මට තාත්තා වෙන්න බෑ – පළමු වතාවට අක්කත් සින්දු කියනවා

236

“කිරි මුහුදු වෙරළක කඳුළින්ම ගැයූ පෙම් ගීත සීතලේ පාළුවේ විඳින්නට
18 වැනිදා BMICH එකට එන්න’ – ගයාන් ගුණවර්ධන
ලබන අවුරුද්දේ බඳිනවා
තාත්තා නැතිවෙලා වසරයි

ශ්‍රී ලාංකේය සංගීත වංශ කතාවේ රිදී තිරයේ ලයාන්විත හඬ පෞරුෂය සදාදරණීය නුවන් ගුණවර්ධනයන් අප හැර ගොසින් වර්ෂ පූර්ණයේ ගුණානුස්මරණයත් ළඟ ළඟටම ඇවිත්. “කිරි මුහුදු වෙරළක නැවතී කඳුළින්ම ගැයූ පෙම් ගීත සඳ සීතලේ පාළුවේ විඳින්නට” තාත්තයි පුතයි Present Tribute to Nuwan Live in Concert 2023 ප්‍රසංගය මෙම මස 18 වැනිදා රත්‍රී 7.00 ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙනවා. නුවන් ගුණවර්ධනයන්ගේ අමරණීය ගීත එක්ක ඔබට ගයන්නට නුවන් ගුණවර්ධනගේ ලෙයින් උපන් ගයාන් ගුණවර්ධනයන් මේ වෙලාවේ ලොකු උත්සාහයක් ගන්නවා.

මට තාත්තා වෙන්න බෑ - පළමු වතාවට අක්කත් සින්දු කියනවා

“2018 දෙසැම්බර් මාසයේ නව වැනිදා අපි ප්‍රසංගයක් කරනවා තාත්තයි පුතයි කියලා. ඒක තාත්තා අවුරුදු අටකට පසුව සිදු කරන ප්‍රසංගය. අනික තාත්තාගේ කලා ලෝකයට වර්ෂ 40 ක් පිරීම නිමිත්තෙන් තමයි ඒ ප්‍රසංගය පැවැත්වූයේ. තව දෙයක් තමයි මමයි තාත්තයි “තාත්තයි පුතයි” කියා බ්‍රෑන්ඩ් එකක් විදිහට රෙජිස්ටර් කරලා කරන පළමු ප්‍රසංගය. තාත්තා නැතිවෙන්නේ 2022 දෙසැම්බර් 08 වැනිදා. ඒ වෙනකොට අපි මහරගම සහ අනුරාධපුරයේ ප්‍රසංග දෙකක් පවත්වලයි තිබුණේ. ඉතිං තුන්වැනි ප්‍රසංගය තමයි අපි මේ තාත්තා වෙනුවෙන් නිර්මාණය කළේ. අවාසනාවකට ඒ ප්‍රසංගයට තාත්තා නෑ. අද වෙනකොට ඒක අනුස්මරණ ප්‍රසංගයක් බවට පත්වෙලා. තාත්තයි පුතයි Present Tribute to Nuwan Concert පවත්වන්නේ. ඒකෙදී නුවන් ගුණවර්ධන මතක් කිරීම පිණිස ඔහුගේම නිර්මාණ වෙනුවෙන් ප්‍රසංගයක් සූදානම් කළා. මෙම ප්‍රසංගයේදී ජීවිතයේ පළමුවැනි වතාවට නුවන් ගුණවර්ධනයන්ගේ දියණිය දුලාරි ගුණවර්ධන ගීත ගායනා කරනවා. ඒ වගේම මම, කාවින්iා අධිකාරි, සජිත ඇන්තනී, දිමිත්‍රි රාජසිංහ, ගයාන් උඩවත්ත, පියත් රාජපක්‍ෂ යන අයත් එක්ක මේ ප්‍රසංගයට සහභාගි වෙනවා. අපි මේ ප්‍රසංගයෙන් නුවන් ගුණවර්ධන කියන කලා ශිල්පියා වගේම, මනුස්සයා, සැමියා, සහෝදරයා, තාත්තා, මිත්‍රයා කියන බව හැඟවෙන මතකයන් ආවර්ජනය කරන්නත් සූදානමක් තිබෙනවා. ඉතිං මම මේ දවස්වල සෑහෙන්න මහන්සි වෙනවා නුවන් ගුණවර්ධනයන්ගේ ඉතිහාස කතා එකතු කරන්න.

මේ ප්‍රසංගයේ ප.ව.6.00 සිට 6.30 දක්වා රතු පලසත්, 6.30 සිට 7.00 දක්වා පොල්තෙල් පහනත්, 7.00 සිට 10.00 දක්වා ප්‍රසංගයත් පවත්වන්න සූදානම් වෙනවා. මේ ප්‍රසංගයට සංගීතය සපයන්නේ මගේම සංගීත කණ්ඩායම වන රෝඩ්ස් සංගීත කණ්ඩායම. පාර දිගේ ටෙලි නාට්‍ය හරහා අපි නිර්මාණය කරගත්තු සංගීත කණ්ඩායම තමයි රෝඩ්ස්. මේ ප්‍රසංගයේදී පාරදිගේ චරිත මතක් කිරීමට කොටසකුත් එකතු කරලා තියෙනවා. මේ ටෙලි නාට්‍යයේ මගේ තාත්තා ආදරය කරපුම චරිතය තමයි බණ්ඩා. කුසල් මධුරංගත් එදාට අපිත් එක්ක එකතු වෙනවා. මමයි මගේ සහෝදරියයි ජීවිතයේ පළමු වතාවට එකට ගීත ගායනා කරනවා. කථනයෙන් අපිත් එක්ක එකතුවෙන්නේ ධනංජය සිරිවර්ධන මහත්මයා.”

මට තාත්තා වෙන්න බෑ - පළමු වතාවට අක්කත් සින්දු කියනවා

● තාත්තා නැතිවෙලා අවුරුද්දක් ගතවෙලා ගෙවී ගිය මතකයට ආපසු හැරුණොත්?

පසුගිය අවුරුද්ද ඇතුළත මගේ ජීවිතය එහෙන් පිටින්ම අනෙක් පැත්තට පෙරළුණා. මම 1992 අගෝස්තු 14 ඉපදෙන්නෙ. දැන් මට අවුරුදු 30ක්. මම අවුරුදු 30ක් ඔහු ළඟින් හිටියා. විටෙක ඔහුගේ රියැදුරා, බොඩිගාඩ්, ගෝලයා, සහෝදරයා, මිත්‍රයා සහ විටෙක ඔහු මගේ දෙවියා. ඔහු නැතිවුණ දා ඉඳලා මට ලොකු වගකීම් ප්‍රමාණයක් පැවරුණා. හැබැයි මම කඩා වැටුණේ නෑ. මගේ තාත්තා මට ඉන්නවා කියන්නේ හැමදාම මට පුදුම හයියක්. අනික මට හරි අමාරුයි තාත්තාගේ තැන ගන්න. තාත්තා නැති හින්දා විටෙක අපි දුක්වෙනවා. විටෙක අපේ ඇහැට කඳුළක් එනවා. තවත් විටෙක ඔහුත් එකක් ගත කරපු කාලය ගැන මතක් කරලා සතුටු වෙනවා.

ජීවිතයට මම නුවන් ගුණවර්ධනයන්ගේ වැරැද්දක් කියපු කෙනෙක් හම්බවෙලා නැහැ. මගේ වැරදි මට කියන මිනිස්සු හම්බවුණත් මගේ තාත්තාගේ වැරදි කියන මනුස්සයෙක් මට අද වෙනකම් හම්බවෙලා නැහැ.

● තාත්තාගේ ගීත රීමේක්, කවර් සෝන්ග් කරන්න කියලා අහන අයත් ඉන්නවාද?

තාත්තාගේ ගීත මම ආරක්‍ෂා කරන්නෙ තහනමක් දමමින් නෙමෙයි. ගීතයක නිර්මාණ අයිතිය තියෙන්නෙ පද රචකයා සහ සංගීතවේදියාට. මගේ තාත්තා පද රචනා කරපු සහ තනු නිර්මාණය කරපු ගීත කිහිපයක් තිබෙනවා. දින සති මාසයක්, ලා සඳ එළියේ වැනි ගීත රාශියක් තිබෙනවා. තාත්තාගේ සින්දු ඕනෑම කලාකරුවෙකුට, ප්‍රේක්‍ෂකයෙකුට ගායනා කරන්න අයිතියක් තියෙනවා. අනික ඒ ගීත කවර් හෝ රීමේක් හරි කරනවා නම් ඒකට මගෙන් අවසර ගන්න දෙයක් නැහැ. ඒකට නීත්‍යානුකූලව අවසර ගන්න ඕනෑ සංගීත නිර්මාණකරුවා සහ පද රචකයාගෙන්.

නමුත් මම විශ්වාස කරන දෙයක් තමයි ගයාන් ගුණවර්ධන හෝ ඕනෑම රියැලිටි තරුවක් වුණත් නැතිනම් ඕනෑම කෙනෙක් ගායනා කළත් නුවන් ගුණවර්ධන ගේ හඬ ගන්න බැහැ. ඒ ගීත අපිට මතක් වෙන්නේ නුවන් ගුණවර්ධනගේ හඬින්ම පමණයි. ඉතිං මම දන්න තරමින් තාත්තාගේ ගීත කිහිපයක් වෙන වෙන කට්ටිය ගායනා කරලා තියෙනවා. මම ඒ ගැන හරිම සතුටුයි. ඒකෙන් ඇත්තටම වෙන්නේ තාත්තාගේ ගීත ජීවමනාවෙලා තවත් වසර ගණනාවක් ඉදිරියට යන එකයි. මම මුලින් කිව්වා වගේ තාත්තාගේ ගීත ආරක්‍ෂා කරන්නෙ තහනම් කරලා නෙමෙයි. තාත්තාගේ සැඟවුණු අහපු නැති ගීත එකතු කරලා නැවත ජනතාව අතරට ගෙනියන්න.

මට තාත්තා වෙන්න බෑ - පළමු වතාවට අක්කත් සින්දු කියනවා

●තාත්තාගේ ගීත සමාජයට භාරදෙන්න සූදානම්?

තාත්තාගේ ගීත සුරක්‍ෂිත කරන්නෙ කොපි රයිට් කරලා නෙමෙයි. ඒ සැඟවුණු ගීත එළියට දාලයි.

● ඔබේ සහෝදරිය මේ ප්‍රසංගයට එකතු කරගන්න හිතුවේ ඇයි?

මගේ අක්කා හින්දි ගීත ගායනා කරද්දී හරි උච්චාරණයට ගායනා කරනවා. මමත් එහෙමයි. මගේ පියත් ඒ වගේ සිය ගුණයක් ඉදිරියෙන් ඉන්න කෙනෙක්. ඉතිං තාත්තා හරි ආසයි අක්කා හින්දි ගීත ගායනා කරද්දී සහ එයාගේ කටහඬට. මට හිතුණා මේ ප්‍රසංගයේදී තාත්තාගේ මතකය අනිවාර්යයෙන්ම එළියට දාන්න. මගේ අක්කා ගීත කිහිපයක් ගායනා කළ යුතුයි කියලා මට හිතුණා. තාත්තාගේ අනුස්මරණ ප්‍රසංගයේ දී ඇයත් එලෙස ගීත ගායනා කරන්න එකඟ වුණා. අනික මම කැමතියි මගේ අක්කාගේ දක්‍ෂතාවයන් ලංකාවේ ජනතාව දකිනවාට.

● එදාට මේ ප්‍රසංගයේදී සිදුවන විශේෂත්වයන් මොනවාද?

ලංකාවටම එක නුවන් ගුණවර්ධන කෙනයි හිටියේ. ඒ නුවන් ගුණවර්ධනගෙන් පස්සෙ ආයේ නුවන් ගුණවර්ධනලා නැහැ. ගයාන් ගුණවර්ධන කියන්නෙ වෙනම කලාකරුවෙක්. ගයාන් ගුණවර්ධන කියන්නෙ නුවන් ගුණවර්ධනගේ පුතා. නුවන් ගුණවර්ධන මින් ඉදිරියට අපිත් එක්ක නැති හින්ද අපි ඔහුගේ ගීත අපේ හඬින් අපේ අනෙක් කලාශිල්පීන්ගේ හඬින් සහ ඔහුගේ හඬිනුත් ජනතාවට ලබාදෙන්න සූදානමක් තිබෙනවා. මේ ප්‍රසංගයේදී සුවිශේෂත්ව ගොඩක් තිබෙනවා. පැහැදිලිවම මේක ගොඩක් සංවේදී ප්‍රසංගයක් වේවි. ගොඩක් වෙලාවට ගොඩක් ප්‍රේක්‍ෂකයන්ගේ නෙතට කඳුළක් ගෙන ඒවි කියලා මට නිසැකයි. මේක වන් ඇන්ඩ් ඔන්ලි ටි්‍රබියුට් නුවන් ප්‍රසංගයක්.

● ළඟදීම පූජනී එක්ක විවාහ වෙනවා කියන්නෙ ඇත්තද?

ඔව්. ලබන වසරේ එහෙම දෙයකට ලෑස්ති වෙලා ඉන්නවා. මගේ ලොකු ආසාවක් තිබ්බා මගේ තාත්තයි, මමයි, මගේ පුතෙකුයි එකම වේදිකාවේ ගීත ගායනා කරන්න. සීයා, තාත්තා, මුණුබුරා කියන තුන්දෙනා අඩුම තරමේ එකම වේදිකාවක ඉන්න වාසනාවක් මට ලැබුණේ නෑ. මම හරි අවාසනාවන්තයි ඒ අතින්. නමුත් මගේ තාත්තාගේ මතකයන් මගේ දරුවෙකුට පෙන්වන්න පුළුවන් වේවි. ඉතිං ලබන වසරේ මම විවාහ වෙන්න හිතාගෙන ඉන්නවා. ඒ විස්තර පසුවට කතා කරමු.

● රඟපෑම් වැඩකටයුතු එහෙම කොහොමද?

අපි අලුත් ටෙලි නාට්‍යයක රූගත කිරීම් සිදුකරගෙන යනවා සීසර්ලා කියලා. විශ්ව ලංකා සහෝදරයා තමයි මේ නිර්මාණය පිටුපස්සේ ඉන්නෙ. බුද්ධික සේමසිංහ තමයි මේකේ පිටපත් රචනය කරන්නේ. නොවැම්බර් 13 වැනිදා ඉඳලා මේ ටෙලිනාට්‍ය දෙරණ නාලිකාව ඔස්සේ ප්‍රේක්‍ෂකයාට දැකගන්න පුළුවන්.

ඇත්තටම මම ටෙලිනා්‍ය ගොඩක් භාරගත්තේ නෑ. මොකද මගේ සංගීත කටයුතු සහ කලා කටයුතු සමග මම ගොඩක් කාර්ය බහුලයි. ඉතිං වර්තමානයේ මම රඟපාන එකම ටෙලි නාට්‍ය දෙරණ නාලිකාවේ සීසර්ලා කියලා නොවැම්බර් 13 වැනිදා ඉඳලා විකාශනය වෙනවා.

● ප්‍රසංග වලට ලැබෙන ආරාධනා එහෙම කොහොමද?

ප්‍රසංගවලට සෑහෙන ආරාධනා ලැබෙනවා මගේ සංගීත කණ්ඩායමත් එක්ක. අපි වැඩියෙන්ම කාර්යබහුල මංගල උත්සව එක්ක. අපේ බෑන්ඩ් එකට වෙඩින් සඳහා ලොකු ඉල්ලුමක් තිබෙනවා. ලංකාවේ ජනප්‍රියම වෙඩින් බෑන්ඩ් එක බවට පත්වෙලා තිබෙන ගමන් ඉන්නෙ. රෝඩ්ස් බෑන්ඩ් එක ගැන ගොඩක් සතුටුයි.

ඒ වගේම ප්‍රසංග වේදිකාවේදී මම තනි ගායන ශිල්පියෙක් විදිහටත් කටයුතු කරනවා. නුවන් ගුණවර්ධන සහ ගයාන් ගුණවර්ධන කියන නාම දෙකම මගේ අතේ තිබෙන හින්දා ගයාන්ගෙ සහ නුවන්ගෙ සින්දු අහන්න වගේම ගයාන් කියන රංගන ශිල්පියාව දකින්න ආස අයත් මට ආරාධනා කරනවා. දෙසැම්බර් 02 වැනිදා රූමේනියාවේ ප්‍රසංගයකට ආරාධනා ලැබිලා තිබෙනවා. ඊට පස්සෙ ඇමෙරිකාවට යනවා. විදෙස් රටවල් රාශියකින් මම ආරාධනා ලැබිල තිබෙනවා.

ඒ අතරේ ලංකාවේ පවත්වන ඕනෑම සංගීත ප්‍රසංගයකට ගැළපෙන සංගීත කණ්ඩායමක් එක්ක මම ගීත ගායනා කරනවා. ඕනෑම වේදිකාවක, ඕනෑම ලොකේෂන් එකක, ඕනෑම කොන්සර්ට් එකක, ඕනෑම සංගීත ප්‍රසංගයක ගයාන් ගුණවර්ධන සින්දු කියනවා. මම හිතන්නෙ නුවන් ගුණවර්ධනත් එහෙමයි. ගයාන් ගුණවර්ධනත් එහෙමයි. ගොඩක් කලාශිල්පීන් තෝරාගෙන බේරාගෙන තමයි වේදිකාවන්

තෝරාගන්නේ. මගේ ළඟ එහෙම එකක් නැහැ. කොළඹ තියෙන ලංකාවේ ලොකුම කොන්ස්ර්ට් එකක ලංකාවේ ජනප්‍රියම බෑන්ඩ් එකකත් සින්දු කියනවා. ලංකාවේ දුරම පළාතක ගමේ බෑන්ඩ් එකක් එක්ක වුණත් මම සින්දු කියනවා. පැදුරු පාටියක් වුණත්, වන් මෑන් ප්‍රසංගයක්, ත්‍රීපීස් එකක් වුණත් මම එතැන ඉන්නවා. ජනතාව මාව ඉල්ලනවා නම් මට ඒ ආදරය දෙන්න පුළුවන් නම් මම ගිහිල්ලා සින්දු කියනවා.

● ගයාන් ගුණවර්ධන ළඟ ලොකු සීන් නැහැ එහෙමද?

නැහැ. අපි කට වචනයට කියන්නෙ මරිසිය සහ ගොට්ට ඇල්ලිල්ල මගේ ළඟ නැහැ. ඕනෑම කෙනෙකුට තියෙන ඉරිසියාවත් මට හරිම අඩුයි. බොරුවට මරිසියට කියන්න ඕනෙත් නැහැ. ලොකු සීන් දාන්න වුවමනාත් නැහැ. ඇත්ත කියලා මට කිව්වොත්, සල්ලි නැහැ සින්දුවක් කියලා යන්න පුළුවන්ද කියලා, මම ඇවිත් කියලා යනවා. මේක ඉතිං ලංකාවනේ, ඇමෙරිකාව නෙමෙයිනේ. අපේ ලංකාවේ මිනිස්සුන්ගේ ආර්ථිකය කඩාවැටිලා තියෙන වෙලාවේ ඒ මිනිස්සුන්ට ලොකු සීන් දාලා ඒ මිනිස්සුන්ගෙන් කෝටි ගණන් කඩා ගන්න මට වුවමනා නැහැ. මට පුළුවන් දේ මම කරනවා. මේ ප්‍රසංගය සැලසුම් කරගෙන යනකොට තමයි දැනගත්තේ මගේ තාත්තා පුදුමාකාර මනුස්සයෙක් කියලා. මොකද තාත්තා සමහර

රසිකයන්ගේ මඟුල් ගෙවල්වලට, කොටහළු මඟුල් ගෙවල්වලට නොමිලේම සින්දු කිව්වා කියලා ඒ රසිකයෝම මට කතා කරලා කියනවා. ඉතිං මටත් ඕනෑ නුවන් ගුණවර්ධන වගේ ගයාන් ගුණවර්ධන කෙනෙක් වෙන්න.

● දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment