පොලී අනුපාත අඩු නොවේ නම් මහ බැංකුවෙන් නියාමන ක්‍රියාමාර්ග

966

මේ කියන ලීසිං වාරික ගැන පමණක් නොව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කර ඇති පොලී අනුපාත අඩු කිරීමට සාපේක්ෂව වෙළෙඳපොළ පොලී අනුපාත අඩු වී නැති බවට බරපතල මැසිවිල්ලක් සමාජය තුළ තිබේ. එය අසත්‍යයක් ද නොවේ. සාමාන්‍යයෙන් කොහොමත් අපට නිරීක්ෂණය කළ හැක්කේ මහ බැංකුව විසින් පොලී අනුපාත අඩු කළ වහාම බැංකු සහ මූල්‍ය ආයතන විසින් තැන්පතු පොලී අනුපාත අඩු කරනු ලැබුවත් සිය ණය පොලී අනුපාත අඩු කරන්නේ සැලකිය යුතු ප්‍රමාදයකින් යුතුව බවයි. එසේම පැරණි ණය සඳහා කලින් අය කළ ඉහළ පොලී අනුපාත දිගටම අය කරන බවට ද ලීසිං සහ ණය ගැනුම්කරුවෝ චෝදනා කරති.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ සංගමයේ නියෝජිතයන් සහ තවත් සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් පිරිසක් පෙරේදා (08) පෙරවරුවේ කොළඹ කොටුවේ පිහිටි මහ බැංකු මූලස්ථානයට කඩාවැදී හදිසියේම විරෝධතාවක් පැවැත්වීමට පටන් ගත්තේය. මේ අවස්ථාවේ එතනට පොලිසිය ද පැමිණීම නිසා මහ බැංකුව අවට දැඩි උණුසුම් තත්ත්වයක් උද්ගත විය. විරෝධතාකරුවන් කියා සිටියේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කර ඇති පොලී අනුපාත අඩු කිරීමට සාපේක්ෂව ලීසිං වාරික ගෙවීමේ දී සහනයක් ලැබී නැති බවත් එම ලීසිං පොලී අනුපාත අඩු වී නැති බවත්ය. මේ නිසා සිය ලීසිං වාරික ගෙවීමේදී සහනයක් සලසන ලෙස ඉල්ලා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ සංගමයේ නියෝජිතයන් පිරිස එසේ හදිසි විරෝධතාවක් පටන් ගනු ලැබුවත් එය වැඩි වෙලාවක් කිරීමට ඔවුන්ට ඉඩ ලැබුණේ නැත. ඊට හේතුව පොලිසිය පැමිණ මහ බැංකු මූලස්ථානයට කඩා වැදී විරෝධතා පවත්වමින් සිටි එම පිරිස අත්අඩංගුවට ගැනීමයි.

මේ අනුව කාන්තාවක ඇතුළු පුද්ගලයන් 09 දෙනෙකු කොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පෙර දැනුම්දීමකින් තොරව පැමිණි මේ පිරිස තරමක් කලහකාරීව හැසිරුණු බව ද දක්නට ලැබිණි. මේ පිරිස පෙරේදා පෙරවරුවේ මහ බැංකු මූලස්ථානය අසලට පැමිණ තිබුණේ බස් රථයකිනි. අයුතු අවහිරය සහ අයුතු ඇතුළුවීම, රාජකාරියට බාධාකිරීම ඇතුළු චෝදනා කීපයක් සම්බන්ධයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසා තිබේ. මහ බැංකුව ඉදිරිපස ඇති ගේට්ටුවලින් ඇතුළුවූ මෙම පිරිස බැංකු මූලස්ථාන ගොඩනැඟිල්ල ඉදිරිපිට බිම වාඩිවී විවිධ සටන් පාඨ කියමින් විරෝධය පළ කළහ. මේ අය බලහත්කාරයෙන් ඇතුළු වූ බව කිව්වත් ඇත්ත කතාව නම් මහ බැංකුව ඉදිරිපස ඇති ගේට්ටු විවෘතව ඇති නිසා පාගමනින් එන ඕනෑම අයෙකුට එම ගේට්ටුවලින් ඇතුළු විය හැකිය. සාමාන්‍යයෙන් එන අයගේ හැඳුනුම්පත් පරීක්ෂා කිරීමක් සිදුවන්නේ මහ බැංකු ගොඩනැඟිල්ලට ඇතුළු වීමට යෑමේදීය. මාධ්‍යවේදීන් වශයෙන් මහ බැංකුවේ මාධ්‍ය හමුවලට සහභාගී වීමට නිතර මහ බැංකුවට යන අප එය හොඳටම දන්නා කරුණකි. ඒ නිසා මේ පිරිස බලහත්කාරයෙන් මහ බැංකුවේ ඉදිරිපස ඇති ගේට්ටුවලින් ඇතුළු වූ බව නම් අපට පිළිගත නොහැකිය. කෙසේ හෝ මේ පිරිස මහ බැංකුව ඉදිරිපස බිම වාඩි වී විරෝධතා දක්වමින් සිටියදී මෙම ස්ථානයට පොලිසිය පැමිණීමත් සමගම උණුසුම් තත්ත්වයක් උද්ගත වූ අතර විරෝධතාකරුවෝ පොලිසිය සමග උණුසුම් වාදයක පැටළී සිටිනු දක්නට ලැබිණි. මහ බැංකු මූලස්ථානයෙන් පිටවන ලෙස පොලිසිය ඔවුන්ට නියෝග කළද ඔවුන් එය ප්‍රතික්ෂේප කරමින් දිගටම එහි රැඳී සිටිමින් විරෝධතා දක්වන්නට වීම නිසා පොලිසිය විසින් විරෝධතාකරුවන් ගෙන් නවදෙනෙක් අත්අඩංගුවට ගෙන බස් රථයක නංවාගෙන පොලිසිය වෙත රැගෙන යෑමට පියවර ගත්තේය. පොලිසිය ද එම පිරිස අත්අඩංගුවට ගැනීමේ දී දැඩිව ක්‍රියාකරනු ද අපට දැකගත හැකි වූ කරුණකි. එම පිරිස පොලිස් බස් රථයේ යමින් සිටියදී ජංගම දුරකථනය මගින් ලයිව් වීඩියෝ එකක් මගින් කියා සිටියේ පොලිසිය තමන්ට පහර දුන් බවත් ඒ සම්බන්ධයෙන් මානව හිමිකම් නඩුවක් පැවරීමට කටයුතු කරන බවත්ය.

මේ පිරිස මෙසේ හදිසියේ විරෝධතාවක් පැවැත්වීමට පෙර මහ බැංකුවෙන් ඔවුන්ගේ ප්‍රශ්නය සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලා සිටියේද යන්න පැහැදිලි නැත. එසේම මහ බැංකුවට ඉදිරිපත් කිරීමට කිසියම් ලිපියක් හෝ සංදේශයක් රැගෙන පැමිණි බවක් ද අපට දැනගන්නට නැත. කෙසේ හෝ අපට ද කීමට ඇත්තේ මේ ලීසිං වාරික ගෙවන පිරිස පමණක් නොව අනෙකුත් බැංකු ණය ගැනුම්කරුවන් ද මුහුණ දෙන ඇත්ත ප්‍රශ්නයක් ඇති බවයි. ලීසිං පොලී අනුපාත ප්‍රමාණවත් ලෙස අඩු නොවීමට අමතරව ලීසිං ගෙවා ගැනීමට නොහැකි වූ පුද්ගලයන්ගේ වාහන සීසර්ලා මගින් පැහැර ගැනීමට ද අදාළ ලීසිං සමාගම් කටයුතු කර ඇත. මහ බැංකුව ඉදිරිපිට විරෝධතාවේ නිරත වූ නියෝජිත පිරිස පැවසුවේ මේ වනවිට ලීසිං ගෙවා ගැනීමට නොහැකි වූ පුද්ගලයන් 7000 කගේ වාහන ලීසිං සමාගම් විසින් පැහැර ගෙන ගොස් ඇති බවයි. වසර දෙකක් තිස්සේ කියා සිටිය ද මහ බැංකුව මේ ගැටලුවට මැදිහත්වී ලීසිං වාරික ගෙවීමේදී සහනයක් ලබාදීමට මේ වනතුරු කටයුතු කර නැති බවද ඔවුහු කියා සිටින කරුණකි. මෙහිදී බැංකු ණය ගැනීමේ දී අත්සන් කරන ගිවිසුමට වඩා ලීසිං ගැනීමේ දී ගැනුම්කරුවන් සමග අදාළ ලීසිං ආයතන අත්සන් කරන ගිවිසුම්වල කොන්දේසි අනුව මහ බැංකුවට එසේ පොලී අනුපාත අඩු කිරීමට කිසියම් නෛතික ගැටලුවක් ඇති බව ද දැනගන්නට ඇත. එසේ නම් මහ බැංකුව කියන නියාමන ක්‍රියාමාර්ග මේ ලීසිං සමාගම් සම්බන්ධයෙන් ගනු ලබන්නේ කෙසේ ද යන්න අපට පැහැදිලි නැත. වෙළෙඳපොළ පොලී අනුපාත විශාල ලෙස අඩු වෙමින් පවතින විට එම පොලී අනුපාත අඩු වීමේ සහනය ණය ගැනුම්කරුවන්ට පමණක් නොව ලීසිං වාරික ගෙවීමේදී ඔවුන්ට ද ලැබිය යුතු බව අපි ද සිතමු. ඒ නිසා ඔවුන් පොලී අනුපාත අඩුවීම සම්බන්ධයෙන් යම් සහනයක් ඉල්ලා සිටීම අසාධාරණ ඉල්ලීමක් බව අපට කිව නොහැකිය. ඒ නිසා ශ්‍රී ලංකා මහ බැංකුවට අප කියා සිටින්නේ මේ ගැන වහාම අවධානය යොමු කර බැංකු ණය සම්බන්ධයෙන් පමණක් නොව මේ ලීසිං වාරික ගෙවීම සම්බන්ධයෙන් ද මහ බැංකුවේ පොලී අනුපාත අඩුවීමේ සහනය ලබා දීමට පියවර ගැනීම අවශ්‍ය බවයි. එසේ නැතහොත් මහ බැංකුව පොලී අනුපාත අඩු කිරීමෙන් බලාපොරොත්තු වන දේ එලෙසින්ම ඉටුවේද යන ප්‍රශ්නය අපට තිබේ.

මේ කියන ලීසිං වාරික ගැන පමණක් නොව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කර ඇති පොලී අනුපාත අඩු කිරීමට සාපේක්ෂව වෙළෙඳපොළ පොලී අනුපාත අඩු වී නැති බවට බරපතල මැසිවිල්ලක් සමාජය තුළ තිබේ. එය අසත්‍යයක් ද නොවේ. සාමාන්‍යයෙන් කොහොමත් අපට නිරීක්ෂණය කළ හැක්කේ මහ බැංකුව විසින් පොලී අනුපාත අඩු කළ වහාම බැංකු සහ මූල්‍ය ආයතන විසින් තැන්පතු පොලී අනුපාත අඩු කරනු ලැබුවත් සිය ණය පොලී අනුපාත අඩු කරන්නේ සැලකිය යුතු ප්‍රමාදයකින් යුතුව බවයි. එසේම පැරණි ණය සඳහා කලින් අය කළ ඉහළ පොලී අනුපාත දිගටම අය කරන බවට ද ලීසිං සහ ණය ගැනුම්කරුවෝ චෝදනා කරති. අපත් සිතන්නේ මහ බැංකුව විසින් සිදු කළ ප්‍රතිපත්තිමය පොලී අනුපාත අඩු කිරීම අනිවාර්යයෙන්ම රටේ සියලු වෙළෙඳපොළ පොලී අනුපාතවලින් ද නිරූපණය විය යුතුව ඇති බවයි. එම ක්‍රියාවලිය සිදු වීමට යම් කාල පමාවක් තිබේ. එය අපට පිළිගත හැකිය. එහෙත් එම වෙනස බැංකු හා මූල්‍ය ආයතන විසින් නිසි ලෙස සිදු නොකරන්නේ නම් සහ ඒ සඳහා බොහෝ ප්‍රමාද වන්නේ නම් ඒ සඳහා මහ බැංකුවේ මැදිහත් වීම අත්‍යවශ්‍ය බව අපට කීමට සිදුවේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය අවස්ථා දෙකකදීම සිය ප්‍රතිපත්තිමය පොලී අනුපාත අඩු කළේය. අවසන් වරට සිදු කළ පොලී අනුපාත අඩු කිරීමේ දී එනම් පසුගිය ජුලි 06 වැනිදා සිදු කළ පොලී අනුපාත අඩු කිරීමේ දී මහ බැංකුව සඳහන් කළේ මේ පොලී අනුපාත අඩු වීම දිගටම ප්‍රමාද වන්නේ නම් මහ බැංකුව විසින් නියාමන ක්‍රියාමාර්ග ගනු ලබන බවයි. ඒ බව මහ බැංකුව පසුගිය ජුලි මස මූල්‍ය ප්‍රතිපත්ති විවරණයෙන් නිල වශයෙන් මෙසේ සඳහන් කළේය.

‘මුදල් තත්ත්ව ලිහිල් කිරීම සඳහා දැනටමත් ගෙන ඇති ක්‍රියාමාර්ග, දේශීය මුදල් වෙළෙඳපොළ ද්‍රවශීලතා තත්ත්ව වැඩිදියුණු වීම මෙන්ම මහ බැංකුව විසින් සපයන ලද වෙළෙඳපොළ මගපෙන්වීම් සඳහා ප්‍රතිචාර දක්වමින් වෙළෙඳපොළ පොලී අනුපාතික යම් ප්‍රමාණයකට අඩු වී ඇත. දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය ප්‍රකාශයට පත් කිරීමත් සමග අවිනිශ්චිතතා හා සම්බන්ධ අවදානම් අධිමිල විශාල ලෙස අඩු වූ බැවින් රජයේ සුරැකුම්පත් මත ඵලදා අනුපාතික සැලකිය යුතු ලෙස අඩු විය. මීට සමගාමීව වෙළෙඳපොළ පොලී අනුපාතික, විශේෂයෙන්ම පහළ යාමේ ප්‍රමාදයක් පෙන්වනු ලබන ණය පොලී අනුපාතික තවදුරටත් පහළ යනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරයි. වෙළෙඳපොළ ණය පොලී අනුපාතික අඩු වීම අඛණ්ඩව

මන්දගාමීව පවතී නම් ලිහිල් මුදල් ප්‍රතිපත්තිය සහ අවදානම් අධිමිල අඩු වීම වේගවත් ලෙස වෙළෙඳපොළ වෙත සම්ප්‍රේෂණය වීම තහවුරු කිරීම සඳහා මහ බැංකුව විසින් නියාමන ක්‍රියාමාර්ග ගනු ඇත. එවැනි මුදල් තත්ත්ව ලිහිල් කිරීම මගින් ආර්ථිකයට සහ එහි පාර්ශ්වකරුවන්ට ප්‍රතිලාභ ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.’

මේ සමග බලාපොරොත්තු වන තවත් දෙයක් වන්නේ මේ මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කිරීමත් සමග බැංකු මගින් පෞද්ගලික අංශය වෙත ලබා දෙන ණය ක්‍රමයෙන් වර්ධනය ඇති බව සහ ඒ සමග ආර්ථික කටයුතු යථා තත්ත්වයට පත්වනු ඇති බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ පසුගිය ජූලි මස 05 වැනි දින පැවති රැස්වීමේදී මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙළින්, සියයට 11.00 සහ සියයට 12.00 දක්වා පදනම් අංක 200කින් අඩු කිරීමට තීරණය කළේය. අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වේගවත් නිර්-උද්ධමන ක්‍රියාවලිය (උද්ධමනය අඩුවීමේ ක්‍රියාවලිය) සහ පාලනය වූ උද්ධමන අපේක්ෂා ඇතුළු ආර්ථිකයේ වත්මන් සහ අපේක්ෂිත ප්‍රවණතා පිළිබඳ මනාව සලකා බැලීමෙන් අනතුරුව මූල්‍ය වෙළඳපොළ පීඩන ලිහිල් කරන අතරම මැදි කාලීනව ආර්ථිකයට එහි විභව නිමැවුම් මට්ටම කරා ළඟා වීමට සහ උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ ස්ථායී කිරීමේ අරමුණින් මුදල් මණ්ඩලය මෙම තීරණයට එළැඹිණු බව මහ බැංකුව ඒ අවස්ථාවේ සඳහන් කළේය. මෙම ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 200කින් අඩු කිරීම සහ 2023 ජූනි මස මුලදී ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 250කින් අඩු කිරීම මෙන්ම රජයේ සුරැකුම්පත් සම්බන්ධයෙන් පැවති අවදානම් අධිමිල මෑතකදී විශාල ලෙස අඩුවීමත් සමඟ වෙළෙඳපොළ පොලී අනුපාතික, විශේෂයෙන් ණය පොලී අනුපාතික, ප්‍රමාණවත් ලෙස සහ වේගවත්ව අඩු වනු ඇතැයි ද ඒ අවස්ථාවේ මුදල් මණ්ඩලය අපේක්ෂා කළේය.

එම නිසා, මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්තිය සැලකිය යුතු ලෙස ලිහිල් කිරීමේ ප්‍රතිලාභ පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට ලැබිය යුතුව තිබේ. එසේ ලබා දෙන ලෙස බැංකු සහ මූල්‍ය අංශයෙන් ඉල්ලා සිටින බව ද මහ බැංකුව ඒ අවස්ථාවේ කියා සිටියේය. එය ඉදිරි කාලය තුළදී ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත් කිරීමට ද සහායක් වේ. එහෙත් මෙලෙස ප්‍රමාණවත් මට්ටමින් ණය පොලී අනුපාත අඩු නොවීම නිසා තවමත් ණය පිරිවැය ඉහළ මට්ටමක පවතී. එවිට යම් ණය මුදලක් ගෙන ආර්ථික කටයුත්තක නිරත වීමට ඇති උනන්දුව අඩු වේ. මෙය රටේ පසුබෑමට ලක්ව ඇති ආර්ථික කටයුතු ප්‍රවර්ධනයට බාධාවකි. අප තවමත් සිටින්නේ ඍණ ආර්ථිකයක ය. මේ තත්ත්වය මේ වසරේ (2023) අවසන් කාර්තුවේ සිට ධන තත්ත්වයකට පරිවර්තනය කර ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ අනුව ලබන වසරේ (2024) සිට අපට සමස්තයක් ලෙස ධන ආර්ථික වර්ධනයකට ගමන් කිරීමට හැකිවනු ඇත.

මේ පොලී අනුපාත අඩු නොවීම සම්බන්ධයෙන් මහ බැංකුවේ ද අවධානය යොමු වී නැතුවා නොවේ. මේ ගැන මහ බැංකුව ද සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව අපට දැනගන්නට ඇත. අලුත් ණය නිකුත් කිරීමේ දී මේ පොලී අඩු වීමේ සහනය ක්‍රමයෙන් දැන් ලැබෙමින් ද තිබෙන බව සත්‍යයකි. ප්‍රශ්නය තිබෙන්නේ ලබාගත් පරණ ණයවල පොලී අනුපාත අඩුවීම සම්බන්ධයෙනි. එහිදී නිශ්චිත පොලී අනුපාතවලට ලබාගත් පැරණි ණය සම්බන්ධයෙන් බැංකු සිය පොලී අනුපාත අඩු කිරීමට පියවර නොගන්නා ස්වභාවයක් තිබේ. අනිත් අතට නම්‍ය පොලී අනුපාතවලට ලබාගත් ණය සම්බන්ධයෙන් නම් ක්‍රමයෙන් පොලී අනුපාත අඩුවීමට හැකියාවක් තිබේ. ලීසිං සම්බන්ධයෙන් තිබෙන ගිවිසුම් මීට වඩා වෙනස්ය. මෙහිදී කලින් ලබාගත් පැරණි ලීසිං පහසුකම් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර තිබෙන කල්බදු ගිවිසුම අනුව පොලී අනුපාත අඩු කිරීමට නෛතික බාධාවක් තිබෙන්නේ නම් ඒ සඳහා මහ බැංකුවට නියාමන ක්‍රියාමාර්ග ගත හැකි ද යන ගැටලුව තිබේ. මේ ප්‍රශ්නය ගැන සලකා බලා එයට යම් විසඳුමක් ඇති කිරීමට පියවරක් ගත හැකි නම් එය එම ලීසිං වාරික ගෙවන අයට විශාල සහනයක් වනු ඇත. අලුතින් ගන්නා ලීසිං පහසුකම්වල දී නම් පොලී අනුපාත අඩු කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වීමට හේතුවක් නැත. එසේ නොවන්නේ නම් මහ බැංකුවට අනිවාර්යෙන්ම මැදිහත් වී ඔවුන් කියන නියාමන ක්‍රියාමාර්ග ගත හැකිය. මේ ගැන මහ බැංකු මුදල් මණ්ඩලය විසින් කඩිනම් අවධානය යොමුකර යම් පියවරක් ගනු ඇතැයි අපි සිතමු.

● ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment