පර්ත් නුවර ශ්‍රී ලාංකිකයන් හා ජනපති අතර හමුවක්: රට ගොඩනගන දිගුකාලීන ප්‍රතිපත්තියකට රජය කැප වෙනවා – ජනාධිපති කියයි

37

රජය සමග ඵලදායීව සම්බන්ධ වෙන්න – සාගල ඩයස්පෝරාවෙන් ඉල්ලයි

පෞද්ගලික විශ්වවිද්‍යාල අරඹන හැටි ජනපති ඩයස්පෝරාවට කියයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව අතර හමුවක් ඊයේ (09 දා) පෙරවරුවේ සිදුවිය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලිය මෙන්ම ආර්ථික නවීකරණ සැලසුම් පිළිබඳ මෙහිදී ශ්‍රී ලාංකිකයන්ට කරුණු දැක්වූ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ ක්‍රියාවලිය සමග සක්‍රීයව එක්වන ලෙස ද ඔවුන්ට ඇරයුම් කළේය.

ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමට රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළ මෙහිදී ශ්‍රී ලාංකිකයන් අගය කළ බවත් දේශගුණික විපර්යාස, සංචාරක ව්‍යාපාරය ඇතුළු ක්ෂේත්‍රවල සංවර්ධනයට අදාළව රජයට සහාය ලබාදීමට ද ඔවුන් කැමැත්ත පළ කළ බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ඔවුන් මතු කළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ දියුණුව වෙනුවෙන් දීර්ඝකාලීන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට රජය කැපවී සිටින බව කීවේ යැයි ද එම මාධ්‍ය අංශය කියයි.

පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීම ඇතුළු ශ්‍රී ලංකාවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ශ්‍රී ලාංකික ඩයස්පෝරාව දැනුවත් කළ බව ද ජනාධිපති මාධ්‍ය අංශ නිවේදනයේ දැක්වෙයි.

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ කාර්යාලයක් මෙරට පිහිටුවීමට රජය පියවර ගෙන ඇති බවට මෙහිදී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා කරුණු දක්වා ඇත. රජය සමඟ ඵලදායී ලෙස සම්බන්ධ වීමට ශ්‍රී ලාංකික ඩයස්පෝරාවට එමගින් අවස්ථාව සැලසෙන බව ද ඔහු කියා තිබේ.

පසුගිය වසරේ ප්‍රකාශයට පත් කරන ලද පාලන විනිශ්චය පිළිබඳ වාර්තාව ඇතුළුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවතින වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වා ඇති සාගල රත්නායක මහතා මෙම ප්‍රතිසංස්කරණ වැඩසටහන ඉදිරියට ගෙන යෑම සඳහා ශ්‍රී ලාංකික ඩයස්පෝරාවේ අඛණ්ඩ සහාය ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ දී විදේශගතව සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සහාය ලබාගැනීමට රජය ආරම්භ කර ඇති වැඩසටහන් පිළිබඳ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ද මෙහිදී කරුණු පැහැදිලි කර ඇත.

ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත්‍රාංගනී වාගීෂ්වර, පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක මායාදුන්න යන මහත්ම මහත්මීහු සහ බටහිර ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment