මොස්කව් යක්ෂයන්ගේ හෝරාව…

871

බීබීසී ලෝක සේවය විසින් එක්රැස් කරන ලද දත්තවලට අනුව, කලක් ඊසාන දිග සිරියාවේ සිට උතුරු ඉරාකය හරහා විශාල භූමි ප්‍රදේශයක් අල්ලාගෙන සිටි ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ 2023 වසරේ ප්‍රහාරවල සැලකිය යුතු පහත වැටීමක් පෙන්නුම් කර තිබිණි. පසුගිය වසරේ වැඩියෙන් කතා කෙරුණේ හමාස් සංවිධානය පිළිබඳවය. මන්ද ජුලි 07 වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ මාරාන්තික ප්‍රහාරය නිසාය. ඒ නිසා අද ගාසා තීරයේ නොනවතින යුද්ධයක් ඇවිලී ඇත. වෙඩි බෝම්බ ප්‍රහාර පමණක් නොව කුසගින්නේ මියයන පලස්තීන දරුවන් ගැනද අසන්නට ලැබේ. මෙය බලවත් ඛේදයකි. හමාස් ප්‍රහාරය එල්ලවන්නට පෙර ලෝකයේම ප්‍රධාන පුවත බවට පත්ව තිබුණේ රුසියානු යුක්‍රේන ගැටුමයි. මේ ගැටුම නිසා ලෝකයම පැහැදිලි ලෙස කොටස් දෙකකට බෙදී තිබිණි. ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර ලෝකයම යුක්‍රේනය වෙනුවෙන් පෙනී සිටි අතර චීනය ඉරානය ඇතුළු රටවල් පුටින්ගේ මෙහෙයුම වෙනුවෙන් සහයෝගය පලකර තිබිණි.

හමාස් ප්‍රහාරය නිසා පල්වෙමින් තිබූ යුක්‍රේන ගැටුමේ වෙනසක් සිදුවිය. ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර ලෝකය වහාම ඊශ්‍රායලයේ සහය ලබා දීමට ඉදිරිපත්වීම නිසා වොලොදිමීර් සෙලෙන්ස්කි අසරණ විය. මේ නිසා යුක්‍රේන හමුදා වෙත ආධාර ලැබීම අඩුවූ අතර එනිසා රුසියානු හමුදාවට වාසි සහගත වාතාවරණයක් උදාවිය. සෙලෙන්ස්කි කියා සිටියේ තමන්ගේ හමුදාවට උණ්ඩ හිඟයක් පවතින බවයි. මේ සියල්ල අතරේ සිකුරාදා දිනයේ මොස්කව් වෙත එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය ලෝකයම සලිත කිරීමට සමත් විය. මෙයත් ලෝක බල අරගලයේ එක් ප්‍රතිපලයක්ද? මේ ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ අයිසිස් සංවිධානය විසින් බවට ඇමෙරිකාව පුනපුනා කියද්දී එය පිළිගන්නට ක්‍රෙම්ලිනය කැමති නැත. ජනපති පුටින් මොස්කව් ප්‍රහාරය පිටුපස සිටින්නේ යුක්‍රේනය බව අඟවයි. මොස්කව් රඟහලට එල්ලවූ මාරාන්තික ප්‍රහාරය කිසිම විටක ශිෂ්ට ලෝකය අනුමත කරන්නේ නැත. ඒ ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තයන්ට මෙන්ම එම ප්‍රහාරයේ මහමොළකරුවන් සියලු දෙනාට උපරිම දඬුවම් පැමිණිය යුතුය. රුසියාව සිරියාවේ මෙන්ම ඉරාකයේ බලය පතුරවාගෙන සිටි ඉස්ලාමීය රාජ්‍ය සංවිධාන විනාශ කිරීමට කටයුතු කළ නිසා මියගිය අබු බකර් බග්දාදීගේ ඉතුරුව සිටින සහචරයෝ පුටින්ට පාඩමක් ඉගැන්වීම සඳහා කාලයක සිට බලාගෙන සිටි බව රහසක් නොවේ. මේ ප්‍රහාරය එල්ලකර ඇත්තේ ඉස්ලාමීය රාජ්‍ය කොරාසන් විසිනි. එහි නායකයා එතරම් ප්‍රකට නැති ෂහාබ් අල්-මුහාජිර් නැමැත්තාය. මොහුගේ අණින් මොස්කව් රඟහල ලේ විලක් බවට පත්ව ඇත. පික්නික් රොක් සංගීතයෙන් නැළෙවෙන්නට සිටි අයට පරලොව යන්නට සිදුවිය. සමහරු ගින්නට බිලිවිය. හුස්ම ගැනීමට නොහැකිව මරණයට පත්ව තිබිණි. මේ සියලු දෙනා අහිංසකයන්ය. අයිසිස් සංවිධානය පවසන්නේ තම ප්‍රහාරයෙන් ක්‍රිස්තියානින් තුන්සියයක් මරා දැමූ බවයි. තමන්ගේ අරමුණට එරෙහි වන සියලු රටවලට මේ ඉරණම බලාපොරොත්තු විය යුතු බව එම නිවේදනයේ සඳහන්ව තිබිණි. ඇත්තෙන්ම මෙය ලේ ගඳ ගසන ප්‍රකාශයකි.

අයිසිස් – කේ නැතිනම් වඩා නිවැරදි ලෙස හඳුන්වන්නේ නම්, ඉස්ලාමීය රාජ්‍ය කොරාසන් පළාත ලෙසයි. මෙම කණ්ඩායම ඇෆ්ඝනිස්තානය හා පාකිස්තානයේ ක්‍රියාකාරීව සිටින, ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායමට අනුබද්ධ ප්‍රාදේශීය ඒකකයකි. එය ඇෆ්ඝනිස්තානය තුළ ක්‍රියාත්මක සියලු ජිහාඩ්වාදී සන්නද්ධ කණ්ඩායම් අතරින් වඩාත් අන්තවාදී සහ ප්‍රචණ්ඩ කණ්ඩායම ලෙස සැලකේ. එහෙත් අයිසිස් කේ සහ තාලිබාන් සංවිධානය අතර බරපතළ වෙනස්කම් පවතී. විශේෂයෙන්ම තාලිබාන් සංවිධානය තමන්ට ගැළපෙන තරමේ අන්තවාදී නොවූ බැව් විශ්වාස කරමින් එය හැරගිය සාමාජිකයෝ අයිසිස් හා එක්ව තිබේ. ලෝකයම එක්ව මේ සංවිධානය විනාශ කිරීමට කටයුතු කළ යුතුය. නැත්නම් මේ ජිහාඩ් සර්පයා ලෝකයටම නැවත විෂ පතුරවනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment