ජනතාවගෙන් සියයට 50 ක් බඩගින්නේ: ඔවුන් ජීවත් වන්නේ අර්ධ අපායක – සරත් ෆොන්සේකා (සජබ)

196

ත්‍රිවිලර්වලට දෙන තෙල් ප්‍රමාණවත් නැති බව පාලකයන්ට තේරෙන්නේ නෑ

පාර්ලිමේන්තුව එක්සත්ව ක්‍රියා කළොත් ශක්තිමත් රටක් ගොඩනැගිය හැකියි
– අගමැති දිනේෂ් ගුණවර්ධන
ජනතාවගේ ජීවන බර අඩුකර ගැනීම අයවැයේ මූලික ඉලක්කයයි

– අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ
ආර්ථික බංකොළොත්භාවය නැතිකරන ඩොලර් උපයන්න වැඩපිළිවෙළක් නෑ

– තලතා අතුකෝරල (සජබ)
විදේශ ආයෝජකයන්ට අවශ්‍ය සියලු පහසුකම් ලබාදෙන්න

– එස්. බී. දිසානායක (ශ්‍රීපොපෙ)
අරගලයට පහසුකම් සපයනවා යැයි කියා ඔවුන්ට ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කළා

– ඉමිතියාස් බාකිර් මාකර් (සජබ)

මෙරටට සහයෝගය දෙන මූල්‍ය ආයතන හා රටවලට දැනෙන ආකාරයට පාර්ලිමේන්තුව එක්සත්ව ක්‍රියා කළහොත් ශක්තිමත් රටක් ඇති කර ගැනීමේ පුළුවන්කම තිබෙන බව ඇගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (01 දා) පැවසීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමේන් පසුව නියේජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (01) පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණි. ප්‍රථමයෙන් නිවේදන, ලිපි ලේඛන, වාර්ෂික වාර්තා, මහජන පෙත්සම් ඉදිරිපත් කිරීමෙන් පසුව, පක්ෂ නායකයන් විසින් අසා තිබූ විශේෂ ප්‍රකාශවලට පිළිතුරු සැපයීමෙන් පසුව අතුරු අයවැය පිළිබඳ විවාදය දෙවැනි දිනයට ආරම්භ විය.

විවාදය ආරම්භ කරමින්, මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා (සජබ):

ඊයේ මහා බැංකු අධිපතිවරයා පාර්ලිමේන්තුවට ආවා දේශනයක් පවත්වන්න. එතුමා කිව්වා එතුමා වැඩ බාරගන්න වේලාවේ මහා බැංකුවේ තිබ්බේ ඩොලර් මිලියන 20යි කියලා. මිලියන 20ක් කියන්නේ අපේ රටේ එක දවසකට යන වියදම. මම එතුමාගෙන් ප්‍රශ්නයක් ඇහුවා පාර්ලිමේන්තුවට මේ තත්වය දැනුම් දුන්නද කියලා? මොකද මුදල් බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. අපි රට බාර දෙනකොට ඩොලර් මිලියන 7800 සමග බාර දුන්නේ. මේ මුදල මිලියන 20කට බැස්සාම ඉතාමත් භයානක තත්වයක්. නමුත් කිසිම දැනුම් දීමක් පාර්ලිමේන්තුවට කරලා නෑ. මම මේ ගැන මහා බැංකු අධිපතිවරයාගෙන් ඇහුවා. මේ ප්‍රශ්නේ ඇහුවාම එතුමාට නුරුස්සන ගතියක් ඇතිවුණා. අපිට මේ මුදල් ගැන දැනගන්න අයිතියක් නැද්ද? අධිපතිතුමා හරියට උත්තරයක් දුන්නෙත් නෑ.

පසුගිය කාලේ කරපු ආයෝජන හම්බන්තොට වරාය, ගුවන් තොටුපල, නෙලුම් කුළුන වගේ ආයෝජනවලින් ප්‍රතිලාභ නෑ. ජනාධිපතිතුමා නොකියා කිව්වා එවැනි ආයෝජන කරලා තමයි අපි මේ තත්වයට පත් වුනේ කියලා. දැන් චීනය කියනවලු ණය ගෙවන්න බැරි නම් ඒ සම්පත් සින්නක්කර ලියලා දෙන්න කියලා. ඒක අප්‍රිකාවේ වුණා. දකුණු අධිවේගී මාර්ගය, හම්බන්තොට වාරාය, ගුවන් තොටුපළ, කටුනායක අධිවේගය මේවා ලියල දෙන්න යනවද දැන්?

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා :

අද අපි මුහුණ දී සිටින්නේ ඉතාමත් අභියෝගාත්මක කාල පරිච්ඡේදයකට. අපි මුහුණ දෙන අර්බුදයේ දරුණුතම ලක්ෂණය බවට මුල්‍ය හා ආර්ථිකය වර්ධන වේගය කඩා වැටීමේ බරපතළ තත්ත්වය, හඳුන්වා දිය හැකියි. දැන් ආර්ථික ප්‍රතිසංස්කරණ අපි ප්‍රකාශ කළා. මුදල් ඇමතිතුමා හැටියට පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. රටේ තිබෙන ප්‍රධාන ක්ෂේත්‍ර ගණනාවක අර්බුදය පිළිගනිමින් ඒවාට කෙටිකාලීන විසඳුමක් ලෙස අයවැය ලේඛනයෙන් පියවර රාශියක් ගෙන තිබෙනවා. මේ අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් මාර්ගයට ජාත්‍යන්තරව තිබෙන සාකච්ඡාවල් සාර්ථක වෙමින් පවතිනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් කෙරුණු සාකච්ඡාවල් සතුටුදායක බවත්, ඒ පිළිබඳව

ශ්‍රී ලංකාව එක්ක ඉදිරියට යන්න පුළුවන් බවත් ප්‍රකාශ කර තිබෙනවා. ඉතින් අපි වගකීමෙන් මේ ඇතිවී තිබෙන විශ්වාසය මත යළිත් රටත් ආර්ථිකයත් ගොඩනැගීම සඳහා වූ කාර්යභාරයට එක්වී කටයුතු කරමු. මේ අයවැය ලේඛනයේ විශේෂයෙන් අතිරේක වියදම් අඩුකරන්න යෝජනා කර තිබෙනවා. ඒ වාගේම ඉන්දියානු ණය සහනාධාර, විදේශාධාර, ඒ වගේම සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළට අවශ්‍ය වැය ශීර්ෂ, වියදම් අඩුකර ගැනීම සඳහා මේ මස දෙසැම්බර් දක්වා අවශ්‍ය පියවරවල් යෝජනා කිරීමට මේ අය

වැයෙන් සංශෝධනය ඉදිරිපත් කර තිබෙනවා. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත්, ලෝක බැංකුවත් ඒ වාගේම ජාත්‍යන්තර අනිකුත් ආයතන හා අපට ආධාර දීමට උදව් කිරීමට අත්වැල් බැඳගෙන ඉන්න රටවල් වෙනුවෙන් අප මේ අවස්ථාවේදී විශ්වාසය යළි ප්‍රකාශ කරනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා :

අතුරු අයවැය ජනාධිපතිතුමා අඟහරුවාදා දින ඉදිරිපත් කලා. නමුත් ඊයේ දින මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අපට හොඳ ඉදිරිපත් කිරීමක් කළා. එතැන තමයි ඇත්ත ඉදිරිපත් වුණේ. ජනාධිපතිතුමා අය වැය කියන්න ආරම්භ කළේ සතුටින් දිය කෙළින කකුළුවන් ගැන මේ කියන්නේ රාජපක්ෂ හොර හවුල ගැනයි. මම දන්නෑ මේක එතුමාට ලියලා දුන්නේ කව්ද කියලා. මම ඊයෙත් දැක්කා පොහොට්ටුවේ කාර්යාලයේ ඒ හොර හවුල හිනා වෙවී ඉන්නවා. ඒ අය තමයි සතුටින් දිය කෙළින කකුළුවෝ. එතන තමයි සීනි වංචාව, බදු වංචාව, පොල් තෙල් වංචාව, පැන්ඩෝරා පත්‍රිකා ක්‍රියාත්මක කළ අය ඉන්නේ, ඒ

වගේම මේ අයවැය ඇන්දවීමක්, නාගමාණික්‍ය පෙන්නුවා වගේ මායාවක්, සුරංගනා කතාවක්, කිසිම වැඩ පිළිවෙළක් නෑ. හිටපු ජනාධිපති ගෝඨාභය මිලියන 600ක් ධනපතින්ට බදු සහන දීම තුළ තමයි මේ රට කඩා වැටුනේ.

අපි අන්ත දක්ෂිණවාදයත් අන්ත වාමාංශිකත්වයත් අනුගමනය කරන්නේ නෑ. අපි අනුගමනය කරන්නේ තුන්වැනි මාවතයි. ඒ සමාජ වෙළෙඳ පොළ ආර්ථිකයයි. සමාජ සාධාරණත්වයයි. අපේ රටේ දැන් පවුල් ලක්ෂ ගණනක් අන්ත අසරණ වෙලා තිබෙනවා. නමුත් අයවැය මගින් කිව්වේ 60,000 යි දැඩි අසහනයට පත්වෙලා ඉන්නේ කියලා. ඒක සියයට 1.07ක ප්‍රතිශතයක් විතරයි. මේ රටේ දශලක්ෂ ගණනකට අමාරු වෙනකොට මේ අයවැයෙන් කියන්නේ හැටදහසකට විතරයි හොඳටම අමාරු කියලා.

දැන් ගෝඨාභය රාජපක්ෂ අගමැති වෙනවාලු. ඒ වගේම රාජපක්ෂ හොර නඩයත් එක්කද අපට සර්ව පාක්ෂික ආණ්ඩු හදන්න කියන්නේ. අයවැය කතාවේ ආජුතපර ලාහිලා කියලා ගීතයකුත් කිව්වා. හැබැයි අපට කියන්න වෙන්නේ ජනාධිපති තනිකර පොහොට්ටුව දිව යන්නේ කියලා.

අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා :

ආර්ථික පීඩනයෙන් ගලවා ගැනීමේ ක්‍ෂණික පියවරක් ලෙස අතුරු අයවැය ඉදිරිපත් කළා. මෙය ජනතාවගේ ජීවන වියදම අඩුකර ගැනීමයි මූලික ඉලක්කය.

අද රාජ්‍ය බැංකු කෘෂිකර්මයට ඉඩදීම ගැන නොසිතා පෞද්ගලික බැංකුවෙන් වාණිජ කටයුතුවලින් ලාභ ලබා වැඩිම ලාභ ලැබීමේ තරගයක ඉන්නවා. බැංකු ආරම්භ කළ අරමුණින් බැහැර වෙලා.

පත්කළ මන්ත්‍රී වජිර අබේවර්ධන (එජාප) :

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් සිදුව තියෙනවා. එදා රට බංකොළොත් කියලා කියන්න කාටවත් බලයක් නැහැ. ව්‍යවස්ථාවේ 148 වගන්තියට අනුව මුදල් පිළිබඳ තීරණ ගත්තේ නැහැ. පාර්ලිමේන්තුව නොදැනුවත්ව රට බංකොළොත් කියලා ප්‍රකාශ කළා. මුදල් අමාත්‍යාංශය ක්‍රියාත්මක නොවන අවස්ථාවකදී පාර්ලිමේන්තුව මුදල් අමාත්‍යාංශය ලෙස ක්‍රියාකර මූල්‍ය බලය ක්‍රියාත්මක කරගන්න තිබුණා. එය එසේ සිදුවූයේ නැහැ. කවුරු කළත් රට බංකොළොත් කියලා ප්‍රකාශයට පත් කරන්න කාටවත් අයිතියක් නැහැ. පාර්ලිමේන්තුවේ අනුමැතිය නැතිව මූල්‍ය පිළිබද තීරණ ගන්න බැහැ.

පත්කළ මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් මහතා (සජබ) :

අපේ රට වැටී තිබෙන තත්ත්වය දෙස බලන්න. වජිර මන්ත්‍රීගේ කතාව අහනකොට මට සිතුණා මහ බැංකු අධිපති ඉවත්කර දිනේෂ් වීරක්කොඩි ගේන්නද යන්නේ කියලා.

අරගලය ඉල්ලුවේ සාම්ප්‍රදායික දේශපාලනය වෙනස් කරන්න කියලා. කියන දේ නෙවෙයි කරන්නේ. අපේ රට ඉහළට ගෙන යෑමට සද්භාවයෙන් කළ යුත්තේ. පටු අරමුණුවලට යා යුතු නැහැ. එදා ත්‍රස්ත විරෝධී පනත අහෝසි කරනවා කියූ රනිල් වික්‍රමසිංහ මහතා අද එම පනත අවභාවිතා කරනවා.

අරගලයට පහසුකම් සපයනවා කියලා කිව්වත් ඔවුන්ට ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කළා. කතා කරන වචනවල අව්‍යාජභාවයක් තිබිය යුතුයි.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා (ශ්‍රීපොපෙ) :

විදේශ ආයෝජකයන්ට අවශ්‍ය සියලු පහසුකම් ලබාදී ඔවුන් දිරි ගැන්විය යුතුයි. එවිට රට ඉදිරියට ගෙන යා හැකියි.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා (සජබ) :

අද ජනතාවට දරා ගන්න බැරි තත්ත්වයට රට පත්වෙලා. ජනතාවගෙන් සියයට 50ක් ජීවත් වන්නේ බඩගින්නේ. ඉදිරියේදී නාන්නවත් ලැබෙන්නේ නැහැ. අර්ධ අපායක ජනතාව ජීවත් වන්නේ. තෙල්, ගෑස් ප්‍රශ්න නිසා ආයතන වැහිලා. ඉදිරියේදී ප්‍රධාන පෞද්ගලික ආයතනවලින් සේවකයන් දහස් ගණනින් එළියට දමාවි.

උපාධිධාරීන් 68 ක් දකුණේ සනීපාරක්‍ෂක කටයුතුවල යෙදෙනවා. එය ඛේදනීය තත්ත්වයක්. ත්‍රීවිල්වලට දෙන්නෙ තෙල් ලීටර් 5යි. එය ප්‍රමාණවත් නැති බව පාලකයන්ට දැනෙන්නෙ නැහැ. මාල කැඩීම, පික් පොකට් ගහන්න පොලිසියේ සමහරුන්ද සම්බන්ධ බවට හෙළිවුණා. ඒ තරමටම රට වැටිලා.

මේ වෙලාවේත් ආණ්ඩුවේ අය ජාවාරම් කරනවා. ගල්අඟුරුවලින් ටෙන්ඩර් පටිපාටියෙන් තොරව ගිවිසුම් අත්සන් කරනවා. ඩොලර් කෝටි 150ක ගිවිසුමක්. රාජපක්‍ෂවරයෙක් ඊට සම්බන්ධ බවට තොරතුරු තියෙනවා. ජාවාරම්වලින් තාම ඉවත්වී නැහැ.

අරගලයෙන් දූෂිත දේශපාලනඥයන් එළවා දැමිය යුතුයි. ජනපති දූෂිත නම් ඔහුවත් එළවා දමාවි. අරගලය ජනතාවගේ හිත්වල තවම තියෙනවා. අරගලයේ සංකල්පය නැතිවන්නේ නැහැ. පහරදීලා නවත්වන්න බැහැ. අළු යට ගිනිපුපුරු වගෙයි. නැවත වරක් මතු වෙනවා. රට හදන්න නම් අරගලය දිගටම යායුතුයි. අරගලය නැතිව වෙන කිසිම ක්‍රමයකින් දූෂිත දේශපාලන ක්‍රමය නැතිකරන්න බැහැ.

අරගලයේ අයට හිරිහැර කරනවා. ඒ දරුවන් වෙනුවෙන් පෙනී සිටින අය සියලු නීතිඥයන්ගෙන් ඉල්ලනවා. අපි ආපු දවසක දරුවන්ට සාධාරණය ඉෂ්ට කරනවා. දරුවන්ට කරන පහරදීම්වලට එරෙහිව අපි ක්‍රියා කරනවා.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්මිය (සජබ) :

මේ අයවැයෙන් ආර්ථික බංකොළොත්භාවය විසඳන්න යෝජනා ගෙනල්ලා නෑ. ඩොලර් උපයන්න වැඩ පිළිවෙළක් නෑ. විදෙස් ශ්‍රමිකයන් අවිධිමක් විදිහට ඩොලර් එව්වා. ඒක කළමනාකරණය කරන්න මුදල් ඇමැතිතුමා යම්කිසි යෝජනාවක් නෑ. ඒ අයගේ මුදල් හරිහැටි ගේන්න ගන්න කිසිම වැඩ පිළිවෙළක් නෑ. අම්මලාට පිටරට රැකියා යන කාලය අවුරුදු 05 සිට 02 දක්වා අඩු කරලා තිබෙනවා. නමුත් ඒ මුදල්වත් ගෙන්න ගන්න හරි වැඩ පිළිවෙළක් නෑ. දැන් මේ වන විට අපේ තේ නිෂ්පාදනයත් අඩු වෙලා. එදා අපනයනය කරපු තරම් භාගයක් වත් අපි අද අපනයනය කරන්නේ නෑ. මොකද පොහොර තහනම නිසා තේ අස්වැන්න අඩු වෙලා.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා (සජබ) :

දැන් බලන්න ඉන්දියාව අපිට විශාල සහනයක් දීලා තිබෙනවා. ණය දීලා තිබෙනවා. ඒ අපේ ලොකු අයියා ඒ අය එක්ක හොඳින් ඉන්න ඕනා. දැන් නිමල් සිරිපාලද සිල්වා ඇමැතිමාට අර ටයිසේ සමාගමෙන් අල්ලසක් ඉල්ලලා තිබුණා. නමුත් මේ වත්මන් ජනාධිපතිතුමා කොමිසමක් දාලා නිදහස් කරලා ඇමැතිකමක් දුන්නා. ඒක වැරදියි. මේ දේවල් නැවත කළොත් අරගලකාරයෝ නැවතත් එයි. අපි මේ ගමන ඔක්කොම එක්කහු වෙලා යන්න ඕනා. නැත්නම් මේ ගමන අපට යන්න බෑ.

දැන් විපක්ෂනායකතුමා කමිටුවල සභාපතිකම් ඉල්ලනවා. හැබැයි ඒ කමිටුවලින් ඇමැති බලතල ලැබෙනවා. එතකොට ඇමැති මණ්ඩලය 45ක් වෙනවා. මේවාට ගෙවන්න ඕන රටේ ජනතාවයි. ඒ අයත් ස්වේච්ඡාවෙන් වැඩ කරනවා කියලා සහතිකයක් දෙන්න.

පාර්ලිමේන්තුව අද (02) යළි පෙරවරු 9.30ට රැස්වේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment