ඡා කරන්නේ ගෝඨාභයට කෙළවුණේ ඇයිද යන්න කාරණාව ගැනය. අපි දන්නා පරිදි ගව පාලකයා කොතරම් දක්‍ෂ සහ බුද්ධිමත් අයෙකු වුවද එම මී හරක් රැල යොදා රටක් පාලනය කර නොහැක. මී එළදෙනගෙන් කිරි ලබාගත හැකිය. මී හරකාගෙන් හරක් හම්ද, ගොම පොහොරද, කටුපොහොරද, මී හරක් අං වලින් පනා සෑදීමට පුළුවන. එහෙත් ආණ්ඩුවක් ඉදිරියට ගෙන යෑමේදී ගොම පොහොර, මී හරක් අං පනා, මී හරක් සම් යනාදියෙන් වැඩිදෙයක් කිරීමට බැරිය. ගෝඨාභය සමඟ සිටි දේශපාලන හිතමිත්‍රාදීන් අතර සිටින වැඩිදෙනා නොම්මර එකේ මී හරක් වූහ. අරගලයේදී සිය නායකයා අත්හැර දැමූ ඔවුහු තම තමන්ගේ පැවැත්මේ ඊළඟ අවස්ථාව එනතුරු විවිධ පිස්සු කෙළිමින් කාලය කා දැමූහ. මේ අතර ගෝඨාභය උදේ 8.00ට කාර්යාලයට ඇවිත් ලියුම් කියවමින්ද අරගලය ඉබේටම සන්සිඳීයනු ඇතැයි කල්පනා කරමින්ද කල්ගත කළේය. ඇමෙරිකන් තානාපති ජුලී චන්ග් ගෝඨාභය වෙනුවෙන් යාඥා කිරීමට ජනාධිපති මන්දිරයට යන්නේද මේ රික්තය තුළය. මෙවැනිම රික්තයක් සෑදුණු මොහොතක බටහිර කුමන්ත්‍රණකරුවන් විසින් කොංගෝවේ අගමැති පැට්රිස් ලුමුම්බා ඝාතනය කළ හැටිත් ඊළඟ කතු වැකියෙන් සඳහන් කරමු. ලුමුම්බා මැරෙන්නේ රටේ අගමැතිව සිටියදීමය.

advertistmentadvertistment
advertistmentadvertistment